[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ සාහිත්‍යය - 03: බුදු දහම පිළිබඳ පූර්ණ අවබෝධයක් දෙන සූත්‍ර පිටකය

බෞද්ධ සාහිත්‍යය - 03:

බුදු දහම පිළිබඳ පූර්ණ අවබෝධයක් දෙන සූත්‍ර පිටකය

භාෂාව උපයෝගී කරගෙන මනා කොට කියන ලද, මනා කොට ලියන ලද ගද්‍ය, පද්‍ය කෘති ආදිය සාහිත්‍ය ලෙස නිර්වචනය කළ හැකි ය. ථෙරවාද බෞද්ධ සාහිත්‍යය නියෝජනය කෙරෙන ප්‍රධාන ග්‍රන්ථ පාලි භාෂාවෙන් සම්පාදිත ය.

ඒ අනුව බුද්ධ වචනය සංගෘහිත පාලි භාෂාවෙන් සම්පාදිත සූත්‍ර, විනය හා අභිධර්ම ග්‍රන්ථ සියල්ල පිටක සාහිත්‍යයට අයත් වේ.

බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා බුදුරදුන් විසින් වසර සතළිස් පහක කාලය තුළ දේශනා කරන ලද ධර්මය හා භික්‍ෂු භික්‍ෂුණී උදෙසා පනවන ලද විනය ශික්‍ෂාවලින් මෙම පිටක ග්‍රන්ථවල අන්තර්ගතය සකස් වී තිබේ. බුදුරදුන් ජීවමාන අවදියේ උන්වහන්සේ විසින් නොයෙක් අවස්ථාවල, නොයෙක් පුද්ගලයන් අරභයා නන්විධ මාතෘකා යටතේ දේශනා කළ හා පනවන ලද ශික්‍ෂා එක් රැස් කොට කිසියම් විධිමත් ක්‍රමවේදයක් අනුව සංග්‍රහ කොට සංස්කරණය කරන ලද්දේ පළමු සංගායනාවට සම්බන්ධ වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් ය. මෙසේ සංගෘහිත පිටක සාහිත්‍යය දිගු කලක් තිස්සේ විවිධ භාණකවරුන් විසින් කටපාඩමින් පවත්වාගෙන එන ලදී.

ලක්දිව වට්ටගාමිණී අභය රාජ්‍ය කාලයේ දී ඇති වූ බැමිණිතියා සාගතයේ බලපෑම හේතුවෙන් මෙතෙක් වාචනා මාර්ගයෙන් පවත්වාගෙන ආ ධර්ම කොටස් සියල්ල අලුවිහාර සංගායනාව යටතේ තල්පත්වල ලියවන ලදී. ඉන් අනතුරුව ථෙරවාදී ආචාර්යන් වහන්සේලා විසින් දිගු කලක් තිස්සේ එම පිටක ග්‍රන්ථ නැවත නැවත පිටපත් කරමින් හා මුද්‍රණය කරමින් වර්තමානය දක්වා පවත්වාගෙන ආහ. මේ සඳහා විවිධ යුගවලදී රාජ්‍ය අනුග්‍රහය ද ලැබුණ බව මහාවංශය ආදී ඓතිහාසික මූලාශ්‍රවලින් සනාථ වේ. ථෙරවාද පාලි ත්‍රිපිටකය ග්‍රන්ථ රූඪ වීමෙන් අනතුරුව එය ථෙරවාද බෞද්ධ රටවල ප්‍රධාන ත්‍රිපිටක මුලාශ්‍රය බවට පත්වූ අතර, පාලි ත්‍රිපිටකය සුරක්‍ෂිත කළ ලංකාද්වීපය ප්‍රධාන ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්විය.

ක්‍රි.ව. 1954 වර්ෂයේ පිහිටුවන ලද ලංකා බෞද්ධ මණ්ඩලය විසින් ක්‍රි.ව. 1956 වර්ෂයට එළඹුණු 2500 යේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් පාලි ත්‍රිපිටකය එහි පෙළ පාඨාන්තර ශුද්ධියකට යටත්කොට හෙළ බසට නැගීමේ උත්කෘෂ්ඨ කාර්ය ආරම්භ කරන ලදි. මෙම සත් කාර්යය සඳහා පණ්ඩිත උපාධිලාභී ධර්ම විනයධර කීර්තිමත් සංඝ පීතෘන් වහන්සේලා රැසක් තෝරාගෙන ත්‍රිපිටකයේ ඒ ඒ කොටස් උන්වහන්සේලා ලවා සංස්කරණය කොට සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදී.

