නිවන උතුම් සැපතයි
මොරටුව එගොඩ උයන විදර්ශනාරාම
මූල මහා විහාරාධිකාරී
මීරිගම
සුගතනන්ද හිමි
පුද්ගල හෙවත් සත්ව, වස්තු, සිතිවිලි, සිද්ධි යනුවෙන් විවිධ වූ ධර්මතා සමූහයක් පවතී.
ඒවා සියල්ලම විවිධ වූ ලෝක තලයන් ඇතුළත පවතින ධර්මතා ය.
දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය, තිරිසන්, ප්‍රේත ලෙස පුද්ගල සත්ව වශයෙන් මේ ලෝකතල අතර
කොටසක් සිටිති.
ඉරහඳ, දිය ඇලි, වැව් පොකුණු, සාගරය, පොළව, ගස්ගල් පර්වත, ගෙවල් දොරවල් යාන වාහන, ඇඳ
පුටු, මේස, මුතු මැණික්, රත්තරං, ඛනිජ තෙල්, ඛනිජ සම්පත්, වස්තු වශයෙන් ද ඇත. පින්
පව්, කුසල් අකුසල්, හොඳ නරක, යහපත අයහපත මතු කරන ලෝභ ද්වේෂ මෝහ හා අලෝභ අද්වේෂ
අමෝහාදිය සිතිවිලි වශයෙන් ද ඇත. එම සිතිවිලි සිත, කය, වචනය යන තිදොරින් සක්‍රීය වී
මතුවන විවිධ චේතනා හා ක්‍රියාවන් සිද්ධි ලෙස ද ඇත.
පුද්ගල, සත්ව, වස්තු, සිතිවිලි, සිද්ධි යන සියල්ලම සංඛ්‍යාත හෙවත් සංඛාර ලෙස
හඳුන්වයි. එම සංඛත ධර්මතා හේතු ප්‍රත්‍ය සමවායයකින් (පටිච්ච සමුප්පාදයට අනුව)
හටගන්නා දේ ය. මෙම සංඛත ධර්මතා ඇතිවන විවිධ වූ ලෝක තල කවරේද? එනම් මනුෂ්‍ය ලෝකය,
දිව්‍ය ලෝක හය වන යාමය, තුසිත, තව්තිසා, පරිනිම්මිත වසවර්තිය, චාතුර්මහාරාජික,
නිම්මානරතිය ද, සතර අපාය වන නරක, තිරිසන්, ප්‍රේත, අසුරය ද, බ්‍රහ්ම ලෝක වන
බ්‍රහ්ම, පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම, රූප අරූප ආ දී සියලු බ්‍රහ්ම ලෝක
ද ඉන් එහා යම් ලෝක ඇත්නම් ඒ සියල්ල ම ද සංඛත ධර්මතා ඇතිවන ලෝක තල වේ.
ඒ සියලු ලෝක තලයන් තුළ අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ ස්වභාවය කොට ඇත. ඒ වගේම
ඇතිවීම, පැවැත්මෙහි දී ඇතිවන වෙනස්වීම, විනාශය යන ලක්ෂණත්‍රය ද ඒ ලෝක තල තුළ පවතී.
යමක් අනිත්‍යයි ද එය දුකක් වන බව ද, යමක් දුකයි ද එය අනාත්ම බව ද බුදුරජාණන් වහන්සේ
සංඛතයන්ගේ ස්වභාවය පැහැදිලි කරමින් දේශනා කළ සේක.
ඒ දේශනාවට අනුව ලෝකයේ ස්වභාවය මනාව පැහැදිලි වේ. ඒ අනුව දුක්ඛො ලොකො පතිට්ඨිතො -
ලෝකය දුකෙහි පිහිටා තිබෙන බව බුදුරජාණන් වහන්සේ වැඩිදුරටත් දේශනා කළ සේක. ඒ දුකින්
පිරි ලෝකයෙන් මිදීමට නම් එයින් එතෙර විය යුතුම ය.
ලෝක තල සියල්ලම සංඛත යටතට ගැනේ. නිවන කිසිම ලෝක තලයකට අයත් නොවේ. නිවන හේතු
ප්‍රත්‍ය සමවායයකින් හට නොගත්තකි. ඒ නිසා නිවන එකම අසංඛත ධර්මතාවයයි. එය ලෝකයෙන්
එතර වූ ලෝකෝත්තර තත්ත්වයයි. ඒ තත්ත්වය පරම ශාන්ත නිවන් සුවයයි. එහි ස්වභාවය
ශූන්‍යතාවයයි.
නිවන තුළ පුද්ගල, සත්ව, සිතිවිලි, සිද්ධි යන ධර්මතා නැත. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ
වේදනාවන් ද නැත. සුන්දර අසුන්දර බවක් ද නැත. හැඩ වර්ණාදිය කිසිවක් නැත. ඇලීම්
බැඳීම් උපාදානයන් ද නැත. ඒ නිසා නිවන “නිබ්බානං පරමං සුඛං” නිවන උතුම්ම සැපතයි කියා
බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඒ ගාථා පාඨයේ සඳහන් ආකාරයට නිවන උතුම් ම සැපතයි කියා
හැඳින්වීමේ දී යමෙකුට නිවන තුළ ආශ්වාද ජනක සැප ස්වභාවයක් තිබේ කියා වැරදි හැඟීමක්
ඇතිවීමට ඉඩ තිබේ.
