සිතන පතන දේ ඉටු වන්නටපෙර පින් ඕනෑ
බදුල්ල ශ්‍රී සමාධි විහාරයේ
විහාරාධිපති දර්ශනපති
බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“පින් ඇත්තෝ යමක් සිතත් ද එයම සමෘද්ධ වේ. එහෙත්, පින් මඳ අයට තමන් පතන දේ සිද්ධ
නොවේ.”
පින්වතුනි, ලොව්තුරු තථාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ ජීවමාන සමයේ දඹදිව විශාලා
මහනුවර රෝග භය, අමනුෂ්‍ය භය, දුර්භික්ෂ භය නමින් යුත් තුන්බියක් ඇති විය. මෙහි
ස්වරූපය වන්නේ රෝගයක් සෑදී මිනිසුන් දහස් ගණනින් මිය යාමයි. එය වසංගත රෝගයකි.
ඉන්පසු වන්නේ, ගෙයක් ගෙයක් පාසා මළමිණී ගොඩ ගැසීමයි. අනතුරුව අමනුෂ්‍යයෝ ඒවාට අරක්
ගනී. එවිට භීතිය හටගනී. පසුව මිනිසුන්ට ආහාරපාන හිඟවී මිය ඇදේ.
මේ තුන්බිය බුදු ඇසින් දුටු බුදුපියාණෝ ආනන්ද තෙරුන්ලවා රතන සූත්‍රය දෙසා වදාළා,
පිරිතේ අනුහසින් එය වූපසමනය කළහ. එයින් උපන් සුතුර රතන සූත්‍රයයි. තුණුරුවන්ගේ ගුණ
කියැවෙන මහා බලගතු රුවන් සූත්‍රයයි.
විශාලා මහනුවර ඇති වූ තුන්බිය සේ ම ශ්‍රී ලංකාවේ ඇති වූ වසංගත රෝග, සාගත රෝග
පිළිබඳව තොරතුරු ඉතිහාසයෙන් පැනෙයි. වළගම්බා රජු දවස ඇති වූ බැමිණිතියා මහාසාය හා
සිරිසඟබෝ රජු දවස ඇති වූ රක්තාක්ෂි නම් වසංගතය ඊට කදිම සාධකයෝ වෙති. මේ ලිපියේ
අවධානය යොමුවන්නේ එහි සමස්තය කීමට නොව, බැමිණිතියා මහා සාය හෙවත් සාගතය හමුවේ දිවි
බේරාගෙන, සිය ශරීර මාංශ දන්දීමට සැරසුණු ඉතාමත් ශ්‍රද්ධාවන්ත උපාසක යුවළක් පිළිබඳව
ය. රසවෑහෙන ධර්ම කතා ඇතුළත් රසවාහිනිය මේ කතාව වත්ථුල පර්වත කතාවට ඇතුළත් කර ඇත්තේ
ය. මෙසේ ය.
එක් කලෙක සිංහල රටෙහි බැමිණිතියාසාය නම් බියක් දොළොස් අවුරුද්දක් පැවතිණි. මෙතෙක්
කල් ලක්දිව වැස්ස මනාව නොවැස්සේ ය. (ඊට පාදකවූ ඉතිහාස කතාව මෙහිලා නොකියන ලදී)
ගොවිතැන මනාව නොවැඩුණු නිසා සා බිය හටගති. නරක ආහාර ගැනීමෙන් උවදුරට පත් මිනිසුන්ට
රෝ බියද හටගති. මෙසේ මිනිස්සු ඇට හා හම ඉතිරී බවට පත්වූහ. ඒ ඒ දොරවල අවමඟුල් කෝලාහල
හඬින් හඬන්නන්ගේ විලාප හඬින් ද එකනින් කෝලාහල ද විය. ඒ ඒ තැන මළවුන්ගේ කුණප ගඳින්
රැස්වුණු අමනුෂ්‍යයන්ගේ වාසයෙන් මහත් බියක් විය.
