අග්ග මහා පණ්ඩිත වැලිගම සිරි ඤාණරතