සැප සම්පත් ලැබුණත්
ජීවිතය අතෘප්තිකර ඇයි?
ඌරුගමුවේ අස්සජී හිමි
සොබාදහමේ නියතය
මිනිසුන් වශයෙන් මෙලොව උපත ලැබූ අපි සුවසේ ජීවත්වීමට පි‍්‍රය කරමු. දුක් විඳීමට
අකමැති වන්නාක් සේ ම දුක් පිළිකුලෙන් බැහැර කරමු. එහෙත් ලෝකය දුක මත පිහිටා ඇත.
මෙලොව ජීවිතයේ අප ලබන සුව සම්පත් සියල්ල තාවකාලික ය. අස්ථීර ය. අපි සැවොම ජාති,
ජරා, ව්‍යාධි, මරණ යනාදී අනන්ත අප්‍රමාණ දුක්වලට මුහුණ දෙන්නෙමු.
ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියයන් පිනවීමෙන් කෙතෙක් සැප ලැබුව ද, එම
ඉන්ද්‍රියයන් ද මේ ජීවිතයේ දී ම දුර්වල වෙයි. ඇස් පෙනීමේ, කන් ඇසීමේ දුබලතාවන් මීට
උදාහරණයි. අප දකින පි‍්‍රයජනක රූප හා අසන මිහිරි ශබ්ද ඇසුරින් ගත සිත කෙතෙක් පිනවුව
ද එම ඉන්ද්‍රියයන් දුබල වූ දා ඉතිරි වන්නේ දුකක් ම පමණකි. අනෙකුත් ඉන්ද්‍රියයන්
තුළින් ලබා ගන්නා වින්දනයන් ගේ අවසානය ද දුකකි. සාමාන්‍ය ලෝකයේ ස්වභාවය එය යි.
නොවෙනස් වන එකම සුවය
ලොව නො වෙනස් වන එකම සුවයක් තිබේ. ඒ නිවන් සුවය යි. “නිබ්බානං පරමං සුඛං “ යනුවෙන්
බුදු දහමේ ඉගැන්වෙන්නේ එය යි. එය ඉක්මවා යන සැපතක් ලෝකයේ නොමැත. ‘වාන” යනු තෘෂ්ණාවට
නමකි. “නි” යනු නික්මීම යි. ඒ අනුව වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් නික්මීම ‘නිබ්බාන” නම්
වේ. ඒ තුළින් ක්ලේෂ ධර්ම නැවත නූපදින ලෙස සිඳී යයි. සියලු දුක් නිමවීම නිවන ලෙස
හැඳින්වේ. යම් කුසලයක් සිදුකොට සැදැහැතියන් නිවන් සුවය ප්‍රාර්ථනා කරනුයේ එබැවිනි.
ඉතිරියක් නැතිව ඉවත් කිරීම
ලොව පවත්නා ජාති, ජරා, ව්‍යාධි, මරණ යනාදී සියලු දුක් හටගැනීමේ ප්‍රධාන හේතුව
තණ්හාව බව අපි දනිමු. දුකෙහි නිමාවක් දැකීමට නම් එම තණ්හාව නිම කළ යුතු ම ය. තණ්හාව
නැවත නැවතත් හටගනී නම් දුක ද නැවත නැවතත් හට ගනී. සත්ත්වයා භවයෙන් භවයට ගමන් කරනුයේ
තෘෂ්ණාව නිස යි. මෙම තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති සියලු කෙලෙසුන්ගෙන් නික්මීම නිවන යි.
එලෙස සියලු දුක් නිමාවීම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ලෙස හැඳින්වේ. ඒ පිළිබඳ
බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දී මෙසේ වදාළහ.
“මහණෙනි, දුක නැති කිරීමේ ආර්ය සත්‍යය මෙය යි. එනම් තණ්හාව ඉතිරියක් නැතිව ඉවත්
කිරීම, නැති කිරීම, අත්හැරීම, මුළුමනින් ම ඉවත දැමීම, ඉන් මිදීම හා එහි නො ඇලීම යි.
මූලික වශයෙන් තණ්හාව, තුන් ආකාර ය. පස්කම් සැපතෙහි ම ඇති ආශාව හෙවත් ඉඳුරන් පිනවීමේ
ඇති කැමැත්ත කාම තණ්හාව යි. භවයට හෙවත් සදාකාලික පැවැත්මට ඇති ආශාව බව තණ්හාව යි.
මෙලොව හැකිතාක් සැප විඳීමට ඇති කැමැත්ත විභව තණ්හාව යි. මේ හැර විවිධාකාරයෙන්
බුදුදහම තණ්හාව විස්තර කොට ඇත. අප සසර නැවත නැවතත් ඉපදීම, දිරායාම, මහලුවීම,
ලෙඩවීම, මරණය හෙවත් ජීවිතයේ අවසානය ආදී සියලු දුක් විඳින්නේ තණ්හාව නිසා ය.
