දිවි මඟ සරු කරන
ධර්මානුධර්ම ප්‍රතිපත්ති
කොළඹ දිසාවේ සංඝනායක,
ගොතටුව පාරමිතා ශ්‍රී මහ බෝධිමලු විහාරාධිපති ,
ශාස්ත්‍රපති පණ්ඩිත
අරම ශ්‍රී ධම්මතිලක නාහිමි
සාමාන්‍ය මිනිසකුට ඇතිවන්නේ කරුණාව හා ප්‍රඥාවයි. එහෙත් බුදුවරයකුට ඇතිවන්නේ මහා
කරුණාව හා මහා ප්‍රඥාවයි. මහා ප්‍රඥාව හා මහා කරුණාව අනුසාරයෙන් සියලු සත්ත්වයා
දුකෙන් මුදවා ගන්නට දිවා රෑ නොතකා, අව්ව වැස්ස නොබලා, වේලාව අවේලාව නොසිතා සියලු
සත්ත්වයා දුකෙන් මුදවා ගන්නට කටයුතු කිරීම බුදුවරයකුගේ මූලික අභිප්‍රායයි.
බුදු සමයේ මූලික හරය රැඳී ඇත්තේ චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය මත ය.
සියලුම සත්ත්වයා දුකෙන් වෙළී පැටලී ඇත. එයයි ප්‍රථමයෙන් ම හඳුන්වා දෙන ලද්දේ දුක,
දුක ඇතිවීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය වශයෙන් මේ චතුරාර්ය සත්‍යය
පිළිබඳව යථාවබෝධයක් පුද්ගලයාට නියත වශයෙන්ම තිබිය යුතු ය.
පුද්ගලයා නිවැරදි මාර්ගයකට යා යුතු නම් ‘මැදුම් පිළිවෙතට’ නැඹුරු විය යුතු ය.
කාමසුඛල්ලිකානු යෝගය හෙවත් සිරුරට වඩාත් සැපදීම හා අත්තකිලමතානුයෝගය හෙවත් සිරුරට
වඩාත් දුක් දීම බැහැර කොට මේ අන්ත දෙකට ම නැති මැදුම් පිළිවෙත උපයෝගී කොට ගත යුතු
ය.
සසරින් එතෙර කිරීමයි බුද්ධ ආඥාව වන්නේ. අනවරාග්‍ර හෙවත් කෙළවරක් නැති භවයෙන් මුදවා
ගැනීමයි මූලික අභිප්‍රාය. කෙළවරක් නැති භවයේ දිගටම රැඳී සිටිනවාද එසේ නැත්නම් එයින්
මිදෙනවාද යන්න ගැනත් සිතා බැලිය යුතු ය. කෙළවරක් නැති භවයෙන් මිදෙන්නේ කෙසේද?
භවය දිග්ගැස්සෙන්නේ පුද්ගලයා කෙරෙහි පවත්නා, ආශාව, ඇල්ම, තෘෂ්ණාව හේතුකොටගෙන ය.
පුද්ගලයා යමක් ඇලී ගැලී සිටීමයි අරමුණ. මේ නියතයෙන් අනිවාර්යයෙන් ම නිරන්තරයෙන් ම
දුරස්ත විය යුතු ය. ආශාව පොදි බැඳගෙන යා යුතු ගමන දුරු කළ යුතු ය, යන්න බුද්ධ
දේශනාවයි.
ගැල කරට ගන්නවාද? සෙවණැල්ල තෝරා ගන්නවාද?
තෘෂ්ණාව තුනී කිරීමට උපමා කොට ඇත්තේ තමන් පසුපස එන සෙවණැල්ලට ය. දිවියට කිසිදු බරක්
නොදැන යන ගමනක සරල සැහැල්ලු සංකේතය තමයි සෙවණැල්ල.. එමෙන්ම බර දරාගෙන යන ජීවන ගමන
සම කරන්නේ ගැලට ය. ගොනා පසු පස යන ගැල වූ කලි අතිශය බරකි. එම බරෙන් නිදහස් වන්නේ
කවදා දැයි ගොනා සිතයි. එහෙත් ඒ සිතිවිල්ලේ පරිසමාප්තියක් නොමැත.
පුද්ගලයා තේරුම් ගත යුත්තේ ගොනා පසු පස යන ගැල කරට ගත යුතු ද? එසේ නැත්නම් තමන් පසු
පස යන සෙවණැල්ල තෝරා බේරා ගත යුත්තේ ද යන්නයි. මෙයට අතිශයින්ම බලපාන්නේ ප්‍රඥාවයි.
