වෙසක් අමාවක
2021.06.09
ආලෝකය දකිනවා ද? අඳුරෙහි ගිලෙනවා ද?
“ඉන්න හිටින තැනින් අඩියක් හරි ඉස්සරහට තියන්නේ නැති නම් ඒ ජීවිතයෙන් පලක්
නැතැයි”පැරැන්නෝ කීහ. ඉස්සරහට යෑම නම් ජීවිතය යහපත් තැනකට ගෙනයෑම ය. ආධ්‍යාත්මික
ගුණ ධර්මයන්ගෙන් සේ ම භෞතිකමය දියුණුවෙන් ද ඉහළට යාම ය. ගෙවුණු ජීවිතය ගැන මොහොතකට
ආවර්ජනය කළේ නම් ජීවිතය ඉදිරියට ගියේ ද, පසු පසට ගියේ ද යන්න පිළිබඳව තමන්ට ම තීරණය
කළ හැකි ය.
අද ලෝකය මුහුණ දී සිටින අතිශය භයානක රෝග වෛරසය කොරෝනා උවදුර හමුවේ ඒ අවශ්‍යතාව
ප්‍රායෝගික ව ම අපි හොඳින් අත්විඳිමු. කාලාන්තරයක් තිස්සේ තමන් ගැන ම පමණක් සිතූ
මිනිසාතුළ වර්ධනය වූ ආධ්‍යාත්මික පරිහානිය සොබා දහමෙන් ලද මේ කුරිරු අකාරුණිකත්වයට
හේතු නොවන්නේ යැයි කිසිවකුට ප්‍රකාශ කළ නොහැකි ය. එළැඹි මේ මොහොතේ සිට හෝ මේ
පිළිබඳව සිතා බලා ජීවිතය යහපත් තැනකට හසුරුවා නොගන්නේ නම් හෙට දවස තවත් අඳුරු නොවේ
යැයි කාට නම් කිව හැකි ද? මේ ඒ ගැන සිතන්නට කාලයයි.
කර්මානුරූප ව මිනිසත් බව ලැබ උපත ලැබූව ද, මිනිස් ජීවිතය විවිධාකාර ය. පුද්ගලයාගෙන්
පුද්ගලයාට වෙනස් ය.
රැස් කරන ලද කුසලාකුසල කර්ම නිසා කවර ආකාරයක ජීවිතයක් ලැබූව ද මතු ජීවිතය සාර්ථක කර
ගත හැකි වන්නේ ද තමන්ට ම ය. අඳුරෙන් මිදී ආලෝකයට ගමන් කළ හැකි වන්නේ තමන්ට ම ය. ඒ
හොඳින් සිතා බලා කටයුතු කිරීමෙනි.
බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේ අමතා දේශනා කොට වදාළේ පුද්ගලයෝ සතර
දෙනෙක් මෙලොව ජීවත් වන බව ය. අඳුරෙන් අඳුරට යන්නා, අඳුරෙන් එළියට යන්නා, එළියෙන්
අඳුරට යන්නා හා එළියෙන් එළියට යන්නා යනුවෙනි.
මෙලොව ඇතැමෙක් දුක සේ දිවි ගෙවති. ආහාර පාන අඩු ය. කුලයෙන් පහත් ය. අවලස්සන ය.
පාංශු පිශාචයකු හෝ දැවී ගිය කණුවක් හෝ වැනි අවලස්සන ව, දකින අයගේ නොසතුටට හේතු ය.
රෝග බහුල ය. එසේ වාසය කරමින් ම හේ කයින්, වචනයෙන්, මනසින් දුසිරිතෙහි හැසිරෙන්නේ ය.
එසේ දුසිරිත් කොට මරණින් මතු ද නිරයෙහි උපදින්නේ ය. මේ අඳුරේ වෙසෙමින් අඳුරට ම යන
තැනැත්තා ය.
මෙලෙසම දුක්ඛිත ව, රෝග පීඩාදිය බහුල ව, අවලස්සන ව ජීවත්වන තවත් පුද්ගලයෝ වෙති.
ඔවුහු අඳුරු ජීවිතයක් ගෙවුව ද මේ ලැබූ ජීවිතයේ කයින්, වචනයෙන්, මනසින් දුසිරිතෙහි
නොයෙදෙති. සුචරිතයෙහි යෙදෙති. එසේ තිදොරින් සුචරිතයෙහි යෙදී මරණින් මතු සුගතියෙහි
උපත ලබති. මේ අඳුරෙන් එළියට යන පුද්ගලයා ය.
මේ ලොව ඇතැමෙක් ධනයෙන් ආඪ්‍යය. මහාසාර කුලයන්හි ඉපදී සිටිති. රූප සෝබාවෙන් යුතු ය.
දැකුම්කළු ය. එහෙත් කයින්, වචනයෙන්, මනසින් දුශ්චරිතයෙහි ම යෙදෙති. ඉදින් මරණින්
මතු සුවයක් නොවූ දුක්ඛිත නිරයෙහි උපදිති. මේ එළියෙන් අඳුරට යන්නෝ ය.
මෙලෙස ධනයෙන් ආඪ්‍ය, සැප සම්පත් පිරි, රූප සෝබාවෙන් යුතු මහාසාර කුලයන්හි උපන් තවත්
පිරිසක් වෙති. ඔවුහු ආහාර පාන, ප්‍රදීප ලබා වාසය කරමින් කයින්, වචනයෙන් හා සිතින් ද
සුචරිතයේ යෙදෙති. ඉදින් මරණින් මතු සුගතියේ ම උපදිති. මේ එළියෙන් එළියට යන පුද්ගලයෝ
ය.
අද අපි ලෝකයේ යතාර්ථයට මුහුණ දෙමින් සිටිමු. මරණයේ වේදනාව, වෙන්ව යාමේ වේදනාව, සා
පිපාසාවේ භයානක බව දෑසින් ම දකිමු. මේ ගැන හොඳින් සිතා ඉදිරි මඟ තීරණය කළ යුතුව ඇත.
ඒ අඳුරට යනවා ද? ආලෝකයට යනවා ද ? යනුවෙනි. ඒ ගමන් මඟ අන් කවරකුට හෝ අප රැගෙන යා
නොහැකි ය. යා යුතු තමන් ම ය. ඒ සඳහා ශ්‍රී සද්ධර්මය අපට මඟ පෙන්වනු ඇත. |