සියලු බුදු ගුණයන්හි පිහිටා වදාළ සේක
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති
පත්බේරියේ විමලඤාණ නාහිමි
මෙම ලිපියේ මුල් කොටස
වෙසක් පුන් පෝදා (26) පත්‍රයේ පළ විය
බෝසතාණන් වහන්සේ පී‍්‍රතිය ඉක්මවීමෙන් ද ධ්‍යානෝපේක්ෂාව ඇතිව වාසය කළහ. සිහි ඇත්තේ,
සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ සුඛ විහරණ ඇත්තේ යැයි බුද්ධාදී ආර්යයන් විසින්
ප්‍රකාශ කරන ලද තෘතීය ධ්‍යානයට පැමිණියහ.
සිවුවැනි ධ්‍යානය
අනතුරුව බෝසතාණෝ කායික සුඛය ද, කායික දුක්ඛය ද, චෛතසික සුඛය හා චෛතසික දුක්ඛ ය ද
පහව යාමෙන් දුක් වේදනා නැති, සැප වේදනා ද නැති එනම් උපේක්ෂාවෙන් හටගත් පිරිසුදු
සිහිය (සති) ඇති චතුර්ථ ධ්‍යානයට පැමිණියහ.
මෙසේ බෝධි වෘක්ෂ මූලයේ දී චතුර්ථ ධ්‍යානය ඉපදවීම විදර්ශනාපාදක ද අභිඥාපාදක ද,
නිරෝධපාදක ද, සර්වකෘත්‍යපාදක ද යනුවෙන් සියලු ලොව්තුරා ගුණ දෙන්නේ විය.
පුබ්බේ නිවාසානුස්සති ඤාණය ලැබීම
අප සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ සිත චතුර්ථ ධ්‍යානයෙන් සමාහිත විය. උපේක්ෂා
ස්මෘති පාරිශුද්ධියෙන් පිරිසුදු විය. නිර්මල විය. (ප්‍රභාස්වර විය) අංගණ හෙවත්
රාගාදී කෙලෙස් මල ද පහවිය. සිත කෙලෙසන්නාවූ උපක්ලේශ දුරු විය. මෘදු වූ සිත වශීභාවයට
පැමිණියේ ය. දැන් සිත පිරිසුදු කළ රත්රන් සේ මැනවින් වඩන ලද බැවින් අභිඥා කර්මයට
(කම්මනියෙ) සුදුසු විය. පිරිසුදු වූ ශ්‍රද්ධාදී ධර්මයන් විසින් ආරක්ෂා කරන බැවින්
සිත අචල වූ කල්හි පෙර විසූ කඳ පිළිවෙළ සිහි කිරීමේ නුවණ පිණිස සිත නැංවූහ.
බෝසතාණන් වහන්සේ අතීත ජාති මෙසේ සිහි කළහ. එක ප්‍රතිසන්ධියක් මුල් කොට චුතිය අවසන්
කොට ඇති එක් භවයක ස්කන්ධ පරම්පරාව තෙක් එක් ජාතියක්, මෙසේ වූ ජාති දෙකක් ද ජාති
තුනක් ද ආදී වශයෙන් දියුණු කොට ජාති දහසක්, ජාති ලක්ෂයක් ද කල්ප ගණන් සිහි කිරීමට
සමත් වූහ.
අසවල් ජාතියෙහි අසවල් තැන ඉපිද සිටියෙමි. මෙබඳු නමක් විය. මෙබඳු ගෝත්‍රයකට අයත්
විය. පැහැය, ආහාර, සැප, දුක් මේ මේ අයුරින් විය. ආයු කෙළවර ඒ භවයෙන් චුතව නැවත ඉපිද
ආදී වශයෙන් පෙර විසූ කඳ පිළිවෙළ සිහි කළ බෝසතාණන් වහන්සේට එම රාත්‍රියෙහි පූර්ව
යාමයේ දී “පුබ්බේ නිවාසානුස්සති ඤාණය” නමැති ප්‍රථම විද්‍යාව ලැබුණි. අවිද්‍යාව නසන
ලදී, මෝහය නමැති අන්ධකාරය නසන ලදී, ප්‍රඥා නමැති ආලෝකය පහළ විය.
