වෙසක් අව අටවක 2021.06.02
සැහැල්ලු ජීවිතයක
අගය දකිමු
ජීවිතයක් සාර්ථක වන්නේ සිතා බලා කටයුතු කරන තරමට ය. ඒ කළ යුතු දේත්, නොකළ යුතු දේත්
නිවැරැදි ව තෝරාගත හැකි වන බැවිනි. නොකළ යුතු දෙය කරනවා නම්, කළ යුතු දෙය මඟ
හැරෙනවා නම් එතැන මතු වන්නේ ගැටලුවකි. එය විසඳා ගන්නට දරන උත්සාහය තුළ මතුවන්නේ
පීඩනයකි. එවැනි මානසිකත්වයකින් ගන්නා තීරණ ද ගැටලුකාරී නොවන්නේ කලාතුරකිනි.
පනින්න පෙර සිතා බලන්නැ’යි යන උපදේශයන්ගෙන් අපේ ජනවහර පෝෂණය වී ඇත්තේ ද එහි වටිනාකම
සිහි ගන්වන්නට ය. එහෙත් බොහෝ දෙනෙක් සිතන්නේ පැන්නාට පසුව ය. සරලව ම කියනවා නම්
යමක් කීමෙන්, කිරීමෙන් පසුව මුහුණ දෙන්නට වන ප්‍රශ්නය විසඳා ගැනීමේ දී ය. එවිට විය
යුතු දේ වී හමාර ය.
සම්බුද්ධ දේශනාව තුළ ද නිරන්තරයෙන් අවධාරණය කරන්නේ යමක් කියන්නට කරන්නට පෙර හොඳින්
සිතා බලන ලෙස ය. කියන වචනයෙන්, කරන ක්‍රියාවෙන් තමන්ට අනර්ථයක් නොවන්නේ නම්, අනුන්ට
ද අනර්ථයක් නොවන්නේ නම් පමණක් යම් දෙයක් කියන කරන ලෙසට ය.
සිතා බලන්නට ද චිත්ත වේවේකයක් ඇවැසි ය. රාගයෙන් ආතුර වු සිතට, ද්වේෂයෙන්, මෝහයෙන්
ආදී වූ අකුසල සිතිවිලිවලින් ආතුර වූ සිතට විවේකයක් නැත. නිරන්තරයෙන් අවිවේකී ය.
එවැනි අපිරිසුදු වූ සිතකින් ගන්නා තීරණ කවර මොහොතක හෝ පිරිසුදු විය නොහැකි ය.
දිනපතා කුණු, දුහුවිලි, දහදිය නිසා අපිරිසුදු වන අපේ සිරුර සෝදා පිරිසුදු නොකළේ
නම්, මොන තරම් අප්‍රසන්න බවක්, දුර්ගන්ධයක් ඇති වනවාද? සෞඛ්‍යාරක්ෂිත බවට මොන තරම්
හානියක් ද? බාහිරට පෙනෙන නිසා සිරුර පිරිසුදු කරන්නට දක්වන උනන්දුව බාහිර ව නොපෙනෙන
සිත පිරිසුදු කරන්නට දක්වන්නේ කීයෙන් කී දෙනා ද? එහෙත් ගත සේ ම සිත ද පිරිසුදු කළ
යුතුම ය. එය පහසුවෙන් කළ හැකි නොවුණ ද අප තථාගතයන් වහන්සේ ඒ සඳහා වූ මාවත අපට
පෙන්වා දී ඇත. කළ යුතු වන්නේ ඒ දහමට වඩාත් සමීප වී ඒ සදූපදේශ ජීවිතයට ප්‍රායෝගික කර
ගැනීම ය.
අද අතීතයට වඩා පුවත්පත්, පොතපත මඟින්, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් ආදී විවිධ
මාධ්‍යයන්ගෙන් අපට පහසුවෙන් ධර්මය කියවා අසා දැන ගන්නට පහසුකම් තිබේ. ඒවා අවබෝධයෙන්
පරිශීලනය කිරීම තුළ ධර්ම දේශනාවකට, පොතට පතට සීමා වන දහම් කරුණු ජීවිතය බබළවන මිණි
මුතු බවට පත්කර ගත හැකි ය.
අතීතයේ අපේ මුතුන් මිත්තන් ගත කළ ජීවිතය ආදර්ශයට ගෙන බැලුවේ නම්, දහම් පොත පත, ධර්ම
දේශනා සුලබ නො වූ එකල ඔවුහු මොන තරම් නම් දහමට සමීප වී තිබුණා ද යන්න අවබෝධ කර
ගැනීම අසීරු නොවනු ඇත.
අද මෙන් නොව අතීත ගැමියාගේ ජීවිත බොහෝ සරල විය. ඔවුහු දකින දේ පසුපස යමින් අනවශ්‍ය
දේ රැස් නොකළහ. ජීවනෝපාය ධාර්මික විය. එසේ උපයන දෙයින් සතුටු විය. අල්පේච්ඡ විය.
අල්ප කෘත්‍ය විය. ඒ ජීවන ක්‍රියාවලිය තුළ ලැබුණු නිදහස, විවේකය තුළ මනස ව්‍යාකූල කර
නොගත් ඔවුහු ගත් තීරණ ද ව්‍යාකූල නොවීය. අප සොයා යා යුතු ඒ සැහැල්ලු බවය. විවේකී බව
ය .අර්ථ සම්පන්න ජීවන රටාවය. |