කවරයේ කතාව
භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි උන්වහන්සේටත්, හික්ෂු
සංඝයාටත් රට වැසියන්ගෙන් වන මහත් ගෞරවාදර, සත්කාර දුටු තීර්ථකයෝ එය ඉවසිය නො හැකිව
භාග්‍යවතුන් වහන්සේට අපකීර්තියක් ඇති කිරීමට උපායක් යෙදවූහ.
සුන්දරී නම් රූපශ්‍රියෙන් යුත් පරිබ‍්‍රාජිකාවක යොදාගනිමින් මෙම උපාය යෙදවීමට
තීර්ථකයෝ කටයුතු කළහ. සුන්දරී සුදු වස්ත්‍ර හඳීනා පරිබ‍්‍රාජිකා නිකායකට අයත්
තැනැත්තියක් වුවා ය. ඇය මනාව හැඳ පළදවා, මල් ගඳ විලවුන්වලින් සරසවා ජේතවනාරාමයෙහි
ජනයා සවස බණ අසා එන වේලාව බලා විහාරය දෙසට යැවීමට කටයුතු යෙදවූහ.
“කොහි යන්නේ දැයි “ ඔවුන් ඇසු විට ජේතවනාරාමයට යන බව කියා ගොස් ආරාම ප්‍රාකාරයෙහි
දොරටුව සමීපයෙහි සක්මන්කොට දොර වැසූ විට යළි පැමිණෙන්නී ය. නැවත පසු දා උදයෙහි
ජේතවනාරාමයට ගොස් ගඳකිළිය සමීපයේ මල් සොයන්නියක මෙන් හැසිරෙයි. බුද්ධෝපස්ථානයට ආ
මිනිසුන් මෙහි කුමට අවුදැ යි විමසූ විට යම් කිසිවක් පවසා මඟහැර යයි.
මෙසේ අඩ මසක් පමණ ගත වූ පසු එක් රැයෙක තීර්ථකයෝ රහසින් සුන්දරී පරිබ‍්‍රාජිකාව
මරණයට පත්කොට ජේතවන පොකුණ අද්දර වළ ලා පසුදා පහන් වූ කල “සුන්දරී නැතැ “ යි කලබල
කළහ. එම පුවත කොසොල් රජුට ද දැන්වූහ. ඔවුන් කැමැති තැනක ඇවිද ඇය සෙවීමට රජු විසින්
අවසර දෙන ලද අතර, තීර්ථකයෝ ජේතවනයට පැමිණ ඇය සොයන්නවුන් සේ අඟවා, වළැලූ තැනින්
සිරුර ගොඩ ගෙන ඇඳෙක තබා නුවරට ගෙන ගොස් ,භාග්‍යවතුන් වහන්සේ හා භික්ෂු සංඝයා විසින්
ඇය මරා සඟවා තබා ඇතැයි චෝදනා කොට ඇවිද්දහ.
එදා අලුයම බුදු රජාණන් වහන්සේ නුවණින් ලොව බලා වදාරන සේක් , එ දින තීර්ථකයන්
අපකීර්තියක් උපදවන බව දැන “ ඔවුන් ගේ බොරු චෝදනා පිළිගෙන මහජනයා මා කෙරේ නිකරුණේ
කිපී අපායාභිමුඛ නොවේවා “ යි ඔවුන් කෙරේ කරුණාවෙන් ගඳකිළියේ දොර වසා ඇතුළේ ම උන්
සේක. පිඬු පිණිස වත් නො වැඩි සේක. භික්ෂුහු වනාහී පිඬු පිණිස හැසුරුණහ. මිනිසුන්
භික්ෂූන් දැක නොයෙක් අයුරින් බැණ වැදුණහ.
ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට එපවත් සැලකොට , “ස්වාමීනි ,තීර්ථකයන්
විසින් මහත් අපකීර්තියක් උපදවන ලදී. එහෙයින් මෙහි විසිය නොහැකි හෙයින් අන් තැනකට
යම්හ “යි පැවසූහ.
“ ආනන්දය ,එහි දී මෙසේ ම අපකීර්තියක් ඇති වූවොත් කොහි යන්නමු දැ යි” භාග්‍යවතුන්
වහන්සේ ඇසූ සේක. “වෙන නුවරකට යන්නෙමු “ යි තෙරුණුවෝ කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ,
“ආනන්දය, ඉක්මන් නො වන්න, මේ නින්දා ගර්හා ඝෝෂය පවතින්නේ සතියක් පමණ ය. සමහරු දුෂ්ට
සිතැති ව ද , තවත් කෙනෙක් ඇත්තක් ම යැ යි සිතා ද , ආක්‍රෝශ කෙරෙති. තීර්ථකයෝ දුෂ්ට
සිතින් බොරුයෙන් දොස් නඟත් . ඔවුන්ගේ කතා ඇසුවෝ ඒ සැබෑ යැ යි විශ්වාස කොට ගර්හා
කෙරෙත්.
එහෙත් බුද්ධ තෙම නිර්දෝෂ බැවිනුත් , නො කිපෙන බැවිනුත්, ඒ ගර්හා අපහාස නො සලකයි. නො
පිළිගනියි. කිසිවක් කෙරෙහි රාගයෙන් රැඳීමකට, ද්වේෂයෙන් බැඳීමකට, හෝ මෝහයෙන් මුළා
බවකට නො පැමිණේ යැ” යි වදාළ සේක. මෙම සිදුවීම පාදක කොට ගනිමින් මෙවර බුදුසරණ කවරය
සිතුවම් කොට ඇත.
වසන්ත |