චුතූපපාත ඤාණය ලැබීම
මහ බෝසතාණන් වහන්සේ මධ්‍යම යාමයේ දී ආනාපාන චතුර්ථ ධ්‍යානයට සමවැදී ඉන් නැඟී සිට
සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැනගැනීම පිණිස සිත නැමූහ.
විචිකිච්ඡා දී එකොළොස් වැදෑරුම් උපක්ලේශයන්ගෙන් තොර බැවින් පිරිසුදු වූ මිනිස් ඇස
ඉක්ම වූ දිවැසින් චුත වන්නා වූ ද උපදින්නා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද
විරූප වූ ද ආඪ්‍ය වූ ද දිළිඳු වූ ද සත්ත්වයන් දුටු සේක. කර්මානුරූපව සුගති දුගති
දෙක්හි මැරෙන උපදින නොයෙක් සත්ත්වයන් දුටු සේක.
ඒකාන්තයෙන් මේ සත්වයෝ කාය දුශ්චරිතයෙන් වාග් දුශ්චරිතයෙන් මනෝ දුශ්චරිතයෙන් යුක්ත
වූවාහු ය. බුද්ධාදී ආර්ය උතුමන්ට ගර්හා කළහ. මිථ්‍යාදෘෂ්ටි ගත්තාහ.
මිථ්‍යාදෘෂ්ටිය නිසා නානාවිධ අකුසල කර්ම කළහ. මේ කරණ කොටගෙන මරණින් පසු සැප නැත්තා
වූ දුක් ඇත්තාවූ දුගතියෙහි උපන්නාහ.
මේ සත්වයෝ කාය දුශ්චරිතයෙන්, වාග් දුශ්චරිතයෙන්, මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය.
ආර්යයන්ට ගර්හා නොකළහ. සම්‍යක් දෘෂ්ටි ගත්හ. නොයෙක් කුසල කර්ම කළ හෙයින් මරණින් පසු
සුන්දර වූ ගති ඇති සුගතියෙහි උපන්නාහ.
මෙසේ දිවැසින් චුතවන උපදින සත්ත්වයන් දැක ඒ රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි දී දෙවැනි
විද්‍යාව වූ දිබ්බ චක්ඛුඤාණය ලැබුණි. අවිද්‍යාව නසන ලදී. අඳුර නසන ලදී. ප්‍රඥා ලෝකය
පහළ විය.
ආසවක්ඛය ඤාණය ලැබීම
චතුර්ථ ධ්‍යානයෙන් සමාධිගත වූ ජය ශ්‍රී මහා බෝධිමූලයේ වැඩ සිටි අප මහා බෝසතාණෝ ඒ
රාත්‍රියෙහි පශ්චිම යාමයේ දී ආශ්‍රවක්ෂය ඤාණය පිණිස හෙවත් මඟ නුවණ පිණිස විදසුනට
සිත නැමූහ. මෙහි ආසවක්ඛය ඥානය නම් අරහත් මාර්ග ඥානය මැයි.
ප්‍රථමයෙන් දුක්ඛාර්ය සත්‍යය කෘත්‍ය සහිත ලක්ෂණ ප්‍රතිවේධයෙන් තත්වාකාරයෙන් අවබෝධ
කළහ. දැනගත්හ. ප්‍රතිවේධ කළහ.
අනතුරුව මේ දුක හටගැනීමට හේතුව ද තත්වාකාරයෙන් යථාභූත වශයෙන් අවබෝධ කළහ. තෘෂ්ණාව
විසින් දුක උපද වන්නේ ය. යන යථාභූත ඥානයෙන් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය තතු පරිදි
අවබෝධ කළහ.
අනතුරුව දුක්ඛය හා දුක්ඛ සමුදය නිරුද්ධ වීම හෙවත් දුක හා තෘෂ්ණාව නැති කිරීමෙන්
නිවන අවබෝධ කළ යුතු යැයි තත් වූ පරිදි දැනගත්හ. මෙසේ දුක්ඛ සමුදය නිරෝධාර්ය නම් වූ
සත්‍යය යථාභූත වශයෙන් දැනගත්හ.