නිවන තුළ එවැනි වින්දනය කළ හැකි සැපතක් නැත. ඒ තුළ දුකක් ද නැත. එය අවබෝධකර ගැනීමට
උදාහරණයක් ගනිමු.
රන් භාණ්ඩවලට කවුරුත් කැමති යි. යමකු ළඟ එවැනි රන් භාණ්ඩ තිබේ නම් බොහෝ ආරක්ෂාකාරීව
තබා ගනී. ඒවා පිළිබඳව නිතරම සොයා බලනු ඇත. ඒවායින් අයිතිකරුට, කිසිම සැනසිල්ලක් ද
නැත. මන්ද යත්, තමා සන්තකයේ තිබෙන ඒ රත්තරං බඩු සොරු ගනී ද, පිටස්තර වෙනයම් කෙනෙකු
ඉල්ලන්න එයි ද, ගෙන ගියොත් ආපසු ගෙනත් දෙයිද, ගෙනිහිං ඒවා මාරු කරයි ද, වෙනස් කරයි
ද, එහි කෑලි ගලවයි ද, විකුණයි ද ආදී වශයෙන් නොයෙක් සිතිවිලි සිතට ඇති වීමෙන් සිතේ
සහනය සැනසිල්ල, සතුට නැති වී යයි. ඒ වගේම ඒ සිතිවිලි ඇතිවන විට සිතට ලොකු භයක්,
තැති ගැන්මක්, ලොමු දැහැගැන්මක් ඇති වෙයි. එවිට සිත නොසන්සුන් වෙයි. සිතේ සන්සිඳීම
නැතිව යයි. ඒ රන් භාණ්ඩ කිසියම් හෝ කෙනකු ඉල්ලගෙන ගොස් නැවත ඒවා නොදුන්නොත්
අමනාපකම්, අඩදබර ඇති වී ජීවිත ආකූල ව්‍යාකූල වී යනු ඇත. රත්තරං බඩු හිමිකරුවාගේ,
සිතට එවැනි ආකූල ව්‍යාකූල බවක් නොසන්සුන්තාවයක් ඇති වන්නේ ඇයි? ඇයි ඒ සිත අසහනයෙන්
රත් වී ගිනිගෙන දැවෙන්නේ, තැවෙන්නේ, පිච්චෙන්නේ අර රන් භාණ්ඩ ටික තමයි ඒ තත්ත්වය
උදාකළේ. එවැනි රත්තරං බඩු තමන් සතුව නොතිබුණා නම් සිතට එවැනි බරක්, අසහනයක්, චිත්ත
පීඩාවක්, නොසන්සුන්කමක්, උද්දච්ඡකමක් ඇතිවන්නේ නැත.
එහෙනම් සිතට මොනතරම් සහනයක් ද ? සැනසීමක් ද සැනසිල්ලක් ද ? මොනතරම් විවේක සුවයක්
දැනෙනවද සිතට. අන්න ඒ වගේ තමයි පරම ශාන්ත නිවන් සුවයත්, කිසිම දෙයක් නොමැති වීමෙන්
ඇතිවන සැහැල්ලු බවක් වැනි ස්වභාවයක් ඒ නිවන් ශූන්‍යතාවය තුළ ඇත. ඒ සැහැල්ලු බව
විඳිය හැකි දෙයක් ද නොවේ. සියලු වගකීම්වලින් සම්පූර්ණයෙන් ම සදාකාලිකවම නිදහස්වීම
නිසා ඇතිවන විවේක සුවයක් ඒ ශූන්‍යතාවය තුළ ඇත. ලෞකික ජීවිතයක් තුළින් විඳින්නා වූ
අධික සැපත තුළ ඒ සුවය සොයා ගත නොහැකි ය. අත්විඳිය නොහැකි ය.
නිවන් සුවය ගැන තවත් පැහැදිලි කර ගැනීම සඳහා තවත් උදාහරණයක් ගනිමු. එනම්, සමහර අයට
ශබ්දය කරදරයකි. එම කරදරකාරී ශබ්දය නතර වීමෙන් ඒ පුද්ගලයාගේ කනට හා සිතට යම් පහසුවක්
මෙන්ම සැනසිල්ලක් ද සහනයක් ද උදාවේ. කරදරකාරී බව ඇති වූයේ ශබ්දය තිබීම නිසා ය.
එයින් පැහැදිලි වන්නේ යම් ශබ්දයක් නොතිබීම තුළ, ශුන්‍යතාවය තුළ යම් නිස්කලංක බවක්
පවතින බවයි. ඒ අනුව නිවන තුළ ද, එම ශූන්‍යතාවය තුළ ද විඳීමක් නැති ස්වභාවයක් තුළින්
යම් නිස්කලංක බවක් පවතී. ඒ තත්ත්වය තම නැණ පමණින් ම පමණක් අවබෝධ කරගත යුතු ය.
