[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පාකිස්ථානයේ ගන්ධාර බෞද්ධ උරුමය

පාකිස්ථානයේ ගන්ධාර බෞද්ධ උරුමය

සමස්ත ඉන්දියානු අර්ධද්වීපය ම මෑත කාලයේ දී එකම පාලනයක් යටතේ පැවතුණේ අසෝක රාජ යුගයට (ක්‍රිස්තු පූර්ව 273 - 232) පසුව බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී ය.

බ්‍රිතාන්‍ය පාලනය අවසන් වූයේ එම ප්‍රදේශ ප්‍රධාන ලෙසින් කොටස් තුනකට බෙදා වෙන්කර රාජ්‍ය දෙකක් පිහිටුවීමෙනි. මෙම අස්වාභාවික බෙදීමෙන් 1947 වර්ෂයේ දී ඉන්දියාව සහ පාකිස්ථානය නමින් රටවල් දෙකක් ඇති වුව ද රටක භූගෝලීය පිහිටීම සැලකිල්ලට නොගෙන සිදුකරන එවන් වූ බෙදීම ස්ථිර නොවන බව පැහැදිලි කරමින් පාකිස්ථානය රාජ්‍ය දෙකඩ වී පාකිස්ථානය හා බංග්ලාදේශය නමින් රාජ්‍ය දෙකක් බිහි විය. අසෝක රාජ යුගය උදා වූයේ ඊට ඉහත දී අසෝක රජු අයත් වන මෞර්ය රාජ වංශයේ රජවරුන් වූ චන්ද්‍රගුප්ත සහ බින්දුසාර යන රජවරුන් දෙදෙනාට පසුව ය. අසෝක රජුගේ මෞර්ය අධිරාජ්‍යයට, ඉහතින් සඳහන් කළ ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය ආදී විශාල ප්‍රදේශයක් අයත් වූයේ ය. අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ශිලාලේඛන, ටැම්ලිපි හා පර්වත ලිපි මෙන්ම ලෙන් ලිපි අනුව මෙකල ඉහතින් සඳහන් සෑම රටකම පිහිටා තිබුණි. මේ නිසා ඒ පුරාණ රාජ්‍යය ජම්බුද්වීපය නමින් හැඳින්වුණි.

අප මෙහිදී විශේෂ අවධානය යොමුකර වන්නේ පාකිස්ථාන රාජ්‍යයට ය. එහි අග්‍රාමාත්‍යවරයා වූ ඉම්රාන් ඛාන් මහතා පසුගිය දා ලංකාවට පැමිණීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා සමඟ ද සාකච්ඡා කළ අවස්ථාවේ දී පාකිස්ථානයේ පුරාණ බෞද්ධ උරුමයට අයත් ගන්ධාරය පිළිබඳව ද අවධානය යොමු කළේ ය.

ගන්ධාරයේ පුරාණ බෞද්ධ විශ්වවිද්‍යාලයක් පැවැති තක්ෂිලාව ඉතා ප්‍රකට ය. ගන්ධාර බුදු පිළිම කලාව ලොව පුරා ඉතා ප්‍රකට ය. සිද්ධාර්ථ කුමාරයා දුෂ්කරක්‍රියා කරන අන්දම නිරූපිත ලොව ඉතා ප්‍රකට එම ප්‍රතිමාව ද ගන්ධාර බුදුපිළිම කලාවට අයත් ය. එය මෙකල පාකිස්ථානයේ ලාහෝර් පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත.

මේ පිළිබඳ විමසා බලනවිට ගන්ධාරය ගැන ද ගන්ධාරය ආශි‍්‍රත වූ එම බෞද්ධ ප්‍රබෝධයට මුල් වූ කුශාන රාජ වංශික බෞද්ධ රජ කෙනකු වූ කණිෂ්ක රජු ගැන ද සඳහන් කළයුතුව ඇත.

අසෝක මහ අධිරාජයා විසින් තුන්වැනි ධර්ම සංගායනාවට පසුව රටවල් නවයක බෞද්ධ දූත පිරිස් යැව්වාක් මෙන් කනිෂ්ක රාජ යුගයේ ද අසෝක රජුට දෙවැනි වූ මහා බෞද්ධ සේවාවක් ඉටුකළ බව ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි මඟින් භාරතීය මෙන්ම විදේශීය විද්වතුන් ද පළ කරන ලද පර්යේෂණ ග්‍රන්ථවලින් හෙළි වී ඇත.