දුක්ඛ නිරෝධය නම් වූ නිවනට පමුණුවන ආර්ය අෂ්ටාංගික මාර්ගය යථාභූත වශයෙන් අවබෝධ
කිරීමෙන් දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්යය සත්‍යය තත් වූ පරිදි අවබෝධ කළහ.
දැනගත්හ. ප්‍රතිවේධ කළහ.
මේ අයුරින් ම කාම භව අවිද්‍යා ආස්‍රවයෝ ඇති සැටියෙන් දැන ගත්හ. ආශ්‍රවයන්ගේ හට
ගැනීමට හේතුව ද ඇති සැටියෙන් දැන ගත්හ. ආශ්‍රවයන්ගෙන් නිරෝධය ද ඇති සැටියෙන් දැන
ගත්හ. ආශ්‍රව නිරෝධගාමිණී ප්‍රතිපදාව ද ඇති සැටියෙන් දැන ගත්හ.
මෙසේ දන්නා වූ දක්නා වූ උන්වහන්සේගේ සිත කාම ආස්‍රවයන්ගෙන් මිදුණේ ය.
භවාස්‍රවයන්ගෙන් ද මිදුණේ ය. අවිද්‍යාස්‍රවයෙන් ද මිදුණේ ය. එසේ මිදුණු කල්හි
මිදුණැයි (විමුත්තස්මිං විමුත්තමිති ඤාණං) ඥානය පහළ විය.
භාග්‍යවතුන් වහන්සේ සසර නැවත ඉපදීම හෙවත් ජාතිය මාර්ග භාවනාවෙන් ප්‍රහාණය කළහ.
“ඛීණා ජාතිය” වදාළේ එහෙයිනි. ‘නත්ථි දානි පුනබ්භවො’ - නැවත ඉපදීමක් නැත.
භාග්‍යවතුන් වහන්සේ චතුස්සත්‍යාවබෝධය කළ හෙයින් බ්‍රහ්ම චර්යාව නිම කළ සේක. මාර්ග
බ්‍රහ්ම චර්යාව ඇත්තේ රහත් නොවූ - සෝවාන් මාර්ගඵල ලාභියාගේ පටන් අරහත් මාර්ගය තෙක්
වූ ශෛක්ෂ පුද්ගලයන් සත් දෙනාටය. එම නිසා ‘වුසිතං බ්‍රහ්මචරියං’ මග බඹසර වැස නිමවන
ලද සේක. භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍යයන් සතර මාර්ගයෙන් පරිඥා - ප්‍රහාණ -
සාක්ෂාත් කරන - භාවනා වශයෙන් සොළොස් ආකාරයකින් අවබෝධ කළ සේක. කළයුතු දෑ කර අවසන් බව
“කතං කරණීයං” යනුවෙන් වදාළ සේක.
ඒ අනුව කෙලෙස් නැසීම සහමුලින් ම කර අවසන් ය. කිසිවක් ඉතිරි කර නැත. එබැවින් ‘නා පරං
ඉත්ථත්තාය’ යි වදාළ සේක.
මෙසේ වෙසක් පුර පසළොස්වක් පොහොය දිනට පෙර දින රැයේ අරුණ නඟින කල්හි සකල ක්ලේශයන්
ප්‍රහාණය කොට ලොව්තුරා සම්‍යක් සම්බුද්ධත්වයට පැමිණ වදාළ සේක.
උන්වහන්සේ අර්හත් මාර්ග ඥානය සමඟම චතු පටිසම්භිදා ඤාණය, ෂට් අසාධාරණ ඤාණය, තුදුස්
බුද්ධ ඥාන, අටළොස් ආවේණික ධර්ම, දශබල, චතුර් වෛශාරද්‍ය ඥාන ආදී වූ සියලු බුදු
ගුණයන්හි පිහිටා වදාළ සේක. |