හොඳ ඉතිරි කරන්න
බුදුසමයේ උගන්වන්නේ අනාත්මවාදි ස්වරූපයයි. පුද්ගලයා ‘නිවනට’ යන තෙක් භව කතරේ
සැරිසරයි. නිවනට සේන්දු වූ පුද්ගලයාට යළි ඉපදීමක් නොමැත. මේ දුක්ඛාවලියෙන් ගැලවුණු
පුද්ගලයා පත් වන්නේ නිවනට ය.
පුද්ගලයා හඹා යන්නේ ‘හොඳ’ හා ‘නරක’ පසුපස ය. නරක ඉවත්කොට හොඳ පමණක් දිවියට විෂය
කරගත යුතු ය. මනුෂ්‍යාත්මයක් ලත් පුද්ගලයා ඒ කාල පරාසයේ දී යහතින් හොඳින් දිවි
ගෙව්වා නම් ඊළඟ භවය ගැන අපට ගැටලුවක්, ප්‍රශ්නයක්, අර්බුදයක් ඇතිවන්නේ නැත. මන්ද
යත් ඊළඟ භවය පෙර භවයට වඩා ප්‍රසාර්ථ ලක්ෂණවලින් උපයුක්ත බැවිනි.
මෙතැනදී පුද්ගලයා ආත්මාර්ථකාමී හැඟීම්වලින් බැහැර ව පරාර්ථකාමී තලයකට ප්‍රවේශ විය
යුතු ය. තමන් ගැන නොව අන් අය ගැනත් සෙවීම ප්‍රඥාවන්ත පුද්ගලයාගේ කාර්ය භාරයයි.
බුද්ධ දේශනාවේ මෙය මුලට එයි. බුදුරදුන් ගේ කාර්යයත් එයයි. තමන්ගේ ආහාර ගැන නොසිතා
යම් පුද්ගලයකු සසරින් මුදවා ගන්නට හැකියාවක් ඇත්නම් ඒ සියල්ල බැහැරකොට ගව් ගණනක්
දුර ගෙවා සසරින් ගලවා ගන්නට මහත් වෙහෙසක් ගන්නා ලදී.
අවරට යන ගමන
ප්‍රඥාවන්ත පුද්ගලයා ද ඒ කාර්යයේ නියැළී සිටිය යුතු ය. මෝහයෙන් පිරි පුද්ගලයා ඒ
මඟින් බැහැර කළ යුතු ය. පුද්ගලයා අවරට යන්නේ මෝහය මත ය. මෝහය හෙවත් මෝඩකමෙන්
ගලවාගෙන ප්‍රඥාවන්ත මාවතට නැඹුරු කිරීම පරාර්ථකාමී පුද්ගලයාගේ කාර්ය භාරයයි.
බුදුරදුන් පන්සාළිස් වසරක් පුරා සිදු කෙළෙත් මෙයම ය.
මෙතනදී වැදගත් වන්නේ ‘ප්‍රතිපත්තියයි’ ප්‍රතිපත්ති පිරීම මතයි දිවි මඟ සරු කෙතකට
ප්‍රවේශ වන්නේ .
ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවයි පුද්ගලයාට අවශ්‍ය වන්නේ . පිළිවෙත් පුරන්නේ
නැත්නම් කොතරම් ආමිස පූජා වින්ඳත් එයින් කිසිදු ඵලක් නොමැත.
බාහිර හා අභ්‍යන්තර වශයෙන් පුද්ගලයා ප්‍රතිපත්ති මත පිහිටිය යුතු ය. මෙතැන දී
අවංකකම හා සත්‍යතාව මතුවිය යුතු යි. අන් අය රැවටීමට ගියොත් රැවටෙන්නෙත් තමන් ම ය.
තමන් වැරදි මඟ ගොස් සෙස්සන්ට නිවැරැදි මාර්ගයේ යන්නට කීම අතිශය වංචාවකි. මේ ව්‍යාජ
ප්‍රතිපත්තියෙන් බැහැර විය යුතු ය.
බුද්ධ ධර්මය කාලත්‍රයට ම පොදුවූවකි. එය එක් අවදියකට පමණක් සීමා වූයේ නැත. කාලත්‍රයට
ම බලපාන බුදුසමය පුද්ගලයාගේ දිවි පැවැත්මට අතිශයින් ම ඉවහල් වන්නකි.
