ගොයම් කපා දන් දුන්
ශ්‍රද්ධාවන්ත රජතුමා
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනයේ
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි
යමක්දීම කළ යුත්තේ තමන්ගේ සිත, කය සහ වචනය වෙහෙසා දහඩිය වගුරුවා උපයන ධනයෙන් ය.
සොරකම් කිරීමේදීත්, වංචා කිරීමේදීත්, වෙනත් ඕනෑම වැරදි කි‍්‍රයාවක් කිරීමේදීත්
මිනිසා විසින් සිත, කය සහ වචනය වෙහෙසවා කටයුතු කර ධනය උපයයි.
එහෙත් බුදු දහම එවැනි ධනෝපායන හෝ එවැනි ධනයෙන් දෙන දානය හෝ පරිත්‍යාගය ආනිසංස
සිදුවන පුණ්‍ය ක්‍රියාවක් ලෙස අනුමත නො කරයි. ධාර්මිකව සිත, කය සහ වචනය වෙහෙසා උපයන
ධනය ම උසස් දානයක් වන බව ද ආනිශංස බහුල දානයක් වන බව ද දේශනා කර ඇත.
හෙළදිව පෙර රජවරුන් තමා සතුව කොපමණ ධනය තිබුණත් දන්දීම කර ඇත්තේ තම සිත, කය සහ වචනය
ධාර්මික ව වෙහෙසමින් ය. ඒ උතුම් චරිතාංග නූතනයේ රාජ්‍ය, පෞද්ගලික හෝ ඕනෑම
ක්ෂේත්‍රයක සේවය කරන පුද්ගලයන්ට මෙන්ම නිලධාරීන්ට මහත් වූ ආදර්ශයක් සපයයි.
මේ හා බැඳුණු රසවත් කථා පුවතක් සිහළවත්ථුවේ සදහන් වේ. ඒ කතා පුවත මෙසේ ය. යහපත්
උතුම් දිවයිනක් වූ, බොහෝ සත්පුරුෂයන්ට වාසස්ථාන වූ බොහෝ ආහාරපාන සහිත වූ හෙළදිව
සද්ධාතිස්ස නම් රජ කෙනෙක් රාජ්‍ය කරවීය. නීවරණයෙන් දුරු වූ සිත් ඇති ඒ රජතුමාට
දිනක් මෙවැනි සිතිවිල්ලක් පහළ විය.
බුදුරජාණන් වහන්සේ විසින් සංයුක්ත නිකායේ දේවතා ප්‍රශ්නයේ දී පිරිසුදු දානය වර්ණනා
කරමින් යමෙක් විෂම චරිතයෙහි පිහිටා අනුන් කපා කොටා වධ දී සෝක උපදවා දන් දෙති.
දඬුවම් සහිත ව, හැඬූ කඳුළින් පිරිසක් හොබවා දෙන දානයෙහි උසස් ආනිශංස නොමැත්තේ යි,
දේශනා කරන ලදි. බුදුන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද සිත, කය සහ වචනය වෙහෙසීමෙන්
දානයක් දෙන්නේ නම් යහපතැයි සිතා, සිය අගමෙහෙසිය අමතා,
පි‍්‍රය සොඳුර, දැන් උදාවී ගෙවෙන්නේ අස්වනු නෙළීමේ කාලය යි. අස්වනු පැහී ඇති බැවින්
බොහෝ දෙනා තුමු ම ගොයම් කැපීම කරති. මමත් ගැමියකු විලසින් හැඳගෙන දෑකැත්ත අරගෙන
ඇල්කෙත්වලට ගොස් ගොයම් කපන්නෙමි. ඒ වී ගෙනවුත් බත් සාදා ව්‍යාංජන සහිත කොට
සංඝයාගෙන් ලබාගත් භික්ෂු නමකට දන් දෙන්නෙමි. ඉදින් සංඝයාට දෙන්නේ නම් ඒ දානය බුදුන්
වහන්සේ විසින් වර්ණනා කරන ලද්දේ ය. මම ඒ දානය දීම සදහා බැලමෙහෙ කරන්නෙමි’යි දේවියට
එම කාරණය කියා පාන්දරින්ම නැගිට පිටතට ගොස් මහ මඟ සිටගෙන යන එන මිනිසුන්ගෙන් මෙසේ
විචාරන්නේ ය.
