[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන

පිරිවෙනටත බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.

[email protected]  බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

****

භික්ෂු අධ්‍යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන

මෙම පුරෝගාමී පිරිවෙනෙහි සමාරම්භක මෙන්ම දීප්තිමත්ම ශිෂ්‍යරත්න දෙනමක් වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන් විසින් 1873 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය මහ පිරිවෙනත්, රත්මලානේ ධම්මාලෝක නාහිමියන් විසින් 1875 දී පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනත් ආරම්භ කිරීම ශ්‍රී ලාංකීය භික්‍ෂු අධ්‍යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයකි.

1856 මැයි මාසයේ දී කල්‍යාණී නදී උදකුක්ඛේප සීමාවේ දී ප්‍රථම වරට සිදුකළ සියම් මහා නිකායේ පහතරට උපසම්පදා විනය කර්මය සංවිධානයේ දී ද, 1862 දී බෞද්ධයන්ගේ ප්‍රථම පුවත්පත වූ “ලක්මිණි පහන” ඇරඹීමෙහි ද වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියෝ පුරෝගාමී වූහ. “ලක්මිණි පහන” පුවත්පත ඇරඹීමේ දී මෙම පිරිවෙනේ සමාරම්භක සිසුන් දෙ පළක් වූ බටුවන්තුඩාවේ හා කොග්ගල පඬිවරුන්ගේ නො මඳ සහාය උන්වහන්සේට ලැබිණි. 1867 දී පැල්මඩුල්ල පුරාණ විහාරයේ පැවැති ත්‍රිපිටක ග්‍රන්ථ සංශෝධනය කිරීමේ පස්වන ධර්ම සංගායනාව වෙනුවෙන් සහභාගී වූ පිරිසේ නායකත්වය වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ ඉසිලූ අතර, මෙම පිරිවෙනෙහි සමාරම්භක ශිෂ්‍යයන් අතුරෙන් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ ද, ගාල්ලේ බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්‍ෂිත පඬිතුමා ද සහභාගී වූහ.

එදා 1841 දී වයස 29 ක් වූ තරුණ හිමිනමක් ලෙස පානදුර වලානේ සිට රත්මලාන ප්‍රදේශයට වැඩම කළ වලානේ ශ්‍රී සිද්ධාර්ථ නම් වූ ආරෝහ පරිණාහ දේහයෙන් යුතු උස අඩි 6 ක් පමණ වූ අසහාය යතිවරයාණන් වහන්සේ 1868 දක්වා වූ වසර විසි හතක් (27) තුළ මෙම පිරිවෙන් විද්‍යාස්ථානය මැනවින් ගොඩනගා පැවිදි ගිහි උගත් වියත් සිසු පරපුරක් සහිත යුග පුරුෂයන් රැසක් බිහිකොට 1868 පෙබරවාරි 17 දා සිය වයස අවුරුදු 56 දී අපවත් වී වදාළෝ ය.

උන්වහන්සේ 1868 දී අපවත් වීමෙන් පසුව දෙනිපිටියේ සංඝරක්ඛිත හිමියන් විහාරාධිපති ධූරයට පත් වූ අතර නව පරිවෙණාධිපති ධූරයට අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් පත් කරන ලදී. 1887 දී තෙවන විහාරාධිපති ධූරයට වලානේ ශ්‍රී ධම්මානන්ද නාහිමියෝ පත්වූහ. වලානේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් පිරිවෙනෙහි ප්‍රධාන බුද්ධ මන්දිරය තනවා, අනුරපුර යුගයේ දුටුගැමුණු රජසමයේ නිර්මාණය කර කුරුණෑගල කුඹුරුලෙන විල්ගම්මුල විහාරයේ පිහිටුවා තිබූ මැණික් පිළිමය ලෙසින් ප්‍රචළිත සධාතුක ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ක්‍රි. ව. 1883 දී අප පිරිවෙන් විහාරස්ථ බුද්ධ මන්දිරයට වැඩම කරවූ අතර, ක්‍රි. ව. 1892 දී ලංකාවට පැමිණි බුරුම ජාතික රැජිණිය ප්‍රතිමා වහන්සේ රන් ආලේප කරවා දෙපසින් තැන්පත් කරවීමට කිරිගරුඬ හිඳී පිළිම වහන්සේ දෙනමක් පූජා කළා ය. ක්‍රි. ව. 1893 දී කාම්බෝජ රජු පැමිණ විහාරස්ථානයේ ධර්ම ශාලාව ගොඩනැංවීම ආරම්භ කොට 1895 දී කාම්බෝජ ඇමතිවරයෙක් අතින් එය විවෘත කෙරිණි.

ශ්‍රී ධම්මානන්ද හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය භික්ෂූන් අතරින් සූරියගොඩ සුමංගල, දියපත්තුගම වාචිස්සර, ගොඩිගමුවේ සරණතිස්ස සහ වලානේ සට්ඨිස්සර යන හිමිවරුන් කැපී පෙනිණි. 1911 ජනවාරි 7 වන දින, විහාරාධිපති වලානේ ශ්‍රී ධම්මානන්ද නාහිමියෝ අපවත්වූයෙන් පූජ්‍ය සූරියගොඩ සුමංගල හිමියෝ නව විහාරාධිපති විය. පශ්චාත් උපාධි අධ්‍යාපනය ඉංග්‍රිසි බසින් හැදෑරීම සඳහා එංගලන්තයට වැඩම කළ පළමු ශ්‍රී ලාංකික භික්ෂුව ලෙස සූරියගොඩ සුමංගල හිමියෝ වාර්තාගත වේ. ප්‍රාචීන පණ්ඩිත විභාගය මුල්වරට විශිෂ්ට ලෙස සමත් වු විදුරුපොළ පියතිස්ස හිමියෝ ද, රත්මලාන පිරිවෙනෙහි සුමංගල හිමියන්ගේ සමකාලීන ශිෂ්‍යයකු විය. 1940 දී වලානේ සට්ඨිස්සර මහා ස්වාමීන්වහන්සේ විහාරාධිපති වූ අතර අප පිරිවෙනේ චෛත්‍ය රාජයාණන් ඉදිකරවීමට ද, ඓතිහාසික පිළිම වහන්සේ වැඩසිටින බුද්ධ මන්දිරය හා ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය කරවීමට ද, පිරිවෙන් අධ්‍යාපන කටයුතු නඟා සිටුවීමට ද උන්වහන්සේ ඇපකැප වූහ.

ක්‍රි ව. 1960 දී විහාරාධිපති ධූරයට පත්වූ මාපලගම විපුලසාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පරිවෙණාචාර්ය අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කළේ ය.

2000 ඔක්තෝබර් 29 වන දින, අප ගුරුදේවයාණන් වූ මාපලගම විපුලසාර නා හිමියන් අපවත් වූ අතර සිය ශිෂ්‍ය, මඩපාත ධම්මසාර ස්වාමීන් වහන්සේ 2000 නොවැම්බර් 5 වන දින විහාරාධිපති තනතුරට පත් වී විහාරස්ථානයේ සංවර්ධන කටයුතු ඉදිරියට ම අඛණ්ඩව ගෙන යන ලදී. ධම්මසාර නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ එවකට විහාරාධිකාරී වූ ආචාර්ය මාඉටිපේ විමලසාර හිමියන්ගේ මඟ පෙන්වීම මත බෝමළුව වටා අටවිසි බුද්ධ රූප සහිත බෝධි ප්‍රාකාරයක් ඉදිකරවා විවෘත කිරීම 2015 ජූලි මාසයේ සිදු කෙරුණි. අවාසනාවකට 2015 සැප්තැම්බර් 13 වන දින විහාරාධිපති ධම්මසාර නා හිමියන් වහන්සේ සිය වයස අවුරුදු 54 දී අපවත් විය.

මාපලගම විපුලසාර නාහිමියන්ගේ පැවිදි ශිෂ්‍යයෙකු මෙන්ම මඩපාත ධම්මසාර හිමියන්ගේ පැවිදි සහෝදර හිමියන් වූ ආචාර්ය මාඉටිපේ විමලසාර ස්ථවිරයන් වහන්සේ 2015 දෙසැම්බර් 20 වන දින සිට විහාරාධිපති ධූරය දරමින් කටයුතු කරනු ලබයි.

  බක් පුර අටවක 

 අප්‍රේල් 20 අඟහරුවාදා පූර්ව භාග 00.01 පුර අටවක ලබා 21 බදාදා පූර්වභාග 00.43 ගෙවේ. අඟහරුවාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]