මෙම මාහැඟි ශාසනික කාර්ය නිමකිරීම සඳහා උන්වහන්සේලාට වසර තිහකට ආසන්න කාලයක් ගතව තිබේ. සාතිශය සම්භාව්‍ය සිංහල භාෂාවට පරිවර්තනය කොට ඇති මෙම ග්‍රන්ථ විශ්වවිද්‍යාලවල පාලි හා බෞද්ධ අධ්‍යයනය විෂය හැදෑරීමේ දී භාවිත කෙරෙන ප්‍රාමාණික ත්‍රිපිටක මූලාශ්‍රය බවට පත්ව තිබේ. ඒ අනුව බුද්ධ ජයන්ති ත්‍රිපිටකය වර්තමාන ලංකාවේ එම විෂය සම්බන්ධයෙන් භාවිත කෙරෙන ප්‍රධානතම මූලාශ්‍රය වේ.

එසේම මෙම ත්‍රිපිටක සංස්කරණයේ ප්‍රාමාණිකත්වය පිළිබඳ ශාස්ත්‍රාලීය උගතුන් අතර කිසිදු විවාදයක් නොමැත. එක් පසෙක පාලි භාෂාවෙනුත්, අනෙක් පසින් එයට අදාළ සිංහල පරිවර්තනයත් අන්තර්ගත වන හෙයින් එහි විශ්වසනීයත්වය තවදුරටත් ආරක්‍ෂා වී තිබේ.

එසේම මෙම සංස්කරණ හා පරිවර්තන කාර්ය සිදුකළ යතිවරයන් වහන්සේලා ඒ සඳහා නිස්සරණාධ්‍යාසයෙන් කැපවෙමින්, විවේක බුද්ධියෙන් යුතුව අටුවා හා ටීකා සමඟ තුළනය කරමින් එම කාර්ය සිදුකර ඇති බව එම ග්‍රන්ථ පරිශීලනය කිරීමේ දී සනාථ වේ. එසේම උන්වහන්සේලා සතුව පැවතී පාලි භාෂාව හා සිංහල භාෂාව පිළිබඳ ප්‍රාමාණික භාෂා ඥානය හේතුවෙන් එම කාර්යයේදී ත්‍රිපිටක බුද්ධ වචනයට හානි වී නො තිබීම විශේෂ ලක්‍ෂණයකි. මෙසේ සිංහල භාෂාවට පරිවර්තිත සමස්ත බුද්ධ ජයන්ති ත්‍රිපිටක සංස්කරණය ග්‍රන්ථ පණස් දෙකකින් යුක්ත වේ. වර්තමාන විද්‍යාව හා තාක්‍ෂණයේ දියුණුවත් සමඟ මෙම ග්‍රන්ථ පරිගණක පිටපතක් දක්වා වර්ධනය වී තිබෙන අතර, එය ඉතා පහසුවෙන් පරිහරණය කිරීමේ අවස්ථාව උදාවී තිබේ. අතීතයේ විහාරස්ථානවලට පමණක් සීමා වූ පූජනීය ත්‍රිපිටකය වර්තමානයේ දී සැම අයෙකුට ම කියවිය හැකි, අධ්‍යනය කළ හැකි, සාකච්ඡා කළ හැකි පොදු ආගමික සාහිත්‍යයක් බවට පත්ව තිබේ. එය වනාහි ධර්මය විවෘත වූ විට බබළන්නේ ය” යන බුද්ධ වචනය තවදුරටත් සානථ කෙරෙන්නකි.

පාලි ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයේ අන්තර්ගත වන්නේ බුදුරදුන් විසින් මෙන් ම ශ්‍රාවක, ශ්‍රාවිකාවන් විසින් දේශනා කරන ලද හා සාකච්ඡා කරන ලද ධර්ම කොටස් ය. ඒ සියල්ල නිකාය නමින් කොටස් පහක් යටතේ සංග්‍රහ කොට තිබේ. බුදුරදුන් විසින් දේශිත දීර්ඝ ප්‍රමාණයේ සූත්‍ර දේශනා දීඝ නිකායට ඇතුළත් කොට තිබෙන අතර, එය සීලක්ඛන්ධ වර්ගය, පාඨික වර්ගය හා මහා වර්ගය යනුවෙන් කොටස් තුනකින් සමන්විත වේ.

බ්‍රහ්මජාල සූත්‍රයෙන් ආරම්භ කෙරෙන දීඝ නිකාය සූත්‍ර තිස් හතරකින් යුක්ත වේ. එක් කොටසකට සූත්‍ර පණහ බැගින් අයත්වන පරිදි (අවසන් කොටසට සූත්‍ර පණස් දෙකක් ඇතුළත් වේ) මූල පණ්ණාසක, මජ්ක්‍ධිම පණ්ණාසක, උපරි පණ්ණාසක යනුවෙන් කොටස් තුනකින් මජ්ක්‍ධිම නිකායේ අන්තර්ගතය සැකසී තිබෙන අතර, එයට අයත් සූත්‍ර දේශනා මධ්‍යම ප්‍රමාණයේ ඒවා වේ.

මූලපරියාය සූත්‍රයෙන් ආරම්භ කෙරෙන මජ්ක්‍ධිම නිකාය සූත්‍ර එකසිය පණස් දෙකකින් යුක්ත වේ.

