[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ත්‍රිපිටක බෙදීම

ත්‍රිපිටක බෙදීම

බුදුරදුන් විවිධ ස්ථානවලදී විවිධ පුද්ගලයන්ට දෙසූ ධර්මය එක් මල් අස්නක පිදූ විවිධ පුෂ්පයන් සේ විසිර පැවති හෙයින් යම් රටාවකට ගලපා සකසා ගැනීම ප්‍රථම ධර්ම සංගායනාවෙහි එක් අරමුණක් වූ බව පූජාවලියෙහි දක්වා ඇත.

බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළ සූත්‍රයක් නැවත ඒ අයුරින්ම දේශනා නො කළහ. බුද්ධ දේශනාවන් ඒවා ශ්‍රවණය කරන ශ්‍රාවකයන් වහන්සේලා විසින් ම මතකයෙන් පවත්වාගෙන ඒම සිදු වුණි.

එහෙත් බුදුරදුන් දෙසූ සූත්‍රයක් නැවත අසා ගැනීමේ විශේෂ වරයක් ආනන්ද හිමියන්ට ලැබී තිබුණි. ආනන්ද හිමි අග්‍ර උපස්ථායක තනතුරට පත්වීමෙන් පසුව සූත්‍ර ධර්ම දරා ගැනීම හෙවත් මතකයේ රඳවා ගැනීමේ වගකීම ද උන්වහන්සේ වෙත පැවරුණි.

බුද්ධත්වයෙන් විසි වසරකට පසුව විනය නීති හඳුන්වා දීමත් සමඟ ධර්මය සහ විනය වශයෙන් බුද්ධ දේශනාව දෙවැදෑරුම් කොට හඳුනා ගැනිණි. උපාලි හිමියෝ විනය මතකයේ රඳවාගෙන ආහ. බහුශ්‍රැතයන් අතර ආනන්ද හිමි ද විනය ධරයන් අතර උපාලි හිමි ද අග්‍රස්ථාන ලැබූහ. එයට පෙර විවිධ ධර්ම කොට්ඨාස සංවිධානය කොට රැක බලාගත් සාමාන්‍ය රටාවක් නව ලෝකෝත්තර සද්ධර්මය සේ ද හඳුන්වා ඇත.

ප්‍රථම ධර්ම සංගායනාවේ දී ආනන්ද හිමි හා උපාලි හිමි යන මෙම තෙරුන් වහන්සේලා දෙනම විසින් ධර්මයත්, විනයත් සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කරන ලදහ. එහි දී තෘතීය මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් මහ රහතන් වහන්සේලා විසින් එක්ව සජ්ඣායනා කොට සම්මත කරගත් එම ධර්ම විනය පිටකවලට හා ග්‍රන්ථවලට බෙදා ඒවා කටපාඩමින් පවත්වාගෙන යාම සඳහා ඒ ඒ තෙර පරපුරවලට භාරකරන ලද හ. ඒ අනුව සම්බුද්ධ දේශනාව ත්‍රිපිටකය ලෙස විධිමත්ව සංග්‍රහ කොට භාණක පරම්පරාවනට පවරා සජ්ඣායනා මාර්ගයෙන් රැක ගැනීම පිළිබඳ ගෞරවය හිමි වන්නේ ධර්ම සංගායක මහ රහතන් වහන්සේ වෙත ය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු සිදු වූ වැදගත්ම ශාසනික කාර්යය වූ මෙම ප්‍රථම සංගායනාවට අනුග්‍රාහකත්වය දැක්වීමේ මහා භාග්‍යය හිමිවූයේ අජාසත් මහ රජු ට ය.

බුදුරදුන් විවිධ ස්ථානවලදී විවිධ පුද්ගලයන්ට දෙසූ ධර්මය එක් මල් අස්නක පිදූ විවිධ පුෂ්පයන් සේ විසිර පැවති හෙයින් යම් රටාවකට ගලපා සකසා ගැනීම ප්‍රථම ධර්ම සංගායනාවෙහි එක් අරමුණක් වූ බව පූජාවලියෙහි දක්වා ඇත. එය පූජාවලී කතුවර මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් ගේ ම වදන් වලින් දැක්වීම වඩාත් යෝග්‍ය ය.

මහකසුප් මහ තෙරුන් වහන්සේ බුදුන් ගේ ආදාහන පූජාව කර වූ සේක. එ දවස් ආදාහනයට රැස් වූ සත් ලක්ෂයක් මහා ස්ථවිරයන් හා ප්‍රමාණාතික්‍රාන්ත භික්ෂූන් අතුරෙන් බුදුන් කෙරේ මහණව එහි භික්ෂුභාවයට නැගි තුන්පිටකධර වූ පන්සියයක් මහ රහතන් තෝරාගෙන රජගහ නුවරට වැඩ අජාසත් රජ්ජුරුවන් ගෙන්වා,”මහරජ, බුදුන් විසින් දෙසුවා වූ ධර්මය නොයෙක් ජාතියෙහි මල් එක මලස්නෙක සැළුවා සේ ඒ ඒ සත්ත්වයන් උදෙසා දෙසාපු හෙයින් පිළිවෙලක් නැතිව අනාගතයෙහි නො පවත්නා ලෙස තිබුණේ ය. එසේ හෙයින් දැන් මම ධර්ම සංගායනාව කරවනු කැමැතියෙමි.