පුද්ගලයා උදේ හවා කොතරම් බණ ඇසුවත් එම දිවියේ ප්‍රතිපත්ති නැත්නම් සරු මඟ නිසරු
වෙයි. පෝය හතරටම සිල් සමාදන් වීමෙන් ඵලක් නොමැත. ප්‍රතිපත්ති රකින්නේ නැත්නම්. අපට
බොහෝවිට දක්නට ලැබෙන්නේ ප්‍රතිපත්තිවලින් දුරස් වූ පුද්ගලයන් ය. පිළිවෙත විෂය මුල්
කරගෙන කටයුතු කළහොත් දිවියෙන් ජයගන්නට එතරම් අපහසු නැත. ධර්ම මාර්ගයට පිවිසෙන
පුද්ගලයා ගේ චරිත ය ද පිරිසුදු ය.
අප දිවි ගෙවන්නේ ඉතාම කෙටි කාලයකි. ඒ කෙටි කාලයේ දී බුද්ධ ධර්මයට අනුගත ව දිවි
ගෙවන්නට යමකු සැරසුණහොත් එම පුද්ගලයා දිවියෙන් ජය ගන්නවා නිසැක ය.
පල නෙළා ගැනීම
තමන් ලත් ආත්ම භාවයෙන් උපරිම පල නෙළා ගත යුතු ය. සමාජයේ බොහෝ දෙනා තමන් ලත් ආත්මය
කෙරෙහි හැඟීමක් නොමැත. කිසිදු හැඟීමකින් තොරව දිවි ගෙවන ගමන අතිශය දුක්ඛදායක ය.
හැඟීමෙන් තොර දිවිය හිල් වූ කළයක් බඳු ය. හිල් වූ කළ ගෙඩියකට කොපමණ ජලය දැම්මත්
ඵලක් නොමැත. හැඟීමක් නැති චරිතයත් එසේම ය.
යා යුත්තේ කිනම් ඉසව්වට ද යන්න කෙරෙහි හැඟීමක් අනිවාර්යයෙන් ම තිබිය යුතු ය. ආත්ම
ජයග්‍රහණය කරා යන්නට හැඟීම අතිශයින්ම ඉවහල් වෙයි.
තමන්ට ධර්මයෙන් ලාබාපේක්ෂා ලබාගත හැකි ය. තමන් නොදන්නා බොහෝ කරුණු උකහාගත හැක්කේ
ධර්ම මාර්ගයෙනි.
ධර්ම විෂයාශි‍්‍රත භූමිකාව මත රැඳුණු දිවියේ පවත්නා සුගැඹුර විග්‍රහ කරන්නට ශබ්ද
කෝෂවල වදන් නොමැති තරම් ය. ඒ තරමට ම එම දිවිය පෝෂිත ය. ධර්මයෙන් පිරිපුන් පුද්ගලයා
සංවේදී ය. කිසිවකට කලබල නොවී තමන්ට එල්ලවන හැම දෙයක් ම ඉතා ඉවසීමෙන් යුතුව බාර
ගන්නට සූදානම් වෙයි.
ප්‍රතිභාපූර්ණත්වය
ඤානාන්විත පුද්ගලයා එකට එක කරන්නට නොගොස්, පළිගැනීමට ද යන්නේ නැතිව නිරහංකාර
නිහතමානි දිවියකට ද අරඅදියි. මේ පුද්ගලයා කරන්නේ බහුල වශයෙන් සවන්දීම ය. තමන් නිහඬ
පිළිවෙතක් අනුගමනය කරමින් අවශ්‍ය දේ පමණක් කියාපායි. තැන්පත් දිවියකට මුල පුරමින්
ප්‍රතිභා පූර්ණත්වයක් එයින් මතුකරයි.
සමාජයේ සෙස්සන්ට පරමාදර්ශී දිවියකට මං පෑදීම ධර්ම මාර්ගයට පිවිසි පුද්ගලයාගේ කාර්ය
භාරයයි.
ධර්මානුධර්ම වත් පිළිවෙත්වල නියැළුණු පුද්ගලයාගේ දිවි මඟ තේරුම් ගෙන ඒ ආශි‍්‍රතව යන
ගමන පුද්ගලයාට මෙන්ම සමාජයේ සෙස්සන්ට ද ප්‍රබල චරිතයක් වනවාට කිසිදු සැකයක් නොමැත.
බුද්ධ ධර්මය නිසි අයුරින් පිළිපදින පුද්ගලයා යන ගමන පැහැදිලි ය. නිරවුල් ය. එමෙන්ම
ගාම්භීර ද වෙයි. |