කුශාන රාජ වංශිකයන් ඉන්දියාවේ සිය බලය පතුරුවා ගන්නා කාලය ගන්ධාර ප්‍රදේශයේ විවිධ ජාතීන්ගේ ආක්‍රමණවලට සහ බලපෑම්වලට යටත්ව පැවතුණි. අසෝක රාජ යුගයට පසුව වයඹ දිග ඉන්දියාව තවත් විදේශ ආක්‍රමණ කීපයකට යටත් විය. අසෝක රජතුමා රජවීමට පෙර එතුමාගේ පියාගේ පියා වූ චන්ද්‍රගුප්ත රාජ යුගයට ද පූර්ව කාලයේ දී මැසිඩෝනියාවේ රජ වූ මහා ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණවලට පසු (මෞර්ය යුගයට පසුව) සලකා බලන විට පර්සියන්වරු හා ඉන්දු ගී‍්‍රකවරු ද වයඹ දිග ඉන්දියාව ආක්‍රමණය කළහ. මීට අමතරව චීනයේ සිට තවත් ගෝත්‍ර හතරක් වයඹ දිග ඉන්දියාව ආක්‍රමණය කළහ. ඔවුන් යු.එච් වරුන් ලෙස හැඳින් වේ. කුශාන වංශිකයින් ඇති වූයේ ඒ යූ එච්වරුන් ගෙනි. කුශාන රාජ වංශයේ ඉතා ශ්‍රේෂ්ට රජු වූයේ කනිෂ්ක රජු ය. ඊට පෙර තවත් රජවරු සිටි නමුදු කනිෂ්ක රජු නූතන වයඹ දිග ඉන්දියාවේ පාකිස්ථානයට අයත් පෙෂවාර් හෙවත් එකල පුරුෂ පුරයෙහි කුශාන රාජධානියේ කණිෂ්ක රජුගේ පාලන මධ්‍යස්ථානය වූයේ ය. විදෙස් රටකින් පැමිණි රජ කෙනකු ප්‍රථම වරට වයඹ දිග ඉන්දියාවේ මෙකල පාකිස්ථානයට අයත් අධිරාජ්‍යයක් ගොඩනැඟුයේ කනිෂ්ක රජතුමා ය. අසෝක රජතුමාට පසුව බුද්ධාගම විදේශ රටවල පැතිරවීමට කනිෂ්ක රජු සමත් වූයේ ය.

ප්‍රථම වරට බුදුපිළිම වහන්සේ නිර්මාණය වෙයි

කණිෂ්ක රාජ යුගයේ දී දැනට පාකිස්ථානයට අයත් ගන්ධාර ප්‍රදේශයේ ප්‍රථම වරට බුදුපිළිම නිර්මාණය වූයේ රජුගේ අනුග්‍රහයෙනි. ඒ රජුගේ කාලයේ කාසිවල ප්‍රථමවරට බුදුපිළිමයක් නිර්මාණය කරන ලදී.

මෙතෙක් බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීම පිණිස යොදාගත්තේ සංකේතයන් ය. සාංචි ස්තූපයට අයත්වන තොරණවල මූර්ති කැටයම්වල මෙන්ම බුද්ධගයාවේ හමු වී ඇති ඉතා පුරාණ මූර්ති කැටයම්වල බුදුරජාණන් වහන්සේ නිරූපණය සඳහා යොදා ගන්නේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ, ධර්ම චක්‍රය, සිරිපතුල්, වජ්‍රාසනය, ස්තූපය වැනි සංකේතයන් ය.

කණිෂ්ක රජතුමාගේ කාලයේ දී ගන්ධාර නමින් යුත් වයඹදිග භාරතයේ (නූතන පාකිස්ථානයට අයත්) වූ ප්‍රදේශය මධ්‍යස්ථාන කරගත් ගන්ධාර බුදුපිළිම කලාවත් ගංගා, යමුනා ආශි‍්‍රත ප්‍රදේශයේ මථුරා නමින් බෞද්ධ කලාශිල්ප සහිත පුදබිමත්, බුදුපිළිම නිර්මාණය ප්‍රථම වරට සිදු වූ බව පුරා විද්‍යානුකූලව හෙළි කර ඇති කරුණකි.

බෞද්ධ සාහිත්‍ය හා ලංකාවේ මහාවංසය ආශි‍්‍රත තොරතුරු අනුව ඊට පෙර ද බුදුපිළිම නිර්මාණය කර තිබූ බව සඳහන් වී ඇති මුත් ලිඛිත සාක්ෂි මිස පුරාවිද්‍යානුකූල ව මෙතෙක් ඔප්පු කර නැත. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා මේ පිළිබඳ දීර්ඝ වශයෙන් අධ්‍යයනය කර ඇති විද්වතෙකි. බෞද්ධ ප්‍රතිමාවේ මූල ධර්ම නමැති ග්‍රන්ථය ලියූ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා මේ පිළිබඳ ශාස්ත්‍රීය වශයෙන් හෙළි කර ඇත.

