යහපත් මඟට පය තැබුවත්
එහි යන්නට සිත නො දෙන්නේ ඇයි?
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
මාලගම්මන ශ්‍රී ධර්මාලෝක පිරිවෙනේ කෘත්‍යාධිකාරි
ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත
අමුණුපුර පියරතන නාහිමි
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
උපනීයතී ජීවිතමප්පුමායු
ජරූපනීතස්ස නසන්ති තාණා
ඒතං භයං මරණෙ පෙක්ඛමානො
පුඤ්ඤානි කයිරාථ සුඛාවහාති
සුපින්වත්නි,සුගත තථාගත අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා
විහාරයෙහි වැඩවසන සමයෙහි වයෝවෘද්ධ බමුණන් දෙදෙනකු අරභයා මෙම ගාථා ධර්මය දේශනා කළ
සේක.
මෙම බමුණන් දෙදෙනා ම අසූ වයස් ඉක්ම වූහ. වෙව්ලන ශරීර ඇත්තෝ වූහ. එහෙත් තම දරුවන්
විසින් නිවෙස්වලින් පිටමං කරනු ලැබීය. බමුණන් දෙදෙනා අසරණ ව, මහ මඟට වැටුණහ. අපට
පිහිටවන කිසිම කෙනෙකු නැත. බුදුරජාණන් වහන්සේගෙන්වත් පිහිටක් ලැබෙන්නේ නම් කෙ තරම්
වාසනාවක් දැයි සිතා ජේතවනාරාමයට පිය නැඟූහ.
ඉතා වෙහෙසකර ගමනින් දෙව්රම් වෙහෙරට ගිය මෙම බමුණෝ දෙදෙන බුදුරදුන් වෙත පැමිණ වැඳ
නමස්කාර කොට තමන්ගේ අදහස් ප්‍රකාශ කළහ.
“අප දෙදෙනාම කුඩා කල පටන් යහළු මිත්‍රයන් වශයෙන් හැදී වැඩුණෙමු. තරුණ වයසේ දී විවාහ
ජීවිතයට පත්වූයෙමු. දූදරුවන් හැදුවෙමු. ඔවුන් සමඟ ද පී‍්‍රතිමත්ව සිටි නමුත් පිනක්
දහමක් කර ගැනීමට තරම් සිත් පහළ නො වීය. අපි දෙදෙනාම දැන් අසූ වයස් ඉක්මවා
සිටින්නෙමු. කිසිම දෙයක් කරන්නට ශාරීරික ශක්තියක් නැත. මානසික පී‍්‍රතියක් හෝ නැත.
අපේ දූ දරුවෝ අප දෙදෙනාම නිවෙස්වලින් පිටමං කළහ. එබැවින් මහමඟ. අසරණව ගමන් කළෙමු.
එකම පිහිට භාග්‍යවතුන් වහන්සේ බව කතා කරගෙන අපි දෙදෙනම මෙහි ආවෙමු" යැයි ප්‍රකාශ
කළහ.
ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මෙම බමුණන් දෙදෙනාගේ වයසට හා අපේක්ෂාවන්ට යෝග්‍ය
පරිදි අනාගත ජීවිතයට සැපගෙන දෙන්නා වූ මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.
මෙම ගාථාවෙන් ප්‍රකාශවන කරුණු අතර
ජීවිතය ක්‍රමයෙන් කෙටිවීම,
ආයුෂ ඉතා අල්ප බව,
ජරාවට පැමිණි පසු පිහිටක් නැති බව,
මරණ බිය ඇතිවීම හා,
මේ කරුණු සලකා පින් කිරීම ප්‍රධාන වේ.
සත්වයකු මව්කුසින් මෙලොවට බිහිවූ දා පටන් එම සත්ත්වයා කර්මානුරූප ව ලබාගත් ජීවන
කාලය තත්පරයක් පාසා අඩුවන්නේ ය. පැයෙන්,දවසින්, සතියෙන් ,මාසයෙන් වසරින් වසර ගෙවී
යන ආයු කාලය යළි පැමිණෙන්නේ නැත.
භෞතික ලෝකයේ පැවැත්ම හා සැසඳීමේ දී සත්ව ලෝකයේ ජීවනය ක්ෂණිකව වෙනස් වන්නේ චින්තනය
ආවරණය වූ කර්මය නිසා ය. සත්ත්ව ලෝකයේ මිනිසා තරම් කර්මය දැන ගෙන ක්‍රියා කරන කෙනෙකු
නැති වුව ද කර්මයේ යථාර්ථය දැන ගැනීමේ අවශ්‍යතාවය යටපත් වන්නේ මිථ්‍යා දෘෂ්ඨිය නිසා
ය.
