අශ්ව ලෙයින්
රෝග සුව කළ
බුද්ධදාස රජතුමා
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනයේ
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි
" මේ රජතුමා සිරිමේඝවණ්ණ මහරජතුමාගේ පුත්‍රයෙකි. පියාගේ රාජ්‍ය පාලනයෙන් පසු
බුද්ධදාස නමින් රාජ්‍යත්වයට පත් වේ. වෛද්‍ය ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි දක්‍ෂයෙකි.
සාරාර්ථ සංග්‍රහය නමැති වෛද්‍ය ශාස්ත්‍රීය කෘතිය ද ඔහුගේ නිර්මාණයකි."
ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමට අතීත මහරජවරුන් අපමණ වෙහෙසකින් ක්‍රියා කර
තිබේ. ඔවුන්ගේ කරුණාව, ප්‍රඥාව, සහ බෞද්ධ ඉගැන්වීම් අනුව රාජ්‍ය කරවීම වර්තමානය
දක්වා සම්බුදු සසුනේ චිර පැවැත්මට හේතු වී තිබේ.
ඇතැම් රජකෙනෙක් යුද ශක්තිය මෙහෙයවා රටත් සම්බුදු සසුනත් බැබළවී ය.
තවත් අයෙක් වාරි කර්මාන්තය නඟා සිටුවමින් දැහැමි පාලනයක් ගෙන ගියේ ය. අයෙක් වෙහෙර
විහාර ඉදිකරමින් සම්බුදු සසුනේ චිර පැවැත්ම තවත් දීර්‍ඝ කර වූහ. ඇතැම්හු මෙම කටයුතු
සියල්ලම ඉටුකරමින් රටට සහ බුදුසසුනේ පැවැත්මට සේවය සැලසූහ. මේ අතුරින් විශේෂ රජ
කෙනකු ලෙස බුද්ධදාස රජතුමා හඳුන්වා දිය හැකිය.
නම ඇසූ පමණින් බෞද්ධ ජනයා මේ රජු හඳුනා ගනිති. හෙළවෙදකමට විශාල සේවයක් සැලසූ රජතුමා
ශෛල්‍ය වෛද්‍යවරයකු ලෙස ද සේවය සැලසී ය.
එය රජතුමා හා බැඳී රසවත් කතා පුවත්වලින් තහවුරුවේ. මේ රජතුමා සිරිමේඝවණ්ණ
මහරජතුමාගේ පුත්‍රයෙකි. පියාගේ රාජ්‍ය පාලනයෙන් පසු බුද්ධදාස නමින් රාජ්‍යත්වයට පත්
වේ. වෛද්‍ය ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි දක්‍ෂයෙකි. සාරාර්ථ සංග්‍රහය නමැති වෛද්‍ය
ශාස්ත්‍රීය කෘතිය ද ඔහුගේ නිර්මාණයකි.
දසරාජ ධර්ම, සතර අගති, සතර සංග්‍රහ වස්තු ආදී බෞද්ධ පාලන ඉගැන්වීම් අනුව රාජ්‍ය කළ
අයෙකි. තව ද මනුෂ්‍යයින් සහ සියලු සතුන් තම දරුවන් ලෙස ආරක්‍ෂා කිරීම, ඔවුන්ට මහත්
වූ කරුණාව දැක්වීම, දිළින්දන්ට වස්තු බෙදාදීම, ගිලනුන්ට උපස්ථාන කිරීම, ගමක් ගමක්
පාසා වෙදහල් ඉදිකිරීම, සහ ගම් දහසක එක් එක් වෙදකු බැගින් යෙදවීම කළ බව මහාවංසය
සඳහන් කරයි.
තව ද ධර්ම කථික භික්‍ෂූන්ට භෝග සම්පත් සහ කැපකරුවන් ලබාදීම, සිවුපසයෙන් යුක්ත විහාර
ඉදිකිරීම, වැව් තැනීම, දන්හල් පැවැත්වීම සහ පිළිම තැනවීම ආදිය කළ බව ද එහිම සඳහන්
වෙයි.
රජතුමාගේ අපමණ කාරුණික භාවයත්, වෛද්‍ය ශාස්ත්‍රයේ නිපුණත්වයත්, බුද්ධිමත්භාවයත්
ප්‍රදර්ශනය වන කතා පුවත් කිහිපයක් ම වංශකතාවල දැක්වේ. එයින් නාගයකුට උපස්ථාන කිරීමේ
පුවත ඉතා ප්‍රසිද්ධ ය.
එක් දිනක් රජතුමා ජලස්නානයට මඟුලැතු පිටින් තිසා වැවට යමින් සිටිය දී තුඹසක්
සමීපයෙහි උඩු කුරුව හොත් නාගයකු දැක එයට හේතු විමසා පරීක්‍ෂා කරයි. එවිට ඌගේ
කුසයෙහි හටගත් ගෙඩියක් නිසා එසේ සිටින බව හඳුනා ගනයි.
