සප්තබොජ්ඣංග තුළින් පිළිබිඹු වන මානසික රෝග නිවාරණය
වල්පොළ ධම්මානන්ද හිමි
විසංකීර්ණ ලොවක ජීවත් වූ බොහෝ මිනිසුන් බොහෝ සුවසේ නිදහස් මනසකින් යුතුව දිවි ගෙවූව
ද සංකීර්ණ ලොවක ජීවත් වන බොහෝ මිනිසුන්ට කිසිම සහනයක් නොමැත. විසංකීර්ණ ලොවක සැබෑ
තතු ඉතිහාසය තුළ සාක්ෂි දරන අතර සංකීර්ණ ලොව වර්තමානයේ ද සජීවී හෙයිනි. ලොව මවිත
කරවමින් තනන ලද සුවිසල් මෙන් ම ඉතා ශක්තිමත් ගොඩනැගිලිවල නෂ්ටාවශේෂ පෙර විසූ
මානවයාගේ කායික ශක්තිය අදටත් විදහාපාන ජීවමාන සාධකයකි. එබඳු සුවිසල් නිර්මාණයන්
කරනු වස් එම ජනයාගේ මානසික තත්ත්වය නිරවුල් ව තිබූ බව අමුතුවෙන් ප්‍රකාශ කිරීමට
අවැසි නොවේ.
වර්තමානය තෙක් විහිදී සුරක්ෂිත ව අප හමුවේ ඇති බොහොමයක් ආගමික මතවාද පෙර විසූ
නිරවුල් මනසක් ඇත්තන්ගෙන් අප ලද මහඟු දායාදයකි. එපමණක් නොවේ. ඉතිහාසය දෙස මෙන් ම
ප්‍රාග් ඓතිහාසික යුගය දෙස විවිධ මානයන්ගෙන් විවිධ වූ පර්යේෂණ සිදුකළ ද එවක මානවයා
සදහා විවිධ කායික අපහසුතාවයන් උදෙසා ප්‍රතිකර්ම කිරීම සඳහා වූ රෝහල් විනා මානසික
අපහසුතාවයන් සඳහා වූ රෝහල් පිළිබඳ ව තොරතුරු සපයා ගැනීමට අපහසු ය.
වර්තමාන මිනිසා වනාහි යාන්ත්‍රීකරණයේ ප්‍රතිමූර්තියක් වන හෙයින් නිරන්තරයෙන් ම
විවිධ කායික මෙන්ම මානසික ව්‍යාධීන්ට ගොදුරු වන්නේ ය. මෙම කාරණා මූලික කොට ගත් එබඳු
මිනිසුන් සුවපත් කිරීමට විශාල පරිශ්‍රමයක් දරන මානව ප්‍රජාවක් ද ඔවුන් නිරෝගී
කිරීමේ අරමුණු ඇති ව කටයුතු කරන අතර, මිනිසාට වැළදෙන ව්‍යාධීන් සුව කිරීමට ඔවුහු
විවිධ විධික්‍රම හඳුන්වා දුන්හ.
එහෙයින් විශාල වශයෙන් රෝහල් බිහිවූයේ කායික රෝග නිවාරණය තරමක් පහසුව ද මානසික
ව්‍යාධීන් අස්වැසීමට මනෝවිද්‍යාව නම් විෂයක් බිහිවිය. විද්‍යා විෂය ක්ෂේත්‍රයේ
පාරප්‍රාප්ත වූ විවිධ වෙදැදුරන් විවිධ චිකිත්සාවන් හඳුන්වා දුන්න ද ඒවා සර්ව
සම්පූර්ණ නොවී ය.
මානසික රෝග නිවාරණය විවිධ මානයන් මෙන් ම එහි ලා බුදු දහමේ ප්‍රවේශය මනෝ රෝග
නිවාරණයෙහි ලා සප්ත බොජ්ඣංගයන්හි උපයෝගිතාව සාකච්ඡා කිරීම මේ තුළින් සිදු කෙරෙන
මූලික අරමුණ හා කාර්යය වේ.
