පාත්‍රයට ගිලිහුණු ඇඟිල්ල ඉවත් කොට
රෝගියාට පින් පිණිස දානය වැළඳූ
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
ගලගෙදර රතනවංස හිමි
මහා සංඝ රත්නය යනු ත්‍රිවිධ රත්නයට අයත් තෙවැනි රත්නයයි. මහා සංඝරත්නය නැමදීමේ දී
“සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ..” යනාදී වශයෙන් පාලි පාඨය කියවීම හා මහා සංඝ රත්නයේ
ගුණ අනුස්මරණය කිරීම සිදු කරති.
එම පාඨයට අනුව සංඝ රත්නයේ ගුණ නවයක් පිළිබඳ සඳහන් වේ. එහි පළමු ගුණාංගය වන්නේ
සුපටිපන්න ගුණයයි. එහි අර්ථය වන්නේ “සංඝ රත්නය රාග, ද්වේෂ, මෝහ දුරු කර ගැනීම පිණිස
සීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත වැඩ පිළිවෙළක නික්මෙන්නාහ යන්නයි.
කාමයන්ගේ නිසරුභාවය හා සංසාර භය දැක, ධනයට, රූපයට තිබෙන්නා වූ වහල් භාවය දැක උතුම්
පැවිදි උපසම්පදාවට පත් වීමයි. බුද්ධ ශ්‍රාවක වූ කාශ්‍යප මහ රහතන් වහන්සේගේ චරිත
කතාව දෙස අවධානය යොමු කිරීමේ දී උන්වහන්සේ තුළ පැවති සුපටිපන්න ගුණය ඉතා ඉහළ ය.
බුද්ධ ශාසනයේ සිටි ප්‍රමුඛතම සේ ම ශ්‍රේෂ්ඨතම උතුම් චරිතයක් බවට පත් වූයේ විවිධ
අංශයන්හි ප්‍රමුඛස්ථානය ද දරමිනි. එම චරිතය තුළ ගිහි ජීවිතය බැලුව ද එහි කිසිදු
වෙනසක් දක්නට නොමැත. එම චරිත කතාව හරහා සුපටිපන්න ගුණය පිළිබඳ මදක් විමසා බලමු.
කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිහි කල පිප්ඵලී මානවක නමින් ප්‍රකට විය. කපිල නම් බමුණා
පියා වූ අතර, එම කපිල බැමිණිය මව විය. මගධ රටෙහි මහාතිත්ථ නම් ගමෙහි උපත ලැබීය.
විශාල ධනස්ඛන්ධයක් ඔහුට පැවරී තිබුණි. ඒවා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඔහුට නිසි
වයස් එළඹෙත්ම මව්පියන් ස්වාමි දියණියක් සෙවී ය.
ඒ සෙවීමේදී හමු වූයේ සාගල නුවර කෝසිය බමුණාගේ දියණිය වූ භද්‍රකාපිලානී කුමරියයි. ඇය
ද විශාල ධනස්ඛන්ධයකට හිමිකම් කියූ කුමරියකි. නමුදු දෙදෙනාම විවාහ ජීවිතයට අකමැති
දෙදෙනකු වූ අතර, මව්පියන්ගේ බලකිරීම මත ඔවුන් සනසනු වස් විවාහ විය. විවාහ වී පළමු
රාත්‍රියෙහි මල්දම් දෙකක් ගෙන යහනෙහි දෙදෙනාට අතරින් තබා ඉදින් යමකුට රාග සිතක් පහළ
වී නම් තමාට අයිති මල්දම පරවන්නේ යැයි කියා එකම යහනෙහි නිදාගත්හ.
දෙදෙනාම ඔවුනොවුන්ගේ සිරුරු එකට ගෑවේය යන බියෙන් පළමු රාත්‍රිය පහන්වන තුරුම නිදි
වර්ජිතව සිටියහ. දිවා කල වුවද ඔවුනොවුන් දෙදෙනා මුහුණට මුහුණලා සිනාසීමකුදු නොකරති.
මේ අයුරින් කාලය ගත කළ ඔවුන් දෙදෙනා මව්පියන් මිය ගියාට පසු කතිකා කරගත් අයුරින්
තපස් වෙස් ගෙන පාත්‍රයක් ද රැගෙන මහ මඟට බැස බුද්ධ ශාසනයේ පැවිද්ද සොයා ගියහ.
ඒ යන අතරමගදී දෙමංසංදියක දී දෙදෙනා දෙමඟක් ඔස්සේ යමුයි කතිකා කරගෙන එලෙස වෙන්වීමට
සැරසෙද්දීම පොළොව කම්පා වීමක් ද සිදු විය. එයට හේතුව සංසාරේ දීර්ඝ කාලයක් මේ
අයුරින් අඹුසැමි වශයෙන් බැඳීමෙන් ආ බැවිනි.
