ලක් දෙරණට පෑයූ
සදහම් පුන්සඳ
අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති
ආචාර්ය
නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමි
අනුබුදු මිහිඳු මාහිමියන් එදා ලක් රජුගේ බුද්ධි මහිමය ගැන විමසු, අඹ පැනය හා ඥාති
පැනයෙන් අතිශය ප්‍රසාදයට පත්ව ලක්දිව රජුත්, ඔහුට යටත් වැසියනුත් මෙම ගම්බීරථර
ධර්මය තේරුම් ගැනීමට තරම් බුද්ධි මහිමයෙන් හෙබි වැසියන් බව වටහාගෙන ඒ අනුව
උන්වහන්සේ තම ධර්මස්වාමි වු බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්ම දායාදය කරුණාවෙන් බෙදා
වදාළහ.
එයින් සුපෝෂිත වු ජනී ජනයා ලොවක් මවිත කළ විස්කම් නිර්මාණ මෙන්ම තම ආධ්‍යාත්මය ද
මනාව සංවර්ධනය කර ගත්හ.
චුල්ල හත්ථිපදෝපම සූත්‍රය, පේත වත්ථු , විමාන වත්ථු යන මෙයින් කළ ධර්ම දේශනා මේ
සඳහා බොහෝ සෙයින් ඉවහල් විය. මෙසේ සත්‍ය ධර්මයෙන් ආශිර්වාදය ලත් සිංහලයෝ ක්‍රමයෙන්
ප්‍රබුද්ධ පිරිසක් බවට පත්වූහ.
අලි, කොටි, වග වළසුන්ගෙන් ගැවසීගත් මහා වනාන්තර රමණීය වන සෙනසුන් බවටත්, මහා
ගල්පර්වත හෙළ කලා කරුවාගේ වෑයමෙන් ලොවුතුරු මිහිරි කැටි වු ලෙන් විහාර බවටත්
පත්විය. හිස් අහස් කුස සිප ගන්නා සුළු, සුදෝ සුදුවන් කිරි බුබුළු වැනි මහ දාගැබ් ද
නිසලව ගලා බසිනා දිය දහරා තැනිතලා, මහා වාපි බවටත් පත්විය.
අනුරාධපුරයත්, පොළොන්නරුවත්, කතරගම කිරිවෙහෙරත්, සිතුල්පව්වත්, සිගිරිය හා දඹුලු
විහාරය යන සිද්ධස්ථාන අපට ඇතිවුයේත් බුදු සමය නිසා ය. හෙළයේ මහා රජවරු වන
දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු වැනි දෑ හිතකාමි වීරෝදාර පුණ්‍යවන්ත රජවරුත්
සිරිසඟබෝ, බුද්ධදාස වැනි බෝධිසත්ව ගුණෝපේත රජ දරුවන් සීගිරි කාශ්‍යප වැනි කලා කාමී
නර විරුවන්,අරිට්ඨ , මලියදේව වැනි සිංහල රහත් හිමිවරුන්, අනුලාවන් වැනි රහත්
මෙහෙණින් වහන්සේලා, විහාරමහා දේවි, සෝමා දේවි වැනි වීරෝධාර හෙළ මව් වරුන් මේ රටේ
පහළ වූයේ බුදු සමය නිසා ය.
මසේ ලක් බිමේත්, සිහල මිනිසාගේත් එක් එක් අංශය ගෙන බලන කල්හි, මහින්දා ගමනයත් සමඟ
ඇතිවු බෞද්ධ ප්‍රබෝධයෙන් ආලෝක නොවුණ එකදු අංශයක් හෝ ඇතැයි නොසිතෙන තරම්ය.
මේ අති උදාර පොසොන් පෝය දිනය ගැන විමසා බලන කළ දීප ප්‍රසාදක මහාමහින්ද අනුබුදුන්
වහන්සේ පිළිබඳවත්, දඹදිව අශෝක අධිරාජයා පිළිබඳවත්, අති විශිෂ්ට අනුස්මරණයන් එකිනෙක
පෙරට ගෙන එන අතිශයින්ම වැදගත් අති පාරිශුද්ධ දිනයකි.
එදා අශෝක මහ රජුගේ කාරුණික බැල්ම මෙන්ම, අනුග්‍රහය රාජතාන්ති‍්‍රක ව නොලැබුවේ නම්
යම් විටෙක අද අපි කතා කරන ලංකාවේ තත්වය මීට බෙහෝ සෙයින් වෙනස් වන්නට ඉඩකඩ වැඩි තරම්
ය. මේ නයින් බලන කල කී නොකී සෑම අංශයක්ම යම් මධ්‍යස්ථ සමතුලිත සෞම්‍ය ගුණයන්ගෙන් රට
තුළ පවත්වාගෙන යන්නට අතිශයින් ම බලපෑ කරුණ වනුයේ බුදු රජාණන් වහන්සේගේ දහම් පණිවිඩය
රැගෙන මේ දිවයිනට වැඩිය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය බව නම් කෘත
ගුණපුර්වක ව සිහිපත් කළ යුතු ම ය.
එම කරුණ සිංහල බෞද්ධයා තුළ ආත්මයෙන් ආත්මයට සන්තාන ගතව පවතින නිසා දෝ මේ තරම් හෙළ
බොඳු පිරිසක් සෑම වසරක ම පොසොන් උදාවත් සමඟ ලංකාවේ සිවු කොණින්ම මේ
අතිපාරි ශුද්ධ වු අටමස්ථාන හා මිහින්තලය, ඉසුරුමුණිය ආදි සිද්ධස්ථානයන්ගේ ගැවසීගති.
කෙසේ වෙතත් ලංකා සංස්කෘතියේ තිඹිරි ගෙය නම් අනුරාධපුරයයි. එම උදාරතර සංස්කෘතියකට
උරුමකම් ඉගැන්වු මහා මහින්ද මහරහතන් වහන්සේට ගෞරව දක්වන්නට සෑම පොසොන් පෝය දිනක ම
ලක් බොදුණුවෝ අමතක නොකරති.
මෙවන් ලෝක ව්‍යසන අවස්ථාවක වුවද ලක්වැසි අප මෙම උදාර කළ ගුණ සැලකීමේ පින්කම මෙවර ද
පවතින සෞඛ්‍යය නිතී රීති සිත්හි දරා ගතින් නොව සිතින් තම තමන්ගේ ගේ දොර හිඳ හෝ ළඟම
සිද්ධස්ථානය මුල්කරගෙන පිළිවෙත් පුරනවා නම් මැනවියැයි අප ඉතා කරුණාවෙන් සහිපත් කර
සිටිමු. ඒ තුළින් එදා මිහිඳු මහරහත් උතුමාණන් වහන්සේ අපගෙන් අපෙක්ෂා කළ සැබෑ
බෞද්ධයා අපි අප තුළින්ම ලොවට පසක් කරමු. ඒ සඳහා සෑම දෙනාමට තෙරුවනේ ආශිර්වාදය
ලැබේවා. පින්බර පොසොන් පුණ්‍ය මහෝත්සවයක් වේවා! |