විවිධ විශේෂ මාතෘකා යටතේ ඒකරාශි කරන ලද සූත්‍ර දේශනාවලින් සංයුත්ත නිකාය සමන්විත වේ. ඒ අනුව එය සංයුත්ත පණස් හයකින් යුක්ත වේ. එහි එන සක්ක සංයුත්තයේ ඇතුළත් වන්නේ බුදුරදුන් හා ශක්‍රයා අතර ඇතිවූ සාකච්ඡා ය. කොසොල් රජුට දේශනා කරන ලද සූත්‍ර දේශනා කෝසල සංයුත්තයට ඇතුළත් කොට ඇත. බොජ්ඣංග සංයුත්තය සැකසී තිබෙන්නේ සප්ත බොජ්ඣංග ධර්ම සම්බන්ධයෙන් කළ බුද්ධ දේශනා ඇසුරෙන් ය. සච්ච සංයුත්තයේ චතුරාර්ය සත්‍ය පිළිබඳ බුද්ධ දේශනා ඇතුළත් වේ.

මේ නිදසුන් වලින් සංයුත්ත නිකායේ සැකැස්ම කවරේදැයි වටහාගත හැකි ය. සංයුත්ත නිකායේ අන්තර්ගත සුත්‍ර සංඛ්‍යාව හත්දහස් හත්සිය හැට දෙකකි.

අංක එකේ සිට අංක එකොළහ දක්වා විවිධ ධර්ම කොටස් සම්පිණ්ඩණය කිරීමෙන් අංගුත්තර නිකාය සැකැසී තිබේ. ඒ ඒ කොටස් ඒක නිපාත, දුක නිපාත, තික නිපාත යනුවෙන් නම් කර ඇති අතර, කිසියම් එක් විශේෂ ධර්ම කරුණක් සහිත කොටස් ඒකක නිපාතයට ඇතුළත් කර ඇත. දුක නිපාතයේ ඇතුළත් වන්නේ ධර්ම කරුණු දෙක බැඟින් එන සූත්‍ර දේශනා ය. මේ ආදී වශයෙන් අංගුත්තර නිකාය එකේ සිට එකොළහ දක්වා නිපාත වශයෙන් බෙදා දක්වා තිබේ. එහි අන්තර්ගත සූත්‍ර සංඛ්‍යාව නවදහස් පන්සිය පණස් හතකි.

ඛුද්දක නිකායේ සංස්කරණ ක්‍රමවේදය සෙසු නිකායවලට වඩා වෙනස් ය. ඒ අනුව ඛුද්දකපාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්ත නිපාත, විමානවත්ථු, පේතවත්ථු, ථෙරගාථා, ථෙරීගාථා, ජාතකපාලි, නිද්දේස, පටිසම්භිදාමග්ග, අපදාන, බුද්ධවංස, චරියාපිටක, ආදි වශයෙන් ග්‍රන්ථ වශයෙන් හැඳීන්වෙන විවිධ විෂයන්ට අයත් කොටස් පහළොවකින් එය සමන්විත වේ.

බෞද්ධ පුදපූජා චාරිත්‍ර මෙන්ම බෞද්ධ සංස්කෘතිය පෝෂණය වීමෙහිලා අවශ්‍ය වස්තු බීජ බොහෝමයක් අන්තර්ගත වන්නේ ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථවල ය. ඛුද්දක පාඨ, අපදාන, විමානවත්ථු-පේතවත්ථු හා චරියාපිටක ආදී ග්‍රන්ථවලින් ඇතැම් බෞද්ධ සංස්කෘතිකාංග නිර්මාණය වී තිබේ. බුදුරදුන් දේශනාකොට වදාළ සමස්ත ධර්මයෙන් විශාල ප්‍රමාණයක් අන්තර්ගත වන්නේ සුත්‍ර පිටකයේ ය.

එබැවින් එය පරිශීලනය කරන්නෙකුට සමස්ත බුද්ධ වචනයෙන් හතරෙන් තුනක් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් අත්පත් කරගත හැකි වේ. නිතර සුත්‍ර පිටකය කියවන්නෙකුට ධර්මය පිළිබඳ පෙර අවබෝධය වෙනුවට නව දැනුමක් ලබාගත හැකිවීම එහි පවතින විශිෂ්ට ගුණයකි. අට්ඨ කථාචාර්යන් වහන්සේලා දක්වන පරිදි සූත්‍ර පිටකය අධිචිත්ත ශික්‍ෂාවට අයත් චිත්ත සමාධිය වර්ධනය කර ගැනීමට හේතුවන අතර, එය ප්‍රගුණ කිරීමෙන් සිත තුළ ක්ලේශ ධර්මයන්ගේ නැඟී සිටීම වළක්වාගත හැකි ය.

  දුරුතු අමාවක 

  පෙබරවාරි 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.09 න් අමාවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 00.35 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]