මහත්මාණෙනි, මම අසරණයෙක් වෙමි. කුලීවැඩක් සොයමින් යන්නෙමි. ඔබ සමීපයේ වැඩක් වේනම්
කියන්න එය කරන්නෙමි. මා හට හොඳට වැඩකළ හැක්කේ ය. යනුවෙන් තමන්ට ඕනෑම කාර්යයක්
කිරීමට හැකි බව එන එන මිනිසුන් වෙත ප්‍රකාශ කරමින් දවසේ කුලීවැඩක් සොයා ගැනීමට
වෙහෙසුණේ ය.
එහෙත් බොහෝ වේලාවක් ගතවන තෙක් රජුට කුලී මෙහෙයක් සොයා ගත නොහැකි විය. බොහෝ වේලා
සිටිනු දුටු එක් ගොවියෙක් ඔහු දැක සතුටු සිතින් රජුවෙත එළැඹ මෙසේ විචාළේ ය.
මිත්‍රය ඔබගේ අත්පා ඉතා සියුමැලි ය. ශරීරය ද සුවසේ වැඩුණකි. ඔබ තනිව කුමට මෙහි
සටින්නෙහිදැයි විමසී ය.
එකල්හි වෙස්වලාගත් රජතුමා ඔහු අමතා, මහත්මාණෙනි, මම කම්කරුවෙක් වෙමි, දවස් කුලියට
වැඩ කරමි. එසේ කොට ලබාගත් දෙයින් ජීවිතය පවත්වා ගන්නෙමි' යි පිළිතුරු දුන්නේ ය.
එකල්හි ගොවියා කියන්නේ මා විසින් කිසි දිනක මෙවැනි කම්කරුවෙක් දැක නැත්තෙමි. මේ
ශරීරය රජකම් කිරීමට නම් සුදුසු ය. මෙය බැලමෙහෙ කිරීමට යෝග්‍ය නොවේ යැයි කියා, කෙසේ
හෝ වේවා එයින් කම්නැත කුඹුරක ගොයම් කපන්නට හැකිදැයි විචාළේ ය. එසේ යැයි කීවිට
‘‘එහෙනම් එනු මා සමඟ යමු' යි කියා ඔහු සමග ගිය රජුට විශාල කුඹුරු යායක් පෙන්වා මෙය
කපවයි කීය. එය සතුටින් පිළිගත් ශක්තිමත් රජතුමා ශ්‍රද්ධාවෙන් යුක්තව දවස මුළුල්ලේ ම
ගොයම් කැපී ය. එයින් සතුටට පත් කුඹුරු හිමියා දවස අවසානයේ දී ඔබට යම් පමණ ගොයම්
ගෙනයා හැකි නම් එපමණ ගෙන යවයි කීය. රජතෙමේත් ගෙනයා හැකි පමණින් මහත් වූ ගොයම්
මිටියක් බැද කරතබාගෙන රාතී‍්‍ර සමයේ රජමාලිගාවට ගෙන ගොස් තැබී ය. රජතුමා මහත් සේ
වෙහෙසට පත්ව සිටි බැවින් දේවිය වහා උණු වතුරින් නහවා අත්පා මැඩීම කළා ය. රජතුමා
වෙහෙස සන්සිඳුණු පසු දේවිය සමඟින් ගොයම් මැඩ පිදුරු ඉවත දමා දේවිය අමතා මෙසේ කීය.
සොඳුර, මේ ධාන්‍යවලින් දානය සකස් කළ යුතු ය. ඒ සඳහා අවැසි පියවර ගන්න, රජගෙට
කිසිවකුටත් ඇතුළුවීමට ඉඩ නොතබන්න යැයි කීය.
ඕතොමෝ යහපතැයි කියා රජුගේ උපදෙස් පිළිපදිමින් වී කොටා දහයියා ඉවත දමා හාල් කුඩු ද
ඉවත දමා පිරිසුදු හාල් සමූහයක් සකසාගෙන එයින් කොටසක් විකුණා ඒ මුදලින් සකුරු සහ
ගිතෙල් මෙන් ම ආහාර පිසීමට අවශ්‍ය සෙසු කුළුබඩු ආදිය ගෙන්වා ගත්තා ය. පසුව ඉතා
ප්‍රණීත අන්දමින් දානය සකස් කොට රජුට දැන්වීය. රජතුමා දාසියක් අමතා ‘‘තී වහා සංඝයා
වෙත එළැඹ සංඝයාගෙන් එක් භික්ෂු නමකට රජතුමා දානයට ආරාධනා කරන්නේ යැයි පවසමින් එක්
නමක් වැඩම කරවන ලෙසට ආඥා පනවා යැවී ය. ඇය විහාරයට එන අතරෙහි මේ සියලු පුවත් පුවගු
දිවයින්වාසී දිවැස් සහිත වූ තිස්ස තෙරුන් වහන්සේ වහා දැක එක්තරා භික්ෂු නමක් අමතා
‘‘ඇවැත්නි, තොපගේ මහරජතුමා වූද, තොපගේ අග්‍ර උපස්ථායක වූ ද සද්ධාතිස්ස මහරජතුමා
බැලමෙහෙ කොට ලබාගත් ධනයෙන් දානයක් සකස් කොට සංඝයාගෙන් එක් භික්ෂු නමකට ආරාධනා කරයි.