එදිනෙදා ජීවිතයේ දී විවිධ ආශාවන් ඇති මිනිසුන් ඒවා ඉටුකර ගැනීමට නොයෙක් ආකාරයෙන්
දුක් විඳින සැටි සමාජය දෙස බැලූවිට අපට තේරුම්ගත හැකි ය. එම තණ්හාව කිසිදු ඉතිරියක්
නො මැතිව සහමුලින්ම දුරු කළ බුද්ධාදී ආර්ය උතුමන් වහන්සේලාගේ අත්දැකීම නිවන යි.
එම අත්දැකීම සසර වසන තෘෂ්ණාව ඇති කෙලෙස් සහිත අපට විඳගත නො හැකිය. තේරුම්ගත නො
හැකිය.
එනිසාම අප ලියන, කතා කරන භාෂාව පවා දුක්ඛ නිරෝධයේ හෙවත් නිවනෙහි ස්වභාවය පැවසීමට
සපුරා ප්‍රමාණවත් නොවේ. භාෂාවෙහි ඇත්තේ අප දන්නා දේ අපේ අදහස් හා අත්දැකීම් පැවසීමට
යොදන වචන යි. නිවන අපගේ අත්දැකීමක් නො වන බැවින් ඒ ගැන විස්තර කිරීමට භාෂාව
ප්‍රමාණවත් නොවේ. එහෙත් භාෂාව නොමැතිව සසර හෝ නිවන විස්තර කිරීමට අපි අසමත් වෙමු.
මේ අනුව බුදුරජාණන් වහන්සේ ද පරමාර්ථ සත්‍යය වූ නිවන තේරුම් කරදීමට සම්මුතියක් වන
භාෂාව භාවිත කළහ.
දුකට හේතුව තණ්හාව ම ද?
ඒ අනුව සත්ත්ව සන්තානයෙහි මුල්බැස ඇති තෘෂ්ණාව සපුරා නැති කිරීම නිවන යි .තෘෂ්ණාව
ඇති තාක් සසර දුක පවතියි. එනම් ඉපදීම, ලෙඩවීම, මහලුවීම හා මරණය යනාදී කටුක
අත්දැකීම්වලට මුහුණදීමට අපට සිදු වේ. තෘෂ්ණාව සපුරා නැති කළ විට සසර දුක ද සපුරා
නැති වී යයි. මෙසේ තෘෂ්ණාව ද, ඉන් උපදවන සියලු දුක් දොම්නස්ද නැවත නූපදනා පරිදි
නැතිවීම සැපතකි. එය බුදු දහමෙහි ඉගැන්වෙන පරම නිෂ්ටාව වන නිවන යි.
සසර දුකට හා දුක් සහිත පැවැත්මට එකම හේතුව තණ්හාව නොවේ. එය මූලික හේතුවයි. රාග,
ද්වේශ, මෝහාදී තණ්හාව පෙරටු කොටගත සියලු කෙලෙස් සසර දුක් උපදවයි. ඒ අනුව මිනිස්
සන්තානයෙහි කා වැදි ඇති රාගාදිය මුළුමනින් ම ක්ෂයවීම නිවන යැයි ද බුදුරජාණන් වහන්සේ
වදාළ හ.
නාගයාගේ නිධානය
තණ්හාව පුද්ගලයාටත්, සමාජයටත්, දුක් උපදවයි. නොයෙක් කරදර හිරිහැර පමුණුවයි. මෙම
තණ්හාව නිසාම රැස්කරගත් ධනය ඇතැමුන් ආරක්ෂා කරනුයේ නිධානයක් රකින නාගයන් සේ ය.
ඔවුහු ධනය තමාගේවත්, අනුන්ගේවත් යහපත සඳහා යොදා නො ගනිති.
බොහෝ දුක් පීඩා විඳිමින් අපමණ වෙහෙස වී මිනිසුන් රැකී රක්ෂා ආදිය කරන්නේ සම්පත්
උපයා ගැනීමට ඇති තණ්හාව නිසා ය.
ඇතැම් මහා ධනවතුන් ගේ සිට දුගී දුප්පතුන් දක්වා ම තත්ත්වය මෙබඳු ය. තණ්හාව නිසා
ඇතැම්විට දෙමව්පියෝ හා දරුවෝ ද සහෝදර සහෝදරියේ ද අමනාප වෙති. ගැටුම් ඇතිකර ගනිති.
ඤාතීහු ද හිතවත්හු ද අසල්වාසීහුද අමනාප කර ගනිති. ලෝකයේ සියලු අරගලවලට ප්‍රධාන
හේතුවක් වන්නේ ද තණ්හාව ය. බල තණ්හාව මුල් කොටගත් යුධ කෝලාහල යනාදිය නිසා මිනිසුන්ට
වටිනා ජීවිත පවා අහිමි වෙයි. මේ අනුව තණ්හාවට වසඟ වූ සිත පුද්ගලයාට ද සමාජයට ද ඉතා
භයානක විපත් පමුණුවන්නේ ය.