බුදුදහම ලොව ඇති අන් සියලු ආගම් සහ දාර්ශනික චින්තනයන්ට වඩා වෙනස් වූ මානව හිතවාදී
වූ සැමට හිතසුව පිණිස වූ අගනා ධර්මයකි. බුදු දහම අනුව ලොව ඇති උතුම් ම ලාභය
නිරෝගිකම යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. එසේම නිරෝගිකම ඇති තැනැත්තා සතුට
හෙවත් ප්‍රීතියට නිරායාසයෙන් ම පත්වේ. අංගුත්තර නිකායේ රෝග සූත්‍රය දක්වන අන්දමට
සත්ත්වයාට වැළඳෙන රෝග ප්‍රධාන වශයෙන් දෙයාකාර ය. එනම් කායික රෝග සහ මානසික රෝගයි.
තව ද කායික රෝගවලින් මිදී වර්ෂයක් දෙකක් ආදී වශයෙන් දිවි ඇතිතෙක් විසුව ද මානසික
රෝගවලින් මිදී මොහොතක්වත් විසිය නොහැකි බව රෝග සූත්‍රය වැඩිදුරටත් සඳහන් වේ.
බුදු දහම තුළ මනෝ රෝග විශ්ලේෂණය අරමුණ නම් මිනිසාට යහපත් මානසික සෞඛ්‍යයකින් යුතුව
දෛනික ජීවිතය පවත්වා ගෙන යාමට උපදෙස් ලබාදීමත්, බුදුදහමේ ඉගැන්වෙන පරම නිෂ්ටාව වන
නිර්වාණාවබෝධය පිණිස. නිරෝගීකම, සතුට යන දෙකම ඇති තැන තමා පිළිබඳ සහ අන්‍යයන්
පිළිබඳ විශ්වාසය නිරායාසයෙන් ම හටගන්නා අතර ලාභයක් බඳුවූ නිරෝගිකමත්, ධනයක් බඳු වූ
සතුටත්, ඥාතියකු බඳු වූ විශ්වාසයත් ඇති තැන පරම සුවය වන නිර්වාණාවබෝධය සඳහා ගමන්
කිරීම පහසුවේ.
සියලු පෘථග්ජනයින් උන්මත්තකයන් බඳු යැයි පැවසෙනුයේ නිර්වාණාවබෝධය තුළින් පමණක් සර්ව
සම්පූර්ණයෙන් ම මානසික රෝගවලින් මිදිය හැකි බැවිනි.
මානසික රෝග ඇති වීමට බලපාන හේතු සාධක පිළිබඳ ව පැහැදිලි විවරණයක් බුදු දහම තුළ
දැකිය හැකි ය. ඉන්ද්‍රිය හා අරමුණු සංයෝග වීමෙන් එම ඉන්ද්‍රියට අදාළ විඤ්ඤාණය ඇති
වේ.
එසේ ඇති වන විඥානය විෂයත් ඒ හේතුවෙන් වේදනාවත්, ඒ හේතුවෙන් සංජානනයත්, ඒ හේතුවෙන්
විතර්ක, ප්‍රපංච යනාදී නිසාවෙන් තෘෂ්ණාව ඇති වන අයුරු මධුපිණ්ඩික සූත්‍රයේ විස්තර
වේ.
උපතින් ම ප්‍රභාස්වර වූ සිත ආගන්තුක ව පැමිණෙන උපක්ලෙස හේතුවෙන් කිලිටි වන බව
අංගුත්තර නිකායේ දක්වා තිබේ. එලෙස සිත කිලිටි කරන ප්‍රධාන මූලයන් තුනක් අකුසල් මුල්
ලෙස අභිධර්මයේ මෙන් ම විවිධ සූත්‍රයන්හි දක්නට ලැබේ.
ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් හේතුවෙන් මනස තුළ විවිධ රෝගාබාධ හට ගනී. මේවා
අකුසල චෛතසිකයෝ ය. මෙම අකුසල මූලයන් පදනම් කරගෙන විවිධ මානසික රෝග එක්දහස්
පන්සියයක් පමණ වැළෙඳන බව කෙලෙස් එක්දහස් පන්සියය නම් රේරුකානේ චන්දවිමල නා
හිමියන්ගේ ග්‍රන්ථයේ පැහැදිලි වේ.
