ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තය
අස්ගිරි මහා විහාර
පාර්ශ්වයේ උපාධ්‍යාය
අමුණුපුර
පියරතන නා හිමි
යෙකෙචි බුද්ධං සරණං ගතාසෙ
නතෙ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දෙහං
දෙව කායා පරිපුරෙස්සන්ති
පින්වත්නි,
සනරාමර ලෝක සිවංකර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි පන්සියයක් මහරහතන්
වහන්සේලා පිරිවරකොට කපිලවස්තු නුවර මහ වනයෙහි වැඩ වසන සේක. එසමයෙහි දස දහසක් ලෝක
ධාතූන් හි දෙවි දේවතාවෝ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ආර්ය ශ්‍රාවකයන් දැකීමට
පැමිණියාහු ය. එසේ පැමිණි එක් දේවතාවෙක් මෙම ගාථාවෙන් බුදුන් සරණයාමේ ආනිශංස
ප්‍රකාශ කළහ.
යම් කෙනෙක් බුදුන් සරණ ගියාහු ද ඔවුහු අපායට නොයන්නාහ. ඒ බුදුන් සරණ ගියෝ මනුකය හැර
දේව කාය සම්පූර්ණ කරන්නාහු ය. කල්ප ගණන් තිස්සේ බුද්ධ යන වචනය පවා අසන්නට නොමැතිව
තිබිය දී කාලාන්තරයකින් මනුලොව පහළවන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසා බුද්ධ, ධම්ම,
සංඝ යන රත්නත්‍රය ප්‍රකට වීමෙන් මනුලොව ප්‍රධාන දස දහසක් සක්වළ පුරාවට මංගල
සම්මතයෙන් අසිරිමත් දෙතිසක් ප්‍රාතිහාර්යවලින් සියලු සත්වයන්ගේ චිත්ත සන්තාන
ප්‍රසන්න වන්නාහ. සාදු නාදයෙන්, තුති පූජාවෙන් තුටු පහටු වන්නාහ. එවන් උතුම්
තෙරුවන් සරණ යෑමෙන් ලබන ප්‍රතිවිපාක අනන්ත අප්‍රමාණ වන්නේ ය.
අප බෞද්ධයන් වශයෙන් අන්‍ය ආගමිකයන් අතර අනන්‍යතාවයෙන් සිටීමට හේතුවන්නේ අවංක
චේතනාවෙන්, අචල ශ්‍රද්ධාවෙන්, කුසල චෛතසිකයෙන් තෙරුවන් සරණ යාමයි. තිසරණ සරණ යාම
පිළිබඳව ධර්මානුගත ශාස්ත්‍රීය අවබෝධයක් තිබිය යුතු වන්නේ ය.
සරණ, සරණාගමන, සරණාගත, සරණාගමන ප්‍රභේද සරණාගමන ඵල, සංකිලේෂ යන කරුණු හය පිළිබඳව
අවබෝධයක් ලබා ගන්නේ නම් වරක් ගත් සරණාගමනය ජීවිතාන්තය දක්වා නොනැසී පවතින්නේ ය.
බුද්ධාදී රත්නත්‍රය සරණ යාමෙන් භය, ත්‍රාසය, දුක, පරිලාභ, හිංසනය, භීෂණය නැතිවන
බැවින් සත්වයන්ට එකම පිහිට තිසරණ සරණයාම වන අතර එය පිහිට කරගෙන පළමුව, දෙවනුව, හා
තෙවනුව සිත කය කැපකිරීම සරණාගමන නම් වන්නේ ය. සරණ ගිය තැනැත්තා සරණාගත නම් වන්නේ ය.
සරණාගමන ප්‍රභේද
ආත්ම සන්නිර්යාතන, තත් පරායන, ශිෂ්‍ය හා ප්‍රණීපාත ය.
අද පටන් මම බුදුන්ට ආත්මය බාර කරමි. එමෙන්ම දහමට, සඟුනට ජීවිතය පරිත්‍යාග කරමි
යනුවෙන් රත්නත්‍රයට ජීවිතය පරිත්‍යාග කිරීමෙන් සරණයාම ආත්ම සන්නිර්යාතන සරණාගමන නම්
වන්නේ ය. අද ද පටන් මම බුද්ධ පරායණ,
ධම්ම පරායණ, සංඝ පරායණ වෙමි යන අධිෂ්ඨානයෙන් සරණයාම තත්පරායණ සරණාගමන නම් වන්නේ ය.
ආලවක යක්ෂයාගේ සරණයාම මෙනි.
අද පටන් මම බුදුන්ගේ ශිෂ්‍යයෙක් වෙමි. ධර්මයේ හා සංඝයා වහන්සේගේ ද ශිෂ්‍යයෙක්
වෙමි’යි, තෙරුවන් සරණ යාම ශිෂ්‍ය භාවෝපගමන සරණ යාම නම් වන්නේ ය. බුද්ධාදී
රත්නත්‍රයට අභිවාදන, අංජලි කර්ම, සාමීචි කර්මාදියෙහි සතත නියුක්තව සරණයාම පණිපාත
සරණාගමන නම් වන්නේ ය.
එවං අචින්තියා බුද්ධා
බුද්ධ ධම්ම අචින්තියා
අචින්තියෙසු පසන්නානං
විපාකො හොති අචින්තියො
බුද්ධාදී රත්නත්‍රයේ ගුණ අනන්ත වන්නා සේ ම සරණයාමෙන් ලැබෙන ප්‍රතිවිපාක ද අනන්ත
වන්නේ ය.
ලෞකික ලෝකෝත්තර වශයෙන් සරණාගමනයේ ප්‍රතිවිපාක දෙයාකාර වන්නේ ය. දෛනික ජීවිතයේ දුක්
වේදනා, ලෙඩ රෝග, කායික හා මානසික සන්තාප දුරුවීම, බාහිර සමාජයෙන් හා පරිසරයෙන් වන
ව්‍යසනයන් නැතිවීම, වස විස, හා නපුරු සතුන්ගෙන් වන කරදර විපත් වාරණය, ජීවනය
තිරසරවීම දිට්ඨධම්මවේදනීය වශයෙන් ලබන්නා වූ ආනිශංස වේ.
එතං ඛො සරණං ඛෙමං
එතං සරණ මුත්තමං
එතං සරණ මාගම්ම
සබ්බ දුක්ඛා පමුච්චති
ආදී නයින් දැක් වූ පරිදි තෙරුවන් සරණයාම ලෝකෝත්තර ආනිශංස වශයෙන් ක්‍රමයෙන් සීල,
සමාධි, ප්‍රඥා වැඩීමෙන් උතුම් නිවන් සම්පත් ලබා ගැනීමට මූලික පදනම වන්නේ ය.
අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දඹදිව දෙසැටක් මිථ්‍යා දෘෂ්ටි පැවති බව බ්‍රහ්ම
ජාල සූත්‍රයෙන් දක්නට පුළුවන. ලෝකය පිළිබඳව මෙන්ම ආත්මය පිළිබඳව ද මිනිස් චින්තනයට
ඇතිවන මිථ්‍යා අදහස් තුරන්කොට බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි මෙයට වඩා ඇති කර ගන්නා
ශ්‍රද්ධාව මත ලෝක ජනතාවගේ අනාගත පැවැත්ම රඳා පවතින්නේ ය.
තෙරුවන් සරණින් සියලු සත්වයෝ සැනසෙත්වා
ලෝක වසංගත දුරුවේවා |