ඇස්සැද්දුම ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූල මහා විහාරස්ථ
සියවස් සමරු පුණ්‍ය මහෝත්සවය
කුලියාපිටිය – ඇස්සැද්දුම
ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූල මහා විහාරස්ථානයේ සියවස් සමරුව හා ශ්‍රී ලංකා රාමඤ්ඤ
මහා නිකායේ අභිනව මහා නායක හිමියන් පිළිගැනීමේ මහෝත්සවය නිමිත්තෙනි
අදට සිය වසකට එපිට කුලියාපිටිය හා අවට ප්‍රදේශයට බුදු දහමේ ආලෝකය දැඩි ලෙස අවශ්‍ය
විය. සදහම් සුවඳ විඳ ගන්නට වුවමනා විය. බුදුබණ අසන්නට, දැන කියා ගන්නට අවශ්‍යතාවක්
පැවතිණි. ඊට වැඩිමනක් හේතු වූයේ සැදැහැවත් බෞද්ධ පිරිසක් ප්‍රදේශයේ සිටිය ද
විහාරස්ථානයක් හෝ සංඝයා වහන්සේ නමක් ඒ සඳහා ප්‍රදේශයේ නො සිටීම ය.
මේ විහාරස්ථානය ආරම්භ කිරීමට පෙර එනම් ක්‍රි.ව. 1919 ට පෙර ප්‍රදේශයේ සැදැහැවත්
බෞද්ධ පිරිසක් එක්ව දුර බැහැර වැඩසිටි භික්ෂූන් වහන්සේලා වරින්වර වැඩම කරවා
කුලියාපිටිය නගර ප්‍රදේශයේ ධර්ම දේශනා කරවූ අතර, එයට පැවති ඉංගී‍්‍රසි ආණ්ඩුවේ
විරෝධය ඍජුව ම එල්ල විය. ධර්ම ශ්‍රවණය කිරීමට එන පිරිසට අතරමඟ රැක සිට පහර දෙන්නට ද
ඔවුහු කටයුතු කළහ.
පොලීසියේ පහර දීම්වලට ද මුහුණ දීමට ඔවුනට සිදුවිය. මේ තාඩන පීඩන බාධා කිරීම්වල
ප්‍රතිඵලය වූයේ ඒ පිරිස් සංවිධානගතවී තමන්ගේ ම තැනක් ගැන සිතීම ය. ඒ අනුව ක්‍රියා
කර ඔවුනොවුන්ගේ ම ඉඩම් කැබලි පරිත්‍යාගයෙන් පන්සල සඳහා බිමක් තෝරා ගැනීමට ඔවුහු
කටයුතු කළහ.
අනතුරුව එහි පොල් අතු සෙවිලි කළ කුඩා බණ මඩුවක් තනා ගත්හ. මේ සඳහා අවශ්‍ය ඉඩම්
පරිත්‍යාග කළේ නුගවෙල මහාදිකාරම් තුමා ගේ අනුශාසනා පරිදි ඇස්සැද්දුම වලව්වේ
අප්පුහාමි කෝරලේ මහතා, පිදුම වලව්වේ හල්පෙ බණ්ඩා යන අයයි.
1921 අපේ‍්‍රල් 26 දින ශාසනාලංකාර සමිතිය නමින් සමිතියක් ආරම්භ කරන ලද අතර 1921
මැයි 10 වැනි දින එකී බණමඩුව ඉදිකළ බව ශාසනාලංකාර වංශ කතාවේ සඳහන් වේ.
විහාර භූමියේ වස් විසූ කට්ටමුරිච්චානේ සිරි සුභාරතී නම් වූ ඒ භික්ෂූන් වහන්සේ ඒ
අනුව ප්‍රථම විහාරාධිපති හිමියන් ලෙස විහාරස්ථානය ගොඩනැඟීමේ කර්තව්‍යය භාර ගත්හ. ඒ
අනුව උන්වහන්සේගේ අනුශාසනා පරිදි දිනෙන් දින පියවරෙන් පියවර ඉදිරියට යන සංවර්ධන
ගමනක් ආරම්භ විය. විශේෂයෙන් ම අධ්‍යාපන කටයුතු ගැන උනන්දුවක් දැක්වූ උන්වහන්සේ
ප්‍රදේශයට අඩුවක්ව පැවති පාසලක් ආරම්භ කර විශේෂයෙන් ම දහම් අධ්‍යාපනය ලබා දීමට ද
හැකි මධ්‍යස්ථානයක් ලෙස ඇස්සැද්දුම සිරි සුභාරතී විද්‍යාලය ආරම්භ කිරීමට පියවර
ගත්හ. පසුව එය රජයේ පාසලක් ලෙස පවත්වාගෙන යාම සඳහා රජයට පවරන ලදී.
මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරි සුභාරතී ස්වාමීන් වහන්සේ වසර 43 ක දීර්ඝ කාලයක්
විහාරාධිපති ධූරයේ හිඳිමින් විහාරස්ථානයක දියුණුවට අවශ්‍ය මූලික අවශ්‍යතා සම්පූර්ණ
කිරීමට කටයුතු කළහ.
1969 දී උන්වහන්සේ අපවත් වූ අතර ඉන් පසු විහාරාධිපති ධූරයට උන්වහන්සේගේ සමීපතම
ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වූ කබලෑවේ පියභාරතී නාහිමියෝ පත්වූහ. පියභාරති නා
හිමියෝ අධ්‍යාපනයෙන් ඉහළට යමින් අන් අයට ද අධ්‍යාපනය ලබා දෙමින් එහි යා හැකි
හිනිපෙත්තට ම ගියහ. ඒ අනුව අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ කථිකාචාර්ය ධූරයේ
දීර්ඝ කාලයක් කටයුතු කරමින් එහි මහාචාර්ය පදවියකට ද පත්වූහ. වැඩිහිටි නිවාසයක්
ආරම්භ කරමින් ප්‍රදේශයේ අසරණ වැඩිහිටියන් නංවාලීමට පියවර ගත්හ. පිරිවෙන් අධ්‍යාපන
ක්ෂේත්‍රයේ නියමු ආචාර්යවරයාණන් වහන්සේ නමක වූහ. කුලියාපිටිය තරුණ බෞද්ධ සංගමය වැනි
සමිති සමාගම් සංවිධාන පිහිටුවීමට අනුශාසනා ලබා දෙමින් පොදු ජන හිතසුව පිණිස විවිධ
වැඩසටහන් ආරම්භ කළහ.
උන්වහන්සේ ගේ ශාසනික හා මහජන ශුභ සිද්ධිය සඳහා ද වූ පුළුල් සේවාව තවදුරටත්
පිළිගැනීමට ලක් කරමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරයට උන්වහන්සේ
පත්කරන ලදහ. උන්වහන්සේ තම ප්‍රධාන විහාරස්ථානය ඇස්සැද්දුම බුද්ධ ශාසනාලංකාර
විහාරස්ථානය ලෙස සලකමින් ඊට අමතරව සිය උපදේශකත්වය ලබා දුන් ප්‍රධාන විහාරස්ථාන 10
කි.
පුරා තිස් වසරක පුළුල් වූ ශාසනික හා සමාජ සේවයක නියැළී සිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා
නිකායේ අනුනායක කබලෑවේ පියභාරතී නාහිමියන් 1999 දී අපවත්වී වදාළ පසුව තුන්වැනි
විහාරාධිපති හිමියන් ලෙස පත්වූයේ උන්වහන්සේගේ ශිෂ්‍යවර පල්ලේකාගම රතනභාරතී ස්වාමීන්
වහන්සේ ය.
තම නිකායෙන් පැවරෙන වගකීම් අතපසු නොකර නොපිරිහෙලා ඉටුකිරීමට කටයුතු කරන ශාස්ත්‍රපති
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවදවන ලේඛකාධිකාරි , අප විහාරාධිපති
පල්ලේකාගම රතනභාරතී හිමියෝ නිකාය භේදයකින් තොරව බුදු සසුනේ චිරස්ථිතිය සඳහා
ප්‍රායෝගික ලෙස කටයුතු කරති. 2016 වසරේදී තෛ‍්‍රනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා
තම විහාරස්ථානයට වැඩම කරවා එකම වේදිකාවක අසුන් ගන්වා තම විහාරස්ථානයේ ඉතිහාසය
ඇතුළත් “ශාසනාලංකාර විහාරවංසය, නම් වූ ග්‍රන්ථය පිළිගැන්වූ උත්සව අවස්ථාව මෙහිදී
සිහි ගන්වනු වටී. නිකාය භේදයකින් තොරව බුදු සසුනේ චිරස්ථිතිය ද, මහජන සුව සෙත ද
සලසන ආකාරය උන්වහන්සේ එහිදි ප්‍රායෝගික ලෙස පෙන්වා දුන්හ.