සමීප විහාරයෙහි භික්ෂූහු තවමත් පෘථග්ජන බැවින් රජුට අර්ථසිද්ධිය පිණිස ඔබ එහි වැඩම
කොට සංඝයාගේ මුලසුන ගෙන මේ ආරාධනය පිළිගෙන එහි වැඩම කර රජුට පිහිට වන්නැයි ඉල්ලා
සිටියේ ය.
ඒ තෙරුන් වහන්සේ ද එය පිළිගෙන ඍද්ධියෙන් ඒ විහාරයට වැඩම කොට පැවිද්දෙන් වෘද්ධි වූ
බැවින් සංඝයාගේ මුලසුන ගනිමින් රජුගේ ආරාධනාව දාසිය වෙතින් බාර ගත්තේ ය.
දාසිය ගිය පසු තෙරුන් වහන්සේ රජමාලිගයට වැඩම කළහ. එකල්හි රජතුමා සහ රජ දේවිය ඉතා
ශ්‍රද්ධාවෙන් අසුන් පනවා පාත්‍රය ගෙන දානයෙන් පුරවා සුදු වස්ත්‍රයක් පාත්‍රය යටින්
තබා අතිශය ගෞරවයෙන් දානය පූජා කළහ.
දන් වැළඳීමට අසුන් පනවා දානය වළඳන්නැයි රජු ආරාධනා කළ කල්හි ‘‘මහරජ අධික පැහැදීම
නො කළ මැනවි, මධ්‍යස්ථ වෙව, අධික පී‍්‍රතියෙන් යුක්ත සිත දරාගත නොහැකි වන්නේ යැයි
ධර්මාවවාද දී ඒ ආසනය නොගෙන මම විහාරයට වැඩම කර දානය වළඳන්නෙමි’යි රජුට පවසා අහසෙහි
පියාසර කරන පක්ෂියකු මෙන් අහසට පැන නැඟී ගමන් කොට ඒ දානය සංඝයාට පිළිගැන්වී ය.
ඒ දානය කොතෙක් බෙදුවත් පාත්‍රය හිස් බවට නොගියේ ය. භික්ෂූන් වහන්සේලා දහතුන් දහසකට
ප්‍රමාණවත් විය. ඉතිරි වූ කොටස ඒ තෙරුන් වහන්සේ වැළඳූහ. රජතුමා ඒ පුවත් අසා මහත් සේ
පී‍්‍රතියට පත්විය.
රජතුමා ක්‍රමයෙන් වයසට පැමිණ මරණාසන්න ව සයනයෙහි හොත් කල රජ මාලිගයට වැඩම කළ මහ
තෙරුන් වහන්සේලා ‘‘මහරජ, ඔබ කළ කුසල් සිහිපත් කරවයි කීය. එකල්හි රජතෙමේ මෙසේ කීය.
ස්වාමීනි, මා විසින් මිණිමුතු යෙදූ සහ රනින් කළ බොහෝ බුද්ධරූපාදිය බුදු සසුනට පූජා
කළේ ය. එමෙන් ම සංඝයා වෙත මා කළ පූජා විවිධාකාරය, ඉතා බොහෝ ය, තුදුස්වකදා, අටවකදා,
මෙන්ම පසළොස්වක දා මා විසින් අටසිල් සමාදන් ව ඒවා රකින ලදි.
එහෙත් මේ සියල්ල පරදා මා විසින් ම උපයා ගත් ධනයෙන් එක් භික්ෂු නමකට දුන් දානය මට
දැනුදු මහත් සතුටක් ගෙන දෙන්නේ' යි පසවමින් රජතුමා ආයුෂ හැරදා ගියේ ය.
එයින් මතු හෙතෙම තුසිත දෙව්ලොව මහා තේජවන්ත දෙවියකු බවට පත් වූයේ ය. එබැවින්
මරණාසන්න මොහොතෙහි චුති සිත කුසල්වලින් පුරවා ගැනීමටත් එයින් මතු දිව්‍ය සැප සහ
නිවන් සැප ලැබීමටත් සිය කය වෙහෙසා ධාර්මිකව ලබා ගත් ධනය දන් දීම ම පිහිට විය. |