[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිල්දිය පතුලේ සැඟවුණු ඓතිහාසික කඩදොර විහාරය

නිල්දිය පතුලේ සැඟවුණු ඓතිහාසික කඩදොර විහාරය

මහින්දාගමනයෙන් පසු ලාංකේය ශිෂ්ටාචාරය බුද්ධ දර්ශනයෙන් පෝෂණය වීමත් සමග පුරාණ ගමෙහි වූ ප්‍රමුඛතම ස්ථානය බවට පත්වූයේ විහාරයයි. මෙම හේතුව නිසාවෙන්ම මෙරට හර පද්ධතිය තුළ “ගමයි පන්සලයි” “වැවයි දාගැබයි” ආදි වූ සංකල්ප ගොඩනැගුණු අතර ඒ යටතේ සෑම ගම්මානයකටම කෘෂිකර්මාන්තය උදෙසා වැවක් අවශ්‍ය වූවා සේ ම ආගමික අවශ්‍යතාවය උදෙසා විහාරයක් ද ගොඩනගා ගන්නා ලදි.

ගමක් ලෙස ඒකරාශිවූ ජනයා ගමේ ආර්ථිකය නම් වන කෙත්යාය අස්වැද්දීම සඳහා ජලය ලබා ගැනීමට ගම්මානයේ කඳුයාය පාමුල වැවක් හාරා එම පස් උපයෝගී කරගෙනම එම වැවට නුදුරින් දාගැබක් සමඟ විහාරයක් ද ගොඩනඟා ගත් බව ජනප්‍රවාදිත මතය වේ. ඒ අනුව මෙරට සෑම පැරැණි වැවකට ම නුදුරින් ම විහාරයක අවශේෂ දක්නට ලැබීම සුලභ දසුනක් විය.

එහෙත් වැවකට නුදුරින් නොව වැවක් පතුලේ විහාරයක් ඇතැයි කිවහොත් එය බොහෝ දෙනකුට නුහුරු අත්දැකීමක් වනු ඇත. එය සත්‍යයකි. ඒ වනාහි කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ සෑදූ කොත්මලේ ජලාශය පතුලේ සැඟව ගිය ඓතිහාසික කඩදොර විහාරයයි.

පුරාණ ලක්දිව රුහුණු රට, මායා රට හා පිහිටි රට වශයෙන් ප්‍රධාන පරිපාලන කොටස් තුනකට බෙදී තිබූ අතර එහිදී මායා රටේ වූ කොත්මලේ ප්‍රදේශයට හිමිවූයේ විශේෂ තැනකි. අනුරාධපුර කේන්ද්‍ර කරගෙන බලය ව්‍යාප්ත කළ පරදේශක්කාර එළාර රජුට විරුද්ධව යුධ නොවැදි තම පියාට ස්ත්‍රී වස්ත්‍රාභරණ යැවූ නිසාවෙන් ඇතිවූ රාජ උදහසෙන් බේරීම සඳහා පලාගිය ගැමුණු කුමරු සැඟවී සිටියේ ඓතිහාසික කොත්මලේ ප්‍රදේශයේ බව ජනප්‍රවාදයේ පවතී.

එකල කන්ද උඩ කෝට්ටේ ප්‍රදේශයේ ඌරු පැලැස්ස ගමෙහි ප්‍රධානියාගේ නිවසේ සැඟවී සිටි ගැමුණු කුමරු ගම් ප්‍රධානියාගේ රූබර දියණිය වූ රන් එතනා සමඟ පෙමින් බැඳී ඇත්තේ ද මෙම භූමිය කරණ කොටගෙන ය. නූතනයේ එම ප්‍රදේශය කොටගේපිටිය යන නාමයෙන් හඳුන්වනු ලැබේ. රාජ කුමාරයකුගේ ස්වරූපය අත්හැර ගොපල්ලකුගේ වෙස්ගත් ගැමුණු කුමරු කෙත්වතු ද අස්වද්දා ඇති අතර, මාවෙල ලෙස ප්‍රචිළිත එම කෙත්යාය අදටත් මෙම ප්‍රදේශයේ දැකගත හැකි ය. එළාර රජුගෙන් රට මුදවා ගැනීමට උපක්‍රමශීලීව සේනා සංවිධානය කළ ගැමුණු කුමරු මොණරාගල කන්දේ සැඟව සිටි බවට ද ජනප්‍රවාදයේ පවතී. කොත්මලේ ජලාශය පිහිටා ඇත්තේ මොණරාගල කන්දට නුදුරිනි.

දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජනා වූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය මෙරට කෘෂිකර්මය හා විදුලි උත්පාදනය වෙනුවෙන් ඇරැඹි දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස පෙන්වාදිය හැකි ය. සමගි පෙරමුණු රජයෙන් යෝජනා වූ මෙම දීර්ඝ කාලීන ව්‍යාපෘතිය කෙටි කලකින් අවසන් කිරීමට බලයට පැමිණි නව රජය පිඹුරු පත් සකස් කරන්නට විය. එම හදිසි කටයුත්තේ දී නිර්මාණය වන්නා වූ මහා ජලාශයන්ට යටවන ප්‍රදේශයන්හි පිහිටි ස්වභාවික නිර්මාණයන් හා ඓතිහාසික මෙන්ම සමකාලීන මානව නිර්මාණයන් පිළිබඳව හානි ඇගයුමක් කිරීමට කාලයක් ඉතිරි නොවී ය.

මහවැලි ගංගාවට උල්පතක් වෙමින් ගලාගිය කොත්මලේ ඔය ජාතික සංවර්ධනයට යොදා ගැනීමේ පියවරක් වශයෙන් කොත්මලේ ජලාශය පිහිටුවීමට තීන්දු තීරණ ගන්නා ලද අතර මෙහිදී ඓතිහාසික කඩදොර ගම්මානයේ දී කොත්මලේ ඔය හරහා වේල්ලක් ඉදිකර අක්කර අඩි

331000ක් වූ මෙම දැවැන්ත ජලාශය ඉදිකරන ලදී. මෙම ජලාශයට අක්කර 2360ක ප්‍රදේශයක් යටවූ අතර දහතුන් දහසක් ජනයා ජීවත්වූ නිවාස තුන්දහසක් ද, කුඹුරු හා ගෙවතු ද ජලයෙන් යටවිය. එසේම මෙම ප්‍රදේශයේ තිබූ විහාරස්ථාන 16ක් ද මහා ජල තලයෙන් යටවුණ අතර ඒ අතර මොරපේ සුභද්‍රරාමය, හැදුණුවැව මැදගොඩ ගංගාරාමය, ඔතලාවේ බෝධිරුක්ඛාරාමය, නවන්ගම අබිනවාරාමය සහ තිස්පනේ ශ්‍රී සුබද්‍රාරාමය ආදී විහාරද මොරපේ දේවාලය හා හැදුණුවැව මැදගොඩ පත්තිනි දේවාලය ද පෙන්වාදිය හැකි ය.

මෙම ආගමික සිද්ධස්ථාන අතරින් ඓතිහාසික කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරම විහාරයට හිමි වන්නේ සුවිශේෂී තැනකි. මහා ජල තලයෙන් යටවී දශක කිහිපයක් ගෙවුණ ද එම විහාරයේ ප්‍රතිමා ගෘහයේ වූ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් හා වීරාසනයෙන් යුත් බුද්ධ ප්‍රතිමා වහන්සේ තවමත් නිසලව සිටින අයුරු වියළි කාලයේ දී කොත්මලේ ජලාශය සිඳීයන විට අදටත් දැකගත හැකිය.

ගැමුණු කුමරු හා වේළුසුමන යෝධයා නිතර මුණගැසුණු ස්ථානය ලෙසට මෙම විහාරය ජනප්‍රවාද ගතව ඇත. විහාරයේ ඓතිහාසික ඉදිකිරීම් සියල්ලම හඳුනාගත නොහැකි තරමටම අද විනාශ වී ඇති අතර විස්මය දනවන කරුණ වන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත ප්‍රතිමා ගෘහයේ නටබුන් තවමත් ශේෂව පැවතීමයි.

මෙසේ නිල්දිය පතුලේ සැඟව ගිය ඓතිහාසික කඩදොර විහාරය ඇතුළු ආගමික සිද්ධස්ථාන සිහි කිරීමේ අරමුණින් 1983 මැයි 20වන දින කොත්මලය ජලාශය අසබඩ මහවැලි මහා සෑයේ ඉදිකිරීම් අරඹන ලදි.

මෙරට පෞරාණික උරුමයට ලැදියාවක් දක්වන්නා වූ පිරිස් වෙත දැක ගනු පිණිස ඓතිහාසික කඩදොර විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තවත් කාලයක් නිරුපද්‍රිතව පවතීවායි යන්න අපගේ බලාපොරොත්තුව වේ.

  බක් පුර අටවක 

 අප්‍රේල් 20 අඟහරුවාදා පූර්ව භාග 00.01 පුර අටවක ලබා 21 බදාදා පූර්වභාග 00.43 ගෙවේ. අඟහරුවාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]