සත්ත්වයා උපන්දා සිට මොහොතක් පාසා වෙනස් වන්නේ කර්මය සුවිශේෂ වශයෙන් ක්‍රියාත්මක වන
නිසා ය. සෑම සත්ත්වයාට ම ඒකාකාර ව ක්‍රියාත්මක නො වන නිසා ය.
“නානත්ත කායා නානත්ත සඤ්ඤා” යනුවෙන් පෙන්වා දි ඇති පරිදි ශරීරයෙන් හා සඤ්ඤාවෙන්
වෙනස් වන්නේ ද සංසාර කර්මයේ ස්වභාවයට යටත්ව පැවතීමෙන් බව ප්‍රත්‍යක්ෂ විය යුතුය.
ලෝක ධාතුවල පැවැත්මේ කාලය හා සත්ත්වයෙකුගේ ජීවන කාලය සැසඳීමේ දී සත්ත්වයා මොහොතක්
එක් තැනක තවත් මොහොතක වෙනත් ලෝකයක ආත්මය චලනය වන්නේ ය.
විශ්වයේ පවත්නා අනිත්‍යතාවය ප්‍රකෘති ඇසට නො පෙනෙන්නේ ඉතා ඉක්මනින් ඇතිවීම හා
නැතිවීම ක්‍රියාත්මක වන නිසා ය.
ක්ෂණයක් පාසා වෙනස්වන නාම රූප ධර්මයන්ගේ චලනය මහා පීඩාවකි. සන්තාපයට හේතුවකි. එයට
හේතුව එය මමත්වයෙන් සිතින් අල්ලා ගැනීම යි.
මොහොතක් පාසා ජීවිතයෙන් සමුගන්නා සත්ත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ප්‍රධාන
දුක්ඛ වේදනා මෙන්ම සෝක පරිදේවාදී අනේකවිධ දුක් වේදනාවලින් තෙරපෙන්නේ ය. මේ නිසා
විශේෂයෙන් මිනිසාට ලෞකික වශයෙන් හෝ සැපක් අවශ්‍ය නම් දාන, ශීල, භාවනා දී පින් දහම්
කළ යුතු වන්නේ ය.
කයින් සිතින් වචනයෙන් වන වැරැදි හෙවත් දස අකුසල් අත්හැර. දස කුසල් ක්‍රියාත්මක
කරන්නට තරම් බුද්ධියක් ඇත්තේ මිනිසාට පමණි. බුද්ධ දේශනාව අනුව අකුසල් දුරු කරන්නට,
කුසල් වර්ධනය කරන්නට මිනිසාට හැකි වන්නේ ය.
උපන් පරිසරය අනුව , පාරම්පරික වශයෙන් තම තමන් විසින් අල්ලාගත් උපාදානය අත්හැර
නිදහස් චින්තනයෙන් සිතාමතා සම්මා දිට්ඨියෙන් කුසල් කිරීමට හැකිවන්නේ ය.
මිනිසා විසින්ම ප්‍රශ්න ඇතිකරගෙන, මිනිසා ම එයින් තෙරපෙන්නේ මිථ්‍යා දෘෂ්ඨිය නිසා ම
ය. මේ නිසා අප බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදා දේශනාවේ දී සම්මා දිට්ඨිය
ප්‍රථමයෙන් දක්වා වදාළ සේක. යහපත් මඟට පය තැබුවත් මිථ්‍යා දෘෂ්ටියෙන් ආත්මය අල්ලා
ගත්තොත් එම මාර්ගයේ යන්නට හිතෙන්නේ නැත.
වර්තමාන ලෝකයේ මිනිසාට බුද්ධිය තිබුණත් එය හැඟීම් ධාරාවකට යටකර ගෙන තමා නොමඟ යමින්
අනුන් ද එමඟට යොමු කිරීම නිසා මිනිස් වර්ගයා ම මහා සන්තාප ජාලාවකට වැටී ඇත. මෙම
සන්තාපයෙන් මිදෙන්නට නම් අප බුදුරදුන් විසින් පෙන්වා වදාළ සම්මා දිට්ඨි චින්තනය
සමස්ත මානව පරපුරටම හඳුන්වා දිය යුතු ය.
මේ සඳහා වහාම ක්‍රියාත්මක කළ යුතු කාර්යන් අතර, සම්මා දිට්ඨිය ප්‍රධාන ලෝක
භාෂාවලින් හඳුන්වාදීම, පංචශීල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම, උසස් මානව හැඟීම්
ලෝක සම්මේලන මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීම හා ලෝක රාජ්‍ය නායකයන් හා ආගමික නායකයන්
පෙරට පැමිණීම වෙසෙස් කොට සැලකිය යුතු ය. |