පිප්ඵලී කුමරු බුදුන් හමුවේ දී බණ අසා මහණ උපසම්පදාව ලබා ගත්හ. ඕවාද පටිග්ගහන
උපසම්පදා විධිය මහා කාශ්‍යප තෙරුන් වහන්සේ නිසාම අනුදැන වදාළ සේක. මහා කාශ්‍යප
තෙරුන් තෙලෙස් ධූතාංගයන් සමාදන් ව සත් දිනක් ඉක්ම ගිය කල්හි සිව්පිළිසිඹියා සහිත ව
රහත් බව ලැබූ සේක. බුදුරදුන් කාශ්‍යප මහ රහතන් වහන්සේට “එතදග්ගං භික්ඛවේ මම සාවකානං
භික්ඛූනං ධූතවාදිනං යදිදං මහා කස්සපො” යනුවෙන් මහා කාශ්‍යප තෙමේ මාගේ ධූතාංගධාරි
භික්ෂූන් අතර අග්‍ර වන්නේයැයි වදාරා අග්‍රස්ථානයෙහි තබා වදාළ සේක.
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදු රජාණන් වහන්සේ සමඟ පැවති සම්බන්ධතාව ද ඉතා ඉහළ ය.
බුදුරජාණන් වහන්සේ හා කාශ්‍යප මහ රහතන් වහන්සේ සිවුරු මාරු කර ගැනීමෙන් ඒ බව මොනවට
පැහැදිලි වේ. බුදු රදුන්ගේ පැවැති මහා පුරුෂ ලක්ෂණ වලින් හතක්ම කාශ්‍යප මහ රහතන්
වහන්සේට ද පැවතුණි. වරක් එක් උපාසිකාවක් කාශ්‍යප හිමියැයි රැවටී බුදු රදුන්ගේ
පාත්‍රයට දන් පිළිගන්වා පසුව කාශ්‍යප හිමි වඩින කල බුදු රදුන්ගේ පාත්‍රයේ දන් රැගෙන
කාශ්‍යප හිමිට පිළිගැන්වූ පුවතක් ද සඳහන් වේ. එම හේතුවෙන් කාශ්‍යප හිමි හිමාල
අඩවියට වැඩි බව ද බුදු රදුන් කවදා හෝ දිනක පිරිනිවන් පෑ කල්හි මේ ගසෙහි මල් පරවී
බිම සැලේවායි අධිෂ්ඨාන කොට වැඩ සිටියහ. බුදු රදුන් ද කාශ්‍යප හිමි වඩින තුරුම
චිතකයට ගිනි නොඇවිලේවායි අධිෂ්ඨාන කළහ. එය ඒ අයුරින්ම සිදු විය.
කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදු සසුනට හා මහා සංඝ රත්නය උදෙසා කළ සේවයද අති මහත්ය.
බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා පළමු ධර්ම සංගායනාවට නායකත්වය ලබා දීම එහි පළමු පියවර
කීවොත් ඉතා නිවැරැදිය. දුගී දුප්පත් සැදැහැවතුන්ට දිට්ඨධම්මවේදනීය වශයෙන් කුසල කර්ම
කරගැනීම උදෙසා දානයක් පිළිගැන්වූවාට පසු සමවතට සමවැද දන් පිළිගත් බවත්, කාකවලිය
වැනි දුගී සැදැහැවතුන්ගේ කතා පුවත්වලින් ඒ බව මොනවට පැහැදිලි වේ.
සක් දෙවිඳු හා සිය බිරිඳ සුජාතාව වරක් වෙනස් වේසයකින් පැමිණ දන් පිළිගැන්වූ බවද
සඳහන් වේ. වරක් ලාදුරු සැදුන රෝගියෙක් දන් පිළිගැන්වීමේ දී ඇඟිිල්ලක් පාත්‍රයට
වැටුණි. නමුදු එම රෝගියාට පින් පිණිස ඇඟිල්ල පැත්තකින් තබා දන් වැළඳූහ.
උන්වහන්සේ 120 වසරක් වැඩ ඉඳ නිරුපධිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑහ. බුදුරජාණන්
වහන්සේට පමණක් දෙවැනි වූ, බුදු රදුන්ගෙන් පසු භික්ෂූන්ට නායකත්වය දුන්, බුදු සසුන
වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කළ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ චරිත කතාව තුළින්
ගත යුතු ආදර්ශ බොහෝ ය. ඒ අනුව උන්වහන්සේගේ චරිත කතාව කියවා අපේ ජීවිත වලත්
සුපටිපන්න ගුණය වර්ධනය කර ගනිමින් සසර කතරින් අතමිදීමට උත්සාහවත් වෙමු. |