බෞද්ධ සාහිත්‍යය
04:
විනය ශාසනයේ ආයුෂයයි
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
අංශාධිපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
විනය යනු ශික්‍ෂණය හෙවත් සදාචාරයයි. එහි අරමුණ කායික වාචසික සංවරය ඇතිකර ගැනීමයි.
සිව් පිරිස අතුරින් භික්‍ෂු භික්‍ෂුණීන්ගේ කායික වාචසික සංවරය ඇති කර ගැනීම සඳහා
බුදුරදුන් විසින් පනවන ලද ශික්‍ෂාපද ඇතුළත් වන්නේ විනය පිටකයේ ය.
ඒ අනුව භික්‍ෂූන් සඳහා පනවන ලද ශික්‍ෂාපද දෙසිය විසිහතක් වන අතර, භික්‍ෂුණීන් උදෙසා
ශික්‍ෂා පද තුන්සිය එකොළසකි. ජීව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක කරුණු පදනම්
කරගෙන භික්‍ෂුණීන් උදෙසා පනවන ලද ශික්‍ෂා සංඛ්‍යාවෙන් ඉහළ ගොස් තිබේ.
මෙසේ පනවන ලද ශික්‍ෂා පද සියල්ල ඇතුළත් ග්‍රන්ථ විනය පිටකය යනුවෙන් පොදුවේ ව්‍යවහාර
කරනු ලැබේ. එය පාරාජිකාපාලි, පාචිත්තියපාලි, චුල්ලවග්ගපාළි, මහාවග්ගපාලි,
පරිවාරපාලි යනුවෙන් කොටස් පහකින් යුක්ත වේ.
පාරාජිකාපාළි හා පාචිත්තියපාළි යන විනය ග්‍රන්ථ දෙකෙහි ඇතුළත් වන්නේ පෞද්ගලික
ශික්‍ෂණයට අදාළ පැනවීම් ය. ආරාමික ජීවිතයේ සාමූහික පැවැත්ම සඳහා පනවන ශික්‍ෂාපද
චුල්ලවග්ගපාළි හා මහාවග්ගපාළි යන ග්‍රන්ථ දෙකෙහි ඇතුළත් වේ. පරිවාරපාළියේ ඇතුළත්
වන්නේ යථෝක්ත විනය ග්‍රන්ථවල දැක්වෙන ශික්‍ෂා පද තවදුරටත් පැහැදිලි කිරීම් පමණි.
විනය පිටකය විභංග ඛන්ධක හා පරිවාර යනුවෙන් ප්‍රභේද තුනකින් යුක්ත වේ. එයින් යට
දක්වන ලද භික්‍ෂු භික්‍ෂුණීන්ගේ පෞද්ගලික ශික්‍ෂණයට අදාළ ශික්‍ෂාපද සියල්ල ඇතුළත්
පාරාජිකාපාළි හා පාචිත්තියපාළි යන ග්‍රන්ථ දෙක විභංග ලෙස හැඳීන්වේ.
චුල්ලවග්ගපාළි හා මහාවග්ගපාළි ආදියෙහි ඇතුළත් සාමූහික ශික්‍ෂණයට අදාළ ශික්‍ෂා ඛන්ධක
යනුවෙන් හැඳීන්වෙන අතර, ශික්‍ෂාපද පිළිබඳ අතිරේක විස්තර ඇතුළත් කොටස පරිවාර නම් වේ.
මෙයට අමතරව ප්‍රාතිමෝක්‍ෂ යනුවෙන් හැඳීන්වෙන අතිරේක ශික්‍ෂා පද සංග්‍රහයක් ද විනය
සාහිත්‍යයට ඇතුළත් වේ.
භික්‍ෂූන් සඳහා පනවන ලද ශික්‍ෂාපද දෙසිය විසිහත ඇතුළත් කොට ඇති කොටස භික්‍ෂු
ප්‍රාතිමෝක්‍ෂය යි. භික්‍ෂුණී ප්‍රාතිමෝක්‍ෂයෙහි ඇතුළත් වන්නේ තුන්සිය එකොළසක් වන
භික්‍ෂුණී ශික්‍ෂා ය. භික්‍ෂු භික්‍ෂුණීන් වහන්සේලා විසින් ප්‍රාතිමෝක්‍ෂයේ ඇතුළත්
ශික්‍ෂා පද මසකට වරක් පැවැත්වෙන පොහොය කර්මයේ දී සිහියට නඟා ගනිමින් තම
පාරිශුද්ධත්වය තහවුරු කරගන්නා හෙයින් එය ඒ සඳහා භාවිත කෙරෙන ප්‍රධාන ග්‍රන්ථය බවට
පත්ව තිබේ.