මෙසේ නොයෙක් බියවලින් උවදුරට පත් ලක් වැස්සෝ පර්වත ගංගා ආදි තැන්වලට ගොස් ජීවත්
වෙති. එකල්හි වත්ථුල පර්වත සමීපයෙහි මිනිස්සු ඒ පර්වතය පිහිට කොට බොහෝ සෙයින්
පර්වතපාදයෙහි වාසය කරති. එකල්හි පර්වත පාදයෙහි වසන ගම්වැසි එක් මිනිසෙක් තමන්ගේ
මාගම සමඟ ජීවත්වීමට උපායක් සොයන්නේ ය. පර්වතයට ඇවිදිමින් පර්වත මස්තකයෙහි එක් කර
රුකක් දැක වාසය කරන්නෙමි'යි රුක ආශ්‍රය කොට ගෙදරක් කොට එහිම වාසය කරයි. ඒ කර රුකෙහි
අතු තුනක් වේ. හෙතෙම ඒ අතුවලින් එකකින් ආගන්තුක සත්කාර කරන්නෙමු. ඒ අතුවලින් එකකින්
දනක් දෙමු. එකක් අපට පරිභෝගය සඳහා වන්නේයැයි නියමිත කොට තමන්ට නියමිත අත්තෙහි කොළ
අනුභව කරමින් එහි වසයි.
ඉක්බිති එක් දිනක් එක් භික්ෂුවක් භික්ෂාචාරස්ථානයක් සොයන්නේ ඔවුන්ගේ ගෙයි දුම් දැක
සංඥාවෙන් ඔහුගේ ගෙට ගියහ. ඉක්බිති ඒ පුරුෂයා එය දැක සොම්නසට පැමිණියේ පුදුමයි මම මේ
කර කොළ නිසා මහත් පින්කම් රැස් කරමි. ආර්යයන් වහන්සේ ද බොහෝ කාලයකින් දක්නා ලද්දාහු
අභිවාදනය ද කරමියි ගොස් තෙරුන්ගේ අතින් පාත්‍රය ගෙන පහසු තැනක උන්වහන්සේ වඩා හිඳුවා
කොළ ගෙන එන්නෙමි’යි කරගස සමීපයට ගියේ ය.
එකල්හි රාත්‍රී භාගයෙහි ඒ ගසේ කොළ පටන් යටත් පිරිසෙයින් දල්ලක් දක්වාම පණුවෝ කෑහ.
හේ මේ ගස දැක දුකට පැමිණ දොම්නස් ව ආපසු හැරී ගෙදරට ගියේ ය. ඉක්බිති ඔහුගේ භාර්යාව
හිස් අතින් එන ඔහු දැක "හිමියනි, කුමක් නිසා අද හිස් අතින් එන්නේදැයි" ඇසී ය.
එකල්හි හේ මෙසේ කී ය.
පින් ඇත්තෝ යමක් සිතත් ද එයම සමෘද්ධ වේ. නමුත් පින්මඳ අයට තමන් පතන දේ සිද්ධ නොවේ.
බොහෝ කාලයකින් දකින ලද ආර්යයන් වහන්සේට අද දන් සඳහා දීමට කොළයක්වත් නොලද්දෙමි. අපේ
මඳ පින් ඇති බව අනේ !
මෙසේ ද කියා සොඳුර, කරගසේ කොළයක් හෝ දල්ලක් යන හැම දෙයක්ම පණුවෝ කෑහ. ඇය එය අසා
මෙසේ කීවා ය.
ලොව කළ පින් ඇති සත්ත්වයාට ඇතිවන ස්වභාවය මෙයයයි. මුතු, වෛරෝඩි ආදිය පින්වතා කරා
ඉබේටම පැමිණේ. මෙය ස්වභාව ධර්මයකි.
පින්මඳ කාලකණ්ණි සතුන් විසින් බොහෝ උත්සාහයෙන් සොයාගත යුතු යම් වස්තුවක් ඇති නමුත්
එය කිසියම් සැලැස්මකින් විනාශ ව යන්නේ ය.
මෙසේ ද කියා දැන් කුමක් කරමුද? තෙරුන් වැඩ හිඳුවා ටිකක් වත් නොදෙන්නට නුසුදුසු යැයි
කියන්නී.