ආර්ථික ප්‍රශ්න වැඩිවන්නේ ඇයි?
යම් පුද්ගලයකු බහුභාණ්ඩික බවට පත් කරවීමට ද ප්‍රධාන හේතුව මෙම තණ්හාව යි. එවැනි
බහුභාණ්ඩිකත්වයට හුරුවූ පුද්ගලයකු පහසුවෙන් පෝෂණය කළ හැකි හෙවත් රැකිය හැකි අයකු
නොවේ. ආහාර ,ඇඳුම් පැළඳුම්, නිවාස යනාදී සියල්ල ඉතා ඉහළ මට්ටමකින් අපේක්ෂා කරන අය
ජන සමාජය තුළ වැඩියෙන් දක්නට ලැබයි. පමණට වඩා වියදම් කිරීමට ද ඔවුහු පෙළඹෙති.
අධික පරිභෝජන රටාවකට හුරුවූ අය දැකීමෙන් පසු අනුකරණයට මෙන් එවැනි හැසිරීම් රටාවන්
ප්‍රදර්ශනය කරන්නවුන් ද කොතෙකුත් දැකිය හැකි ය. ඔවුහු ක්‍රමයෙන් බහුභාණ්ඩික ජීවන
රටාවට යොමු වෙති. ඒ නිසාම අසීමිත ලෞකික ආශාවන් පසුපස හඹා යති.
තමාගේ ආර්ථික ශක්තිය දුර්වල වූ විට ණය වී අත්‍යවශ්‍ය නොවූ දේවල් රැස්කර තබා ගැනීමට
පෙළඹෙති. නොයෙකුත් ගෘහභාණ්ඩ, තාක්ෂණික උපකරණ, සුවිසල් සුවපහසු ගේ දොර, මිල අධික
ඇඳුම් මෝස්තර ආදියෙන් කැපී පෙනීමට යාම නිසා ඇතැමුන් ජීවත්වන්නේ සමාජයට නො පෙන්වන
ආර්ථික ප්‍රශ්න රැසක් මධ්‍යයේ ය. මේ සියල්ලට ම මුල සරල චාම් දිවි පෙවෙතකට හුරු
නොවීම යි. අසීමිත තණ්හාවයි.
මහමෙරක් හිස මත ද?
එබැවින් ආශාවන්ට වහල් වී ජීවත්වීමෙන් අප ඈත්විය යුතුය. එය ජීවිතයම විනාශය කරා
ගෙනයාමක් වන හෙයිනි. අතෘප්තිකර තණ්හා අධික ජීවිතයක බලාපොරොත්තු සියල්ල කිසිසේත්
සම්පූර්ණ කරගත නොහැකි ය. එබැවින් එවැනි අතෘප්තිකර ජීවිතයක් ගත කිරීමට වඩා ලද දෙයින්
සතුටු වී සැහැල්ලු, අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමට අප හුරුපුරුදු විය යුතු ය.
එවිට අප ගේ නො දැනුවත්කම නිසාම ගොඩනඟා ගනු ලබන ප්‍රශ්න බොහොමයක් අවම වී යනු ඇත.
ධාර්මික අල්පේච්ඡ දිවි පැවැත්ම ජීවිතයේ සාර්ථකත්වයට බෙහෙවින් බලපාන්නාක් සේ ම
තණ්හාව දුරුකර සංසාර දුකින් අත්මිදීමට ද මූලික වශයෙන්ම උපකාරි වෙයි.
මෙසේ කාම,භව හා විභව යන ත්‍රිවිධ තණ්හාවම දුකට මුල් වෙයි. අප හුරුපුරුදු විය යුත්තේ
සසර දුකට මුල්වන අප අතර, ගැටුම් ඇති කරවන, හොඳ හිත පලුදු කරවන තණ්හාව පාලනය කර
ගැනීමට ය. තණ්හාවට දාසයකු නොවී කටයුතු කිරීමට ය. එසේම අසීමිත තණ්හාවෙන් අනුන් පරදවා
යාමේ ආදීනවය තේරුම් ගනිමින් අල්පේච්ඡව ජීවත්වීමට ය. ලද දෙයින් සතුටු වෙමින්
බහුභාණ්ඩිත නොවී කටයුතු කිරීමට ය.
එබඳු ජීවිතයක් ගත කරන්නාට දුක් පීඩා අඩුවෙයි. හෙතෙම සැහැල්ලුවෙන් හා සතුටින්
ජීවත්වෙයි. ඔහුට ජීවත්වීම පහසු ය. මහමෙරක් හිස පිට තබා ගත්තාක් මෙන් හෙතෙම පීඩා නො
විඳී. එවැනි සැහැල්ලු, පී‍්‍රතිමත්, සාමකාමි ජීවිතයක් ගත කිරීමට අප සැම හුරුපුරුදු
විය යුතු ය. |