බුද්ධත්වයෙන් පසුව නොබෝ කලකින් ම සංඝ සමාජය තුළ විවිධ අර්බුද පැන නැ¼ගුණු අතර එම
අර්බුද විසඳීමේ අරමුණින් බුදුරදුන් විසින් විවිධ අවස්ථාවල විවිධ සංසිද්ධීන් මූලික
කරගෙන විනය ශික්‍ෂාපද පනවන ලදි.
භික්‍ෂු භික්‍ෂුණී උභය ශාසනය ම පාලනය වන ව්‍යවස්ථාපිත නීති මාලාව විනය පිටකයයි. යට
දක්වන ලද පරිදි එමඟින් පැවිදි සමාජයේ පුද්ගලික ශික්‍ෂණයත්, ආරාමික ජීවිතයේ සාමූහික
පැවැත්මත් අවධාරණය කොට තිබේ.
පාරාජිකාපාළි හා පාචිත්තිය පාළි යන ග්‍රන්ථ දෙකෙහි ඇතුළත් වන්නේ පැවිද්දාගේ
පෞද්ගලික ජීවිතයට අදාළ විනය නීති ය. එමඟින් කායික වාචසික සංවරය මෙන්ම ආධ්‍යාත්මික
පාරිශුද්ධත්වය පෞද්ගලික මට්ටමින් ක්‍රියාවට නැංවේ. ඒ සියල්ල පාරාජිකා හතරකින් ද,
සංඝාදිසේස දහතුනකින් ද, අනියත දෙකකින් ද, නිසගි පචිති තිහකින් ද, පාචිත්තිය අනූ
දෙකකින් ද, පාටිදේසනීය හතරකින් ද, සේඛියා හැත්තෑ පහකින් ද, අධිකරණ සමථ හතකින් ද,
යුක්ත වේ.
මේ අනුව භික්‍ෂූන් සඳහා පනවන ලද ශික්‍ෂාපද දෙසිය විසිහතකි. භික්‍ෂුණීන් සඳහා
ශික්‍ෂාපද තුන්සිය එකොළසක් වන අතර, පාරාජිකා අටකින් ද සංඝාදිසේස දහහතකින් ද
නිස්සග්ගිය පාචිත්තිය තිහකින් ද, පාචිත්තිය එකසිය හැට හයකින් ද පාටිදේශනීය අටකින්
ද, සේඛියා හැත්තෑ පහකින් හා අධිකරණ සමථ හතකින් ද යුක්ත වේ.
උභතෝ විභංග වශයෙන් සැලකෙන පාරාජිකාපාළි පාචිත්තියපාළි යනු ශික්‍ෂාපද සංග්‍රහයක්
පමණක් නොවේ. ඒවායේ අභ්‍යන්තර සැකැස්ම වර්තමාන නීති ග්‍රන්ථ හා සමාන විවරණ
ක්‍රමවේදයකින් යුක්ත වේ. ඒවා වනාහි හුදෙක් ශික්‍ෂාපදය පිළිබඳ පමණක් විස්තර ගෙනහැර
දක්වන්නක් නොවේ. එයින් ඔබ්බට ගොස් ඉතා නිරවුල්ව හා පැහැදිලිව ශික්‍ෂා පදය හා
සම්බන්ධ සියලු කරුණු නිර්වචනය කරනු ලැබේ.
විභංග ග්‍රන්ථ පරිශීලනය කරන්නෙකුට එම ශික්‍ෂාපදවලට පදනම් වූ සමාජ විද්‍යාත්මක, මනෝ
විද්‍යාත්මක, ආගමික, සංස්කෘතික, දේශපාලනික, ආර්ථික මෙන්ම භූගෝලීය පදනම ද සැකෙවින්
වටහාගත හැකි ය. එමඟින් තවදුරටත් සංඝ සංවිධානයේ ඓතිහාසික වර්ධනය මෙන්ම ඒ හා
සාපේක්‍ෂව නූතන සංඝ සංවිධානයේ ස්වරූපය ද හඳුනාගත හැකි වේ.