කාරුණික සිතැති රජතුමා වහා නාගයා වෙත එළැඹ “මහා තේජස් ඇති තොප කිපෙන සුළු ය. ස්පර්ශ
කර තොපට ප්‍රතිකාර කරන්නටත් නො හැක්කෙමි. ස්පර්ශ නොකර කරන්නටත් නො හැකි ය. එ බැවින්
කුමක් කළ යුතු දැයි කියව?” යි පවසා සිටියි.
එකල්හි නාගයා සිය පෙණය තුඹස වෙත ප්‍රවේශ කරගෙන රජතුමාට ප්‍රතිකාර කිරීමට අවස්ථාව
සලසා දෙයි. රජතුමාත් වහා යුහුසුළු වී සැතක් ගෙන නගයාගේ කුස පලා දෝෂය බැහැරලා බෙහෙත්
කොට සුවපත් කළේ ය. සුවපත් වූ නාගයා ප්‍රීතියෙන් යුක්තව තමා සතු නාග මාණික්‍ය රජු
වෙත පරිත්‍යාග කරයි. රජතෙමේ එය අභයගිරියේ ශෛලමය පිළිමයක නේත්‍ර පිණිස පිහිටුවයි.
රජතුමාගේ උපායශීලි වෙදකම සහ හෙදකම තහවුරුවන තවත් පුවතක් මෙසේ ය.
දිනක් එක් භික්‍ෂූවක් පිඬු පිණිස ගමෙහි හැසිර වියළි බතක් සහ පණුවන් සහිත කිරි
පානයක් ලැබ වැළ¼දී ය. දින කිහිපයකින් ඒ භික්‍ෂු තෙම රෝගී වී රජතුමා වෙත එළැඹ පුවත්
සියල්ල සැළකර සිටියි. රජතුමා කුසෙහි පණුවන් බෝ වී ඇති බව දැන එක් අශ්වයකුගේ නහරකින්
ලේ ගෙන උපාය සහිතව බීමට සැලැස්වී ය. සියල්ල වළඳා අවසන් වූ විට තමන් වහන්සේ වැළඳුවේ
අශ්ව ලේ බව සිහිපත් කර සිටියි. එයින් දැඩි පිළිකුල් ඉපද වූ හිමි වහා වමනය කරයි.
එකල්හි කුසෙහි සිටි පණු සමූහයත්, අශ්ව ලේත් වහා පිටවිය. එයින් ම භික්‍ෂුව සුවපත්
විය. මෙම පුවත් මහාවංසයේ තිස්හත්වැනි පරිච්ඡේදයේ සඳහන් වේ.
තවත් පුවතකට අනුව එක් මිනිසෙක් ජලාශයකින් ජලය ගෙන පානය කරයි. එහෙත් එහි සර්ප
බිජුවක් ඇති බව නොදකියි. දිනෙන් දින කාලය ගත විය. ඔහුගේ උදරයෙහි ඇති සර්ප බිජුව
මෝරා සර්පයකු උපත ලැබී ය. ඌ මිනිසාගේ කුස පහරමින් වේදනා ඇති කරන්නට පටන් ගත්තේ ය.
වේදනාව ඉවසිය නොහැකි වූ හෙතෙම රජු වෙත එළැඹ පුවත් සියල්ල දන්වා සිටියේ ය. රජතුමා
ඔහුගේ කුසයෙහි සර්පයකු සිටින බව හඳුනාගෙන රෝගියා සුවඳ පැනින් නහවා, අලුත් වස්ත්‍ර
අන්ඳවා, සැප පහසු සයනයක සැතපවීය. එකල්හි ඒ තෙමේ අධික නිද්‍රාවට වැටී කට දල්වාගෙන
සයනය කරන්නට පටන්ගත්තේ ය.
එ සමයෙහි හුයක බැඳී මස්වැදැල්ලක් ඔහුගේ මුඛයෙහි තැබ්බ වීය. කුස හොත් සර්පයා ද කුස
ගින්නෙන් පෙලෙන්නේ මස් වැදැල්ල අනුභවයට එහි පැමිණියේ ය. එවිට ඌ අල්ලා පිටත ගෙන
දැමීමේ පුවතක් ද මහාවංසයේ තිස්හත්වැනි පරිච්ඡේදයේ ම සඳහන් වෙයි.
තවත් දිනෙක හෙල්ලොලිය නම් ගම විසූ සත්වරක් මූඪගර්භ වූ සැඩොලියක් ගැබින් සුවපත් කළ
පුවතක් ද, වාත රෝගයෙන් පෙළුණු භික්‍ෂුවක් සුවපත් කළ පුවතක් ද, කුෂ්ඨ රෝගයෙන් පෙළුණු
රජුට වෛර කළ පුරුෂයකු සුවපත් කළ පුවතක් ද මහාවංසයෙහි දැක් වේ.
මෙයින් පෙනෙන්නේ බුද්ධදාස රජතුමා සම්බුදුසසුනේ කරුණාව, මෛත්‍රිය වැනි උතුම් ගුණධර්ම
ප්‍රායෝගික ව ක්‍රියාවට නඟමින් ඉතා සාර්ථකව වෙදකමත්, හෙදකමත්, රජකමත් කළ බවකි. |