[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු අමාවක 2021.02.11

දෙලොව දියුණුවට...

අරමුණක් නැති ජිවිතය හිස් වූවකැයි කෙනෙක් කියති. ජිවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තු යැයි තවත් කෙනෙක් කියති. ඒ කෙසේ වුවද උපන්න දා සිට ම අපි බලාපොරොත්තු පොදි බඳීමු. ඇතැම්විට නොමැරෙන මිනිසුන් සේ ඒවා හඹා යමු. ජීවිතයට බලාපොරොත්තු තිබිය යුතු ය. ඒවා ලබා ගන්නට උත්සහාය ද තිබිය යුතු ය. එහෙත් බෞද්ධයන් ලෙස අපට මහා වගකීමක් වේ. ඒ , අපගේ බලාපොරොත්තු මෙලොවට සේ ම එලොවට ද වැඩ දායක වීම ය.

බොහෝ විට සිදුවන්නේ ලෞකික පරමාර්ථ පසුපස පමණක් දිව යෑම ය. ධනය , බලය , නිලය ආදී කොට ඇති භෞතික දේ ම අපමණ සෑප යැයි ඒවා ම හඹා යෑම ය. ඒ තුළ මිනිසත්කම ගිලිහී යෑම ය. එහි ද අවසානයක් නැත. කොපමණ ලැබුණ ද සිත අතෘප්තිකර ය.

ඒ අනුව තව තවත් පොදි බඳීන්නට ම සිත් දෙන්නේ ය. කාට කුමක් වුව ද මගේ කොටස වැඩිවෙනවා නම්, එයම ප්‍රමාණවත් යැයි කෙනෙක් සිතති. එසේ සිතා කළ කී දේ ගැන පසුතැවිලි වන්නට සිදුවන්නේ මරණ මොහොතේ ය. එවිට ප්‍රමාද ය. පොදි බැඳගත් සියල්ල හැර යා යුතු ය. කළ හොඳ පමණක් සතුටින් ගෙන යා හැකි ය. එහෙත් එය තේරුම් ගන්නට බොහෝ දෙනෙකුට නුවණ මද ය. ඒ අනුවණකම නිසා ම ජිවිතය වරදා ගත්තෝ අපමණ ය.

අපගේ ආයු කාලය වසර සියයකටත් අඩු ය. දින සති මාස ගෙවී ඒ කාලය ගෙවී යන්නේ මොන තරම් වේගයෙන් ද ? ඒ කාලය තුළ ගෙවන ජීවිතය ද මොන තරම් අස්ථිර ද ? ඇසිපිල්ලමක් ගසා ඊළඟ ඇසිපිල්ලම ගසන මොහොතේ මේ ජිවිතයෙන් සමුගන්නට සිදුවිය හැකි බව, හුස්මක් ගෙන , ඒ හුස්ම පහත හෙළන මොහොතේ මරණය සිදුවිය හැකි බව, ජිවිතය ඒ තරම් අස්ථිර බව දහමේ සඳහන් ය.

එහෙයින් අප පොදි බැඳගත යුතු බලාපොරොත්තු මොනවාද යන්න ගැන හොඳ අවබෝධයක් ඇති කර ගත යුතු ය.

ගිහි ජිවිතය සාර්ථක කරගන්නට ධනය ඇවැසි ය. භෞතික සැප සම්පත් අවැසි ය. එහෙත් ඒවා ළඟා කරගත යුත්තේද දැහැමිව ය. තවත් කෙනෙකුට කරදරයක්, හිංසාවක් අසාධාරණයක් නොවන ලෙස ය. පොදි බඳීන බලාපොරොත්තු ගොන්න මෙලොවට සේ ම එලොවට ද වැඩ දායක කර ගැනීමට බෞද්ධයා සමත් විය යුතු ය. ඒ සඳහා අපට අපූර්ව දහම් මාවතක් ඇත. ඒ ශ්‍රී සද්ධර්මය මනාව අවබෝධ කර ගැනීමට අප්‍රමාදී විය යුතු අතර, ම ඒ ධර්මය ජිවිතයට ප්‍රායෝගික කරගැනීමට ද ප්‍රමාද නොවිය යුතු ය.

එක් අවස්ථාවක අප තථාගතයන් වහන්සේ ආනන්ද හිමියන් අමතා දේශනා කොට වදාළේ කෙනෙක් තමන් වහන්සේ පිදීම යනු ධර්මයට අනුව , ප්‍රතිපත්තියට අනුව ජිවීත්වීම ‍ යනුවෙන් ය. උන්වහන්සේ ගිහියාට ඉතා පහසු ප්‍රතිපදාවක් හඳුන්වා දුන්‍හ. ඒ පංචශීල ප්‍රතිපදාව ය. ඒ තුළ අපට ලබාගත නොහැකි දියුණුවක් නැත. එහෙත් කෙනෙකුට සිල් පද පහ හෝ ආරක්ෂා කරගන්නට අසීරු ය. ඒ තුළ බෞද්ධකම ගැන හෝ කතා කළ හැකි ද යන්න ගැන තම තමන් ම සිත‍ා බැලිය යුතු ය.

බොහෝ දෙනෙක් වැරදි මඟ යන්නේ ලත් පමණින් නොසැහී මතු ද ලාබ කැමති වීම නිසා ය. අනෙක් කරුණ කුහකකම ය. එනම් ලාබ , කීර්ති කැමැතිව නැති ගුණ ඇති සේ පෙන්වන්නට යෑම ය. පිළිගැනීමෙහි පමණ නොදන්නා බව ද විනාශයෙහි මුල ය.

මෙලොවත් , පරලොවත් සුවදායක කර ගැනීම බෞද්ධයාගේ අරමුණ විය යුතු ය. ඔහු ඒ අරමුණ හඹා යා යුත්තේ දැහැමිව ය. එය තේරූම් නොගන්නා තාක් සැබෑ බෞද්ධයෙක් වීමට හැකි නොවනු ඇත.

  දුරුතු අමාවක 

  පෙබරවාරි 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.09 න් අමාවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 00.35 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]