විවිධ කායික රෝග ඇති වීමට ද මෙම අකුසල මූලයන් හේතු වන බව ඇතැමෙක් පවසයි. අකුසල
මූලයන් අතුරෙන් ලෝභය වනාහි සසර පැවැත්මට හේතුව වගේම කාම, භව, විභව යනුවෙන් තණ්හාව
ආකාර තුනකි. පංච කාමයන් හා තම පැවැත්ම වෙනුවෙන් සිය ජීවිතය මෙහෙයවන කිසිවකු
තෘප්තිමත් නොවන බවත්, සියල්ලෝ ම තණ්හාවේ දාසයෝ වන බවත් බුදු වදනයි.
තණ්හාව ආශාව සසර පුරා පැමිණෙන විට සපුරාගත නොහැකි තැන ද්වේශය ඇති වේ. ද්වේශයෙන්
යුක්ත පුද්ගලයාට ලෝකයේ යථා ස්වභාවය වටහා ගැනීමට අපහසු ය. එසේ වූ කල්හි පුද්ගලයා
විවිධ අසාමාන්‍ය චර්යා සහිත මනෝ රෝගවලට ගොදුරු වේ. මේ අනුව ලෝභ, ද්වේෂ, මෝහ යන
අකුසල මූලයෝ මානසික රෝග ඇති කිරීමෙහි ලා රෝග කාරකයෝ ලෙස හැඳීන ගැනීම නිවැරදි ය.
මීට අමතර ව මනස කිලිටි කරන, මනස ලෙඩ කරවන තවත් හේතූන් බුදු දහම පැහැදිලි කර ඇත.
පඤ්ච නීවරණ ධර්මයෝ නිරතුරුව ම මිනිසා යථාර්ථයෙන් දුරස් කරන බව උපක්කිලේශ සූත්‍රයේ
පැහැදිලි කරයි.
නීවරණ ධර්ම මානසික රෝග ලෙස හැඳීන්විය හැකි අතර, දස සංයෝජන ද එබඳු ම මානසික රෝග
සමූහයකි. නිර්වාණාවබෝධය තෙක් ම මෙම සංයෝජන නම් මානසික රෝගයන් ගෙන් වියුක්ත වීමක්
නොමැත.
සල්ලේඛ සූත්‍රයෙහි විවිධ මානසික ව්‍යාධීන් 44 ක් පිළිබඳ ව දක්වා තිබේ. දුක පිළිබඳ
දීර්ඝ විවරණ දැකිය හැකි බුදුසමයට අනුව විවිධ කායික මෙන්ම මානසික රෝග ඇති කිරීමේ රෝග
නිධානයකි. දුක ධම්මචක්ක සූත්‍ර දේශනාව මෙන් ම සච්චවිභංග සූත්‍ර දේශනාව ද දුක
පිළිබඳව විස්තර විවරණ සපයන මූලාශ්‍රයෝ ය. අභිධර්ම පිටකයට අයත් විභංග ප්‍රකරණයෙහි ද
මනස රෝග කරවන හේතු 1510 ක් හෙවත් කෙලෙස් 1510 ක් පිළිබඳ ව දක්වා තිබේ.
මේ අනුව පැහැදිලි වන්නේ මනස හා මානසික රෝග පිළිබඳ බටහිර මනෝ විද්‍යාත්මක විග්‍රහයට
වඩා ඉතා ගැඹුරු විග්‍රහයක් බුදුදහම තුළ විද්‍යමාන වන බවයි.
බුදුරජාණන් වහන්සේ ලොව විසූ ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයාණෝ ය. දිනක් සේල නම් බමුණාට
බුදුපියාණන් වහන්සේ දේශනා කළේ තමන් වහන්සේ ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයා බවයි. මෙහි
ශල්‍යකර්ම යනුවෙන් අදහස් කළේ රාගාදි කෙලෙස් ඇද දැමීමයි.
ඉතිරි කොටස මැදින් පුර අටවක පෝදා ( මාර්තු 21) පත්‍රයේ පළවේ. |