නිවන් ශාන්තිය පිළිබඳව කිසිවකුට වචනයෙන් ප්‍රකාශ කර නිවැරදි අවබෝධයක් දිය නොහැකි ය.
එය අවබෝධ කොට ගත හැකි වන්නේ ශ්‍රී සද්ධර්මය මනාකොට අවබෝධ කරගත් පුද්ගලයකු සතුවන
බුද්ධි විඤ්ඤාණ ශක්තිය තුළිනි.
සව්කෙලෙසුන් නැතිවීමෙන් නිවන් සුවය මතුවන ආකාරය පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ අග්ගි
වච්ඡ ගොත්ත සූත්‍රයේ පැහැදිලි කෙරේ. බුදුරජාණන් වහන්සේ හා වච්ඡගොත්ත පරිබ්‍රාජකයා
අතර ඇති වූ සංවාදයක් එහි අන්තර්ගත වේ. බුදුරජාණන් වහන්සේ වච්ඡාගොත්ත
පරිබ්‍රාජකයාගෙන් විමසනවා මේ ආකාරයට. “වච්ඡ, ඔබ ඉදිරියේ ගින්නක් ඇවිළෙනවා කියා
සිතන්න. එම ගින්න කුමක් නිසා ඇවිළේදැයි ප්‍රශ්න කළොත් එයට ඔබ දෙන පිළිතුර කුමක්ද?”
කියා විමසනවා. එවිට වච්ඡ පිළිතුරු දෙනවා “ස්වාමීනි, එම ගින්න තණකොළ දර ආදිය නිසා
ඇවිළෙනවා.” කියා පිළිතුරු දුනි. එවිට බුදුරජාණන් වහන්සේ “ඔබ ඉදිරිපිට ඇවිළෙමින්
තිබූ ගින්න නිවී ගියා යැයි සිතන්න.” “ නිවීගිය ගින්න ගියේ කොහාට ද?” “නැගෙනහිර
පැත්තටද, බටහිර පැත්තටද, උතුරු පැත්තට ද, දකුණු පැත්තට ද, දැන් තිබෙන්නේ කොතන ද?
කියා ඇසීය. එයට පිළිතුරු දෙන වච්ඡ
“ස්වාමීනි, භවත් ගෞතමයන් වහන්ස, තණකොළ දර ආදිය නිසා ගින්න ඇවිලුනා නම් ඒවා ඉවත්වීම
නිසා එම ගින්න නිවුනා කියල කියනවා මිසක් අහවල් දිසාවකට එම ගින්න ගියා, දැන් අසවල්
තැනයි තිබෙන්නේ කියා කියන්න පුළුවන්කමක් නෑ.” කියලා උත්තර දෙනවා. එය ඇසූ බුදුරජාණන්
වහන්සේ “අන්න ඒ වගේ තමයි වච්ඡ, මේ රූපය යම්කිසි හේතු ප්‍රත්‍ය ධර්මයක් නිසා (සංඛත
හෙවත් සංඛාර ධර්මතා නිසා) ඇති වුණා නම් ඒ හේතු ප්‍රත්‍ය ධර්මයන් විනාශ වීමෙන් මේ
රූපය එතනම නිවී යනවා. “වෙනත් දිසාවකට වෙනත් තැනකට යනවා කියල කියන්න පුළුවන්කමක්
නැහැ.” කියල වච්ඡට තවදුරටත් පැහැදිලි කරල දුන්නා. මෙයින් පැහැදිලි වන්නේ කෙලෙස්
නැමති තණකොළ දර තිබෙන තුරු පංචස්කන්ධය ඇතිවන බවත් ඒවා ඉවර වීමෙන් පංචස්කන්ධය සදහටම
තිබුණ තැනම නැති වී යන බවයි. ගින්න එතැනම නිවී ගියා සේ කෙලෙස් නැමති දර ඉවර නම්
පංචස්කන්ධය ද එතැනින්ම සදහටම අවසන් වී ශූන්‍යත්වයට පත්වේ. එම ශූන්‍යතාවය ශාන්ත
නිවන් සුවයයි. ඒ නිවන් සුවය තිබෙන්නේ ඈතක නොවේ. පංචස්කන්ධය සදහටම නැතිවී යාමට
සූදානම් වන මරණයට අසලිනි.
පින්, පව් කෙලෙස් ආදී ඉතිරිව තිබිය දී සත්වයෙක් පුද්ගලයෙක් මරණයට පත් වුවොත් එම
පින් පව්වල විපාක ශක්තිය ගැනීමට පුද්ගලයා සත්වයා නැවත භවයක් ලැබිය යුතු ය. ඒ සඳහා
මරණින් පසු නැවත උපත ලබයි. පින් පව් කෙලෙස් ආදිය සහමුලින් ම අවසන් වී මරණයට පත්
වුවොත් එම පුද්ගලයාට සත්වයාට නැවත උපතක් නැත. පංචස්කන්ධය අහෝසි වී ශූන්‍යතාවයට පත්
වේ. උතුම් නිවන් ශාන්තියට පත් වේ. |