තමන්ගේ සිරුරෙහි මස් පිස තෙරුන්ට නොදන්වා දෙව්'යි සිතා ලියන ආයුධයක් රැගෙන තමන්ගේ
කලවා මාංශය කපනු කැමැතිව ගෙට පිවිසියා ය. ඇගේ සැමියා ද එසේම තමන්ගේ මස් තෙරුන්ට
එසේම දෙමියි මස් කපනු කැමතිම එසේම පිවිසියේ බිරිය එසේ කරනු දැක කුමක් කරන්නේදැයි
විචාළේ ය. ඕ මාගේ සිරුරෙහි මස් පිස තෙරුන්ට දෙමි ස්වාමීනියි කීවා ය. ඒ අසා සැමියා ද
තමන්ගේ සිරුරෙහි මස් දෙනු කැමැත්තේ සොඳුර, ස්ත්‍රිය නම් ස්වල්ප නුවණ ඇත්තේ දුක්
ඉවසන්ට නොහැකි වෙත්. මගේ සිරුරෙහි මස් දෙමියි කීයේ ය. ඉක්බිති ඔහුගේ බිරිය මස්
දෙන්ට කැමතිය සැමියා ද එසේ ය. පුදුමයි ඔවුන්ගේ දන් දීමෙහි අදහස කියන ලද මැයි.
මෙසේ දානපතියන්ට දානයෙහි සිත ඇලේ. මෙසේ ආධ්‍යාත්මිකව ශරීර මස් දෙන්න කැමැත්තා බාහිර
දානය ගැන කියනුම කවරේද? මේ දෙදෙනාම මම දෙමියි, මම දෙමියි සිතන්නෝ. මෙසේ ඔවුන්
විසින් මස් දීමෙහි උත්සාහවත් වූ විට ඔවුන්ගේ ශ්‍රද්ධා බලයෙන් ශක්‍රයා ඒ අඹුසැමි
දෙදෙනාගේ පිරිසුදු ආධ්‍යාත්මික දාන ආධ්‍යාසය දැන මේ බෝසත් අදහසම යැයි සතුටු සිත්
ඇත්තේ රත් ඇල්හාල් තිඹක් ද, මුව පඩියක් ද, කළයක් ද, තෙල් කළයක් ද රැගෙන මොහොතකින්
ගොස් මිනිසකු මෙන් ඔවුන්ගේ ගේ දොර සිට මේ ගෙදර මිනිස්සු කොහි ගියාහුදැයි ඇසී ය. මේ
හඬ අසා අඹු සැමි දෙදෙනා ගේ තුළ යැයි, කියමින් ගෙදරින් පිටවූවාහු ය. ඉක්බිත් ඔවුන්
ඇමතූ ශක්‍රයා, පින්වත්නි, මේ ආර්යයන්ට දිය යුත්තක් තිබේදැයි ප්‍රශ්න කළ කල්හි,
ස්වාමීනි, අපි දුප්පත් වෙමු. ආර්යයන් වහන්සේට කොහෙන් දියයුතු දෙයක් ලබම් ද යටත්
පිරිසෙයින් කොළයක්වත් නැතැයි සියල්ල කීවෝ ය. ඉක්බිති ශක්‍රයා එසේ නම් මේ සහලින් බත්
පිස මේ උපකරණත් සමඟ තෙරුන් වළඳව්. ඉදින් මම පසුවෙම් නම් මා ගැන නොසලකා නුඹලාත්
අනුභව කරව්. ඉතිරිවා කැමැති හැටියක් කරවයි කියා ඒ ආහාර අඩු නොවන සේ අධිෂ්ඨාන කොට
දෙව් ලොවට ම ගියේ ය.
ඉක්බිති ඔවුහු ඒවායෙන් බත් පිස තෙරුන්ට වළඳවා ඔහුගේ පැමිණීම බලාපොරොත්තු වූයේ
නොපැමිණි නිසා ඔවුහුදු අනුභව කළහ. සැළියෙහි එක හැන්දක් ගත් පමණක් ම පෙනේ. උපකරණ
එසේම ඉතිරිව ඇත. ඉක්බිති ඔවුහු මේ ආශ්චර්යය දැක සතුටු ව එතැන් පටන් බොහෝ භික්ෂු
සංඝයා වහන්සේ රැස්කරවා සත්කාර ගරුකාර කරමින් පුදමින් පර්වත පාදයෙහි මිනිසුන් හා
නොයෙක් දුගී මගී යාචකාදීන්ට දිව්‍යමය ආහාර පානයන්ගෙන් සතපවා සිල් රකිමින් පෙහෙකම්
කරමින් දැහැමෙන් සෙමෙන් වැස ආයු කෙළවර දෙව්ලොව උපන්නාහු ය.
මෙසේ එම කතාව නිම වන්නේ ය. අපත් අල්ප දෙයක් ලදමුත් එය ශ්‍රද්ධාවෙන් පුදන්නේ නම්, ඒ
දානයාගේ අනුසස් මහත්ඵල වන්නේ ය. |