ක්‍රි.ව. 1999 න් ආරම්භ වන වත්මන් විහාරාධිපති හිමියන්ගේ යුගය භෞතික වශයෙන් වේගවත්
දියුණුවක් ලබා ඇති අතර, පුද්ගල අධ්‍යාත්මය දියුණු කරන්නා වූ ආගමික වශයෙන් ද
පුනරුදයක් ඇතිකරගෙන සිටී.
වර්තමානයට ගැලපෙන පරිදි විහාරස්ථානයක තිබිය යුතු පහසුකම් සැලසීමට ඉදිකිරීම් ගණනාවක්
සිදුකර තිබෙන්නේ මේ කෙටි කාලය තුළ ය. මෑත භාගයේ යොවුන් පරපුර ආගම දහමට වැඩි
නැඹුරුතාවක් දක්වන බව පෙනී ගිය අතර ඔවුනට අවශ්‍ය පරිදි ආරාධිත ධර්ම දේශනා විටින්
විට සංවිධානය කෙරිණ. යොවුන් පෙළට ආගමික කටයුතුවල ප්‍රමුඛ තැනක් දෙමින් දහම් පාසලේදී
පටන් ඔවුන් සැබෑ බෞද්ධයන් ලෙස හැඩ ගැන්වීම සඳහා මගපෙන්වීම් ලබා දීම සිදු කෙරිණ.
අපවත්වී වදාළ විහාරාධිපති මාහිමියන් විසින් ආරම්භ කරන්නට යෙදුන සංඝමිත්තා පෙරහර
දුරුතු මහා පෙරහර ලෙස සමාජගත කිරීමට කටයුතු කළේ වත්මන් විහාරාධිපති නා හිමියෝ ය.
උන්වහන්සේගේ අවංක කැපවීමට ගරුකරන සැදැහැවත් පෙරහර කමිටුවක්, දායක සභාවක් හා පොදු
මහජන ප්‍රසාදයක් නිසා ය. පෙරහරක් ගැන ප්‍රදේශයේ පාසල් දරුවකුට ප්‍රායෝගික දැනුම
ලබාදීමට ද, බොදු බැතිය උපදවා ගැනීමට ද මේ පෙරහර මඟින් ලබා දෙන දායකත්වය සුළුපටු
නොවේ.
වියපත් වූ පසු අසරණභාවයට පත්වන පියවරුන් හෝ පිරිමි පුද්ගලයන් වෙනුවෙන් තම
විහාරස්ථානය වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන ගියත් මව්වරුන් හෝ කාන්තාවන් සඳහා
එවැන්නක් නොමැතිවීම අඩුපාඩුවක් ලෙස දුටු උන්වහන්සේගේ අනුශාසනා පරිදි සැදැහැවත්
පින්වතකුගේ පරිත්‍යාගයෙන් ලත් ඉඩමක පහසුකම් සහිත වැඩිහිටි නිවෙසක් තනවා එය කාන්තා
වැඩිහිටි නිවාසයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කර තිබේ. විහාරස්ථානය හා සම්බන්ධ
බෞද්ධ කටයුතු වලට අදාළ සමිති සමාගම් හා සංවිධාන ගණනාවකම උන්වහන්සේ අනුශාසකත්වය
දරමින් සිටිති.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවර්ධන සභාවේ ලේඛකාධිකාරි ලෙස පැවරී තිබෙන
කාර්යභාරයට අයත් එක් කාර්යයක් පමණක් නම් වාර්ෂිකව පළ කෙරෙන පරියත්ති සඟරාව පිළිබඳ
ප්‍රධාන වගකීමයි. එහි ප්‍රධාන සංස්කාරක වශයෙන් ඇති වගකීම හරියාකාරව ඉටුකිරීම ම
කෙතරම් අගනේද?
මේ වන විට විහාරස්ථානයට සියවසක් සම්පූර්ණ වීම නිමිති කරගෙන විශේෂ වැඩසටහන් මාලාවක්
සිදුකිරීමට විහාරස්ථානය හා සම්බන්ධ සංවිධාන පියවරගෙන තිබේ. එම උත්සව හා වැඩසටහන්වල
අවසන් අදියර ලෙස පැවැත්වෙන මහෝත්සවය මෙම 20 වැනි දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්
ඇස්සැද්දුම ශ්‍රී සම්බුද්ධ ශාසනාලංකාර මහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතව
තිබුණි.
කරුණාතිලක හදුන්පතිරණ
|