සාමූහික ආරාමික ජීවිතය අර්ථවත් කෙරෙන ශික්‍ෂාපද අන්තර්ගත වන්නේ මහාවග්ගපාලි හා
චුල්ලවග්ගපාළි විනය ග්‍රන්ථවල ය. විශේෂ මාතෘකා යටතේ පනවන ලද විනය ශික්‍ෂාපද එකතු
කිරීමෙන් ඛන්ධක කොටස් සකස් වී තිබේ. ඒ යටතේ මහාවග්ගපාළිය ඛන්ධක දහයකින් යුක්තවන
අතර, චුල්ලවග්ගපාළිය ඛන්ධක දොළසකින් සමන්විත වේ.
වස්සූපනායික ඛන්ධකයෙහි හා කඨින ඛන්ධකයෙහි වස් සමාදන්වීම හා කඨින චීවරය පිළිබඳ විධි
නියමයන් ඇතුළත් වේ. භේසජ්ජ ඛන්ධකයේ ඇතුළත් වන්නේ
ඖෂධ භාවිතය හා සම්බන්ධ පැනවීම් ය. චීවර හා සම්බන්ධ විධි නියමයන් සංග්‍රහ වන්නේ
චීවරක්ඛන්ධකයේ ය.
විනය ශික්‍ෂාපද වලට අමතරව ඓතිහාසික බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය මෙන්ම බුද්ධකාලීන
ආරාමික ජීවිතය හා සමකාලීන සමාජ දේශපාලනික තොරතුරු රැසක් මෙම ඛන්ධකවල ඇතුළත්ව තිබේ.
පළමු හා දෙවන සංගායනා වාර්තා ඇතුළත්වන චුල්ලවග්ගපාළියේ අවසන් ඛන්ධක දෙක ශාසන
ඉතිහාසය පිළිබඳ තොරතුරු ඇතුළත් ඓතිහාසික වාර්තා දෙකකි.
යට දක්වන ලද පරිදි පරිවාර පාළියෙහි අමුතු විශේෂ ශික්‍ෂාපද කිසිවක් ඇතුළත් නොවන අතර,
එහි තවදුරටත් විභංග හා ඛන්ධකවල ඇතුළත් ශික්‍ෂාපද විවරණය කරනු ලැබේ. එබැවින් එය විනය
පිටකයට අතිරේක හෙවත් පරිවාර ග්‍රන්ථයක් ලෙස පිළිගනු ලැබේ. බුද්ධ ජයන්ති ත්‍රිපිටක
සංස්කරණය අනුව වර්තමාන විනය පිටකය ග්‍රන්ථ නමයකින් යුක්ත වේ.
විනය පිටකයේ අන්තර්ගත සියලුම ශික්‍ෂාපද අදාළ වන්නේ සසුනට ඇතුළත්ව සිටින භික්‍ෂු
භික්‍ෂුණී දෙපිරිසට පමණි. ගිහි සමාජයට එහි අදාළත්වයක් නොමැත.
වර්තමානයේ වුව සංඝ සංස්ථාව පාලනය වන්නේ එම විනය ශික්‍ෂාපදවලට අනුකූලව ය. ථෙරවාද
සම්ප්‍රදාය විනය ශාසනයේ ආයුෂය (විනයෝ නාම බුද්ධසාසනස්ස ආයු) යනුවෙන් පිළිගෙන තිබේ.
විනය පිටකය පවතිනතාක් සංඝ සමාජය පවතී. විනය අතුරුදහන් වූ විටෙක සසුනේ පැවැත්ම ද
අවසන් වේ. එබැවින් මහාකාශ්‍යපාදි සංගීතිකාරක මහා තෙරවරු බුදුරදුන් පැනවූ විනය
ශික්‍ෂාපද ඒ අයුරින්ම වෙනස් නොකොට අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කළහ. ථෙරවාද
සම්ප්‍රදාය වර්තමානයේ ද එම අනුල්ලංගණීය ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරනු ලැබේ. |