අමරාවතී සහ නාගර්ජුන කොණ්ඩ පුදබිම්වල ඇති ස්තූප හා වෙනත් පූජනීය ස්මාරකයන්හි ගරාදි වැටවල් සහ දොරටුවල අල්ප උන්නත ලෙස නෙළා ඇති මූර්ති කැටයම්වලින් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේගේ විවිධ අවස්ථා සංකේත මඟින් මූර්තිමත් කිරීමයි. මෙහිදී මුල් කාලීන සියලුම සම්ප්‍රදායයන්ට අයත් කලාකරුවන්ගේ මූලික අවධානයට යොමු වී ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිත කතාවේ සිදුවීම් හතරක් කෙරෙහි බව පැහැදිලි ය.

එනම් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වය, ප්‍රථම ධර්ම දේශනාව හා සම්බුද්ධ පරිනිර්වාණයයි. මෙම ප්‍රධාන අවස්ථා හතර මූර්තිමත් කිරීමට කලාකරුවන් උනන්දු කරවීමට බුදුරජාණන් වහන්සේ විසින්ම ප්‍රකාශ කරන ලද බවට මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් වන සතර සංවේග ස්ථාන පිළිබඳ විස්තරය ද ප්‍රධාන වශයෙන් බලපාන්නට ඇතැයි සිතිය හැකි ය.

(බුදු පිළිමයට පෙර බුදුහාමුදුරුවෝ පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමි පි. 21 - 2010)

ගන්ධාර කලා සම්ප්‍රදාය ඉන්දියානු හෘදයෙනුත්, ගී‍්‍රක - රෝම හස්තයෙනුත් නිර්මාණය කරන ලද මූර්ති කලාවක් බව පුරාවිද්‍යාඥයින්ගේ හා කලා විචාරකයන්ගේ නිගමනයකි. ගන්ධාර බෞද්ධ කලාව එසේ විදේශීය ආභාසය සහිත වූ මූර්ති කලාවක් සේ සැලකෙන්නේ කුමක් නිසාදැයි විමසා බැලිය යුතු ය.

ගන්ධාර බුදු පිළිම නිර්මාණයට පෙර පුරාණ භාරතය පුරා ආදර්ශයට ගත හැකි බුද්ධ ප්‍රතිමා නොවීය. මේ නිසා බුදුපිළිම නිර්මාණයේ දී ආදර්ශයට ගත හැකිව තිබුණේ (කණිෂ්ක රජතුමා ඇතුළු එම භාරතීය ජනතාව) ගී‍්‍රක, රෝම, දෙවිවරුන්ගේ රූපවල ඇඳුම් පැළඳුම් ය. ඒ අනුව ගන්ධාර සම්ප්‍රදායේ බුදු පිළිමවල සිවුර ගී‍්‍රක දෙවියකු වූ ඇපලෝ දෙවියාගේ ටෝගා නමැති ඇඳුමේ ආකාරයට නිර්මාණය කළේ ය.

බෞද්ධ සාහිත්‍යයෙහි බුදුරජාණන් වහන්සේ පිළිබඳව සඳහන් වන කරුණු අතරින් මේ බුදු පිළිමවල දක්නට ලැබෙන්නේ දිගු වූ දෙකන් හා ඌර්ණ රෝම පමණකි.

ගන්ධාර බුදුපිළිම කලාව මඟින් බුදුරජාණන් වහන්සේ මානවරූපී ව නිර්මාණය කළා මිස බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ සමුදාය නිර්මාණය කිරීමට ගන්ධාර මූර්ති ශිල්පියා (මුල් කාලයේ දී) සමත් වූයේ නැත. එසේ වුවද, බුදුරජාණන් වහන්සේගේ උදාරත්වය හා මහේශාක්‍ය භාවය ගන්ධාර බුදු පිළිමවලින් නිරූපණය වේ. ගන්ධාර බුදු පිළිම සමස්තයක් ලෙසින් විමසන විට එම බුදු පිළිම මුදා හතරකින් නිරූපිත ය. අභය මුද්‍රාව, ධ්‍යාන මුද්‍රාව, ධර්ම චක්‍ර මුද්‍රාව හා භූමි ස්පර්ශ මුද්‍රාවයි.

ගන්ධාර මුර්ති කලාවේ බෝධිසත්ව පිළිම

මහායාන බුදු සමයට අයත් බෝධිසත්වවරුන් ඇදහීම ඉතා ප්‍රකට ය. බෝධිසත්ව ප්‍රතිමා නිර්මාණයේ දී ගන්ධාර මූර්ති ශිල්පියා සිදුහත් කුමරුන්ගේ රූපය හිස් වැසුම් සහ ආභරණ පැළඳී ඇති ආකාරය ඉන්දියානු කුමාරයකුගේ ආකාරයෙන් නිර්මාණය කර ඇත. මෙම මූර්තිවල යටි කය දෝතියකින් ද, උඩුකය සම්පූර්ණ ඇඳුමකින් ද වසා ඇත. ගන්ධාර බුදුපිළිම වලත් බෝධිසත්ව පිළිමවලත් වෙනස දැක්වීම සඳහා බෝධිසත්ව පිළිමවල හිසකෙස් දෙපසට විහිදෙන ආකාරයෙන් ද හිස් වැසුම් සහිතව නිර්මාණය කර තිබේ. ආභරණ පැළඳවීම හින්දු ක්‍රමය අනුව නිර්මාණය කර ඇත. බෝධි සත්ව පිළිම පිළිබඳ සඳහන් කරන විට දුෂ්කර ක්‍රියාවේ යෙදී සිටි බෝධිසත්වයන් වහනන්සේ නිරූපණය කරන හිඳි පිළිමය (මෙකල පාකිස්ථානයේ ලාහෝර් කෞතුකාගාරයෙහි ඇති) සුවිශේෂ වූ මූර්තියකි. ගිලිනු ඇස් ද සමෙන් පිටට නෙරා ඇති ඉළ ඇට සහ නහර ද දිරා ගිය අත් දෙක ද මුහුණෙහි දක්නට ලැබෙන ස්ථිර අධිෂ්ඨානය ද ඉතාමත් නිර්මාණාත්මක ව ගන්ධාර මූර්ති ශිල්පියා නිමවා ඇති අන්දම දැකිය හැකි ය.

දුෂ්කර ක්‍රියාව පිළිබඳ විශේෂ සටහන

ගන්ධාර කලා සම්ප්‍රදායට අයත්වන බුදුපිළිම හා බෝධිසත්ව පිළිම හැරුණු විට අල්ප උන්නත මූර්ති කැටයම් ද ගන්ධාර කලා සම්ප්‍රදායට අයත් වේ. මෙවැනි වූ ඉතා අගනා මූර්ති ඵලකයක් සිදුහත් කුමාරෝත්පත්තිය නිරූපණය සඳහා නිර්මාණය කර ඇත. මාර පරාජය නිරූපිත අල්ප උන්නත මූර්ති කැටයමක් ද දක්නට ලැබේ.

ගන්ධාර මූර්ති කලාව පාකිස්ථානයේ උපත ලබා ඒවා ක්‍රිස්තුවර්ෂ දෙවැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවස දක්වාම මධ්‍ය ආසියාවටත්, චීනය වැනි රටවලටත් ප්‍රචලිත වූයේ ය.

සිල්ක් රූට් හෙවත් සේද මාවත ඔස්සේ වෙළඳ කටයුතු සමඟම විවිධ ජන කොටස් අතර පැතිර ගියේ ය. 2001 දී ඇෆ්ගනිස්ථානයේ තිබුණු බාමියන් බුදු පිළිම තලේබාන්වරු විනාශ කළහ. එම බුදු පිළිම ලොව විශාලතම බුදු පිළිම ලෙසින් ප්‍රකට විය. ඒවාද ගන්ධාර බුදුපිළිම සම්ප්‍රදායට අයත් වූයේ ය. ඇෆ්ගනිස්ථානය ඒ වන විට ගී‍්‍රක පර්සියානු ආභාසය ද ලබා තිබුණි. පුරාණ භාරත දේශයේ සිට මධ්‍ය ආසියාව දක්වා විහිදී තිබුණු මාර්ගය ද මෙම බාමින් නිම්නය ඔස්සේ තිබුණු නිසා බුදු පිළිම සහිත පුදබිම් බිහි විය. ක්‍රිස්තු වර්ෂ 630 දී චීන ජාතික සංචාරක භික්ෂූන් වහන්සේ නමක් වූ හියුං ෂාං හිමියන් ද බාමියන් පුද බිම සිටි බව සඳහන් කර ඇත. මහායාන බුදුසමය මෙසේ දියුණු තත්ත්වයට පත් වූ බව පුරාවිද්‍යාත්මක ව පැහැදිලි වී ඇත.

  නවම් අමාවක 

මාර්තු 12 සිකුරාදා අපරභාග 15.02 අමාවක ලබා 13 සෙනසුරාදා අපරභාග 15.50 ගෙවේ.
සිකුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]