මෙම ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ මහ රහතන් වහන්සේ ලා විසින් විනය හා සූත්‍ර ග්‍රන්ථ පහ බැගින් සංග්‍රහ කරන ලද හ. ඒ වන විට අභිධර්මය පැවැතියේ සූත්‍ර පිටකයට ම ඇතුළත් ව ය. පළමු ධර්ම සංගායනාවෙන් පසුව පැවැති සෑම සංගායනාවක දී ම අභිධර්මය ද වෙනම පිටකයක් සේ සංගායනා කළ බව පැහැදිලි ය.

විනය පිටකය

මුලින්ම විනය බෙදුනේ උභතෝ විභංග, ඛන්ධක පරිවාර යන වර්ග තුනකට ය. නැවත ඒවා පාලි නමින් හැඳින්වෙන ග්‍රන්ථ පහකට බෙදා ඇත. මින් උභතෝ විභංග යනු භික්ෂූන් වහන්සේලාට භික්ඛු විභංග ලෙස හා භික්ෂුණීන් වහන්සේලාට භික්ඛුණී විභංග ලෙස පැන වූ ශික්ෂාපදයි. ඛන්දක ග්‍රන්ථ දෙකකි. එහි අඩංගු කරුණුූ ඛන්ධක නමින් පරිච්ඡේදවලට බෙදා තිබෙන හෙයින් එම නම යෙදී ඇත. පරිවාර යනු උභතෝ විභංග, ඛන්ධක යන කොටස් දෙකට අදාළ විනය ග්‍රන්ථ සතරෙහි ම එන පැනවීම් පිළිබඳ අතිරේක විස්තර ඇතුළත් සාරාංශයයි. මේ අනුව විනය පිටකයට අයත් ග්‍රන්ථ පහ මෙසේ ය.

පාරාජිකා පාලි

භික්ෂූන් වහන්සේලා උදෙසා පැන වූ පාරාජිකා සංඝාධිසේස, අනියත, නිස්සග්ගිය පාචිත්තිය යන ශික්ෂා පද 49 ක් පිළිබඳ විස්තර විවරණ මෙහි අන්තර් ගත ය.

පාචිත්තිය පාලි

භික්ෂූන් වහන්සේලා උදෙසා පැන වූ පාචිත්තිය 92 ත් සේඛියා 75 ත් යන ඉතිරි ශික්ෂා පද සහ භික්ෂුණීන් උදෙසා පැන වූ 311 ක් වූ සියලු ශික්ෂා පද විස්තර මෙහි අන්තර් ගත ය.

මහාවග්ග පාලි

පැවිදි කිරීම, උපසම්පදාව, පොහොය කිරීම, වස් විසීම හා පවාරණය, කඨිනය, බෙහෙත් හේත් ආදි කාර්යයන් පිළිබඳ පැනවීම් හා විවරණ අඩංගු ඛන්ධක 10 ක් මෙම ග්‍රන්ථයෙහි අන්තර් ගත ය.

චුල්ලවග්ග පාලි

මෙහි ඛන්දක 12 කි. එයින් පළමු ඛන්ධක දහය තුළ දඬුවම් විධි, සංඝාධිසේස ආපත්තිවලින් මිදෙන ආකාරය අධිකරණ සමථ, හිස කෙස් කැපීම, නෑම ආදි සුලු සුලු කරුණු (ඛුද්දකවත්ථු) පිළිබඳ අදාළ පැනවීම් හා විස්තර විවරණ අන්තර්ගත ය. මෙහි ඉතිරි ඛන්දක දෙක අතර පංචසතිකක්ඛන්ධකයෙහි ප්‍රථම ධර්ම සංගායනා වාර්තාවත්, සත්තසතිකක්ඛන්ධකයෙහි දෙවන සංගායනා වාර්තාවන් ඇතුළත් ය.

මෙහි සඳහන් සංඝාධිසේස යනු කුමක්දැයි කෙටියෙන් විමසා බලමු. එනම් ඒවාට අදාළව සිදු වු ආපත්තිලට පිළියම් කොට යථා තත්ත්වයට පත්වීම හෙවත් එම වරදින් නිදහස්වීම සිදු කරගත හැකි වෙයි. එහෙත් ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත උපසම්පදාව ලැබීමටත් වඩා බරපතළය.

එය භික්ෂූන් වහන්සේලා ගෙන් තාවකාලිකව ඉවත්කොට නැවත භික්ෂූන් වහන්සේලා අතරට කැඳවා ගැනීමක් වන හෙයිනි. උදාහරණ ලෙස සංඝාධිසේස 13 අතුරෙන් එක් සංඝාධිසේස ඇවතක් නම්, ආවාහ විවාහ අපේක්ෂාවෙන් සිටින ස්ත්‍රී පුරුෂයන් ගේ ලියුම් හෝ පණිවිඩ ඔවුනොවුන් වෙත ගෙන යාමයි. එවැනි ස්ත්‍රී පුුරුෂයන් අතර හෝ ඔවුන් ගේ දෙමව්පියන් අතර පණිවුඩ හුවමාරුව මෙහිදී අදහස් කෙරේ.

  බක් පුර අටවක 

 අප්‍රේල් 20 අඟහරුවාදා පූර්ව භාග 00.01 පුර අටවක ලබා 21 බදාදා පූර්වභාග 00.43 ගෙවේ. අඟහරුවාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]