[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

දෙනු මැන ඔවා ඔබ සිත තුළ නැත කහට

රටක මුල් පුටුව හිමි වෙයි රජුට
සිප් හල මුල් පුටුව හිමි වෙයි ගුරුට
නැණ ගුණ වඩා රජු බිහි කෙරුවොත් රටට
ගුරුතුම ඔබයි උරුමයි රජ කිරුළ හෙට

මිනිසකු හැදිය හැකි මිනිසකු නැසිය හැකී
ඔබගේ බලය ප්‍රබලයි ඔබ ගුරුතුමෙකී
යොදවා ඒ බලය සැදුවොත් දරු නැණ කී
ඔබ රැස් කළා පින් දෙලොවට වැඩක් ඇතී

විනිවිද දැකිය හැකි සිසුනගෙ හද පතුල
ඔබ කැටපතකි දුර දක්නාවෙක ඇතුළ
බලලා ඒ නෙතින් සිසුනගෙ මන ඇතුළ
දෙන ඔවදන් නිදන් වේ උන් මනස තුළ

ඔබගේ පිහිට පතමින් පාසලට එන
දඹරන් වේ ය දරුවන් ලොව නිති දිලෙන
ඒ දඹ රනින් වටිනා අභරණ තනන
රන්කරු ඔබයි ගුරුතුම මුළු ලොව දිලෙන

නිති සේවයක් සලසා සිසු දරුවන්ට
කිත් පැසසුම් ලබන්නේ නැහැ ඔබ උසට
මෙත් මුදිතා පතා කරුණා උනුන් හට
දෙනු මැන ඔවා ඔබ සිත තුළ නැත කහට

සිසු සිත තැවෙයි ඔබ වෙත බැතියෙන් ඉතිරී
පාරනු එපා උන් හද අගුරෙන් කිහිරී
සිසු අංගුලිමාල කැපුවේ අන් අත් ඇඟිලී
බැති පෙම නිසයි ඔබ හට වූ ළය පැතිරී

****

නමදිමු සැදැහෙන්

මහා කරුණා ගුණය සසිරූ
අමිල අමල ගුණම පැතිරූ
හිස නළලත තබා නමඳිමු
අමා මෑණිය ලොව්තුරා

****

ගැලවීම

කලකදි සුන්දරයි කලකදි අසුන්දරයි
කලකදි මනාපයි කලකදි අමනාපයි
කලකදි පැණි රසයි කලකදි තිත්ත රසයි
කලකදි පි‍්‍රයයි කලකදි අපි‍්‍රයයයි

අටලෝ දහම පෙරළෙන හැටි නොදැන
දැඩි ලෝබයෙන් භවය අල්ලා ගෙන සිටින
මිනිසුනි ලොවේ නිරතුරුව ම පසු තැවෙන
ගැලවෙන්නට හැකිය ලැබ ගත හොත් නිවන

****

දිව ඔසුවක් සේ

සරා සරාගික සිහින විමන් තුළ
විඩාබරව කල් ගෙවූ යුගය
නිමා කරන්නට පින් සිත සැරසේ
අවසර බුදු හාමුදුරුවනේ.....

අමා නිවන් වෙත යොමා පහන් සිත
නිමා කරන්නට කඳුළු ඇසේ
පුර පස සඳ සේ විකසිත මනසේ
පිරුණා අමයුරු දහම් රසේ

සදාතනිකව ම මුදා කෙලෙස් බර
පුදා ඔබේ සිරිපතුල බැතින්
සසර විඩාවට දිව ඔසුවක් සේ
පිළිවෙත සපුරා ලබමි සහන්

****

මෙවර ජයග්‍රාහී කවිය

ලොව දැකීම

සැපතම පතා දිව යන මිරිඟුවක් දැක
වෙහෙසකි පැතුම් සුන් වී ඉන් ලැබෙයි දුක
මායා ලොවක නිරතුරුව ම බැඳෙයි සිත
වැටහෙන විටදි අරුමෙකි ඉන් පලක් නැත

කරනා කෙනෙක් නැත කරනා දෙයක් නැත
හේතුව ඵල දරයි සැනෙකින් නැසෙනු ඇත
අනියත බවම මිස කිසිවක් ලොවෙහි නැත
විශ්වය අතැඹුලක් විලසට පෙනෙනු ඇත

සද් දන හදට ගන්වා මෙත් කුළුණු ගුණ
දක්වා සතර මග පල නැණ ලබන පින
දුරු කර තණ්හාව මෝහයි හැඳින දැන
නිමල වූ හදින් ලෝකය දෙස බලනු මැන

  මැදින් පුර අටවක 

 මාර්තු 21 ඉරිදා පූර්වභාග 07.10 පුර අටවක ලබා 22 සඳුදා පූර්වභාග 09.00 ගෙවේ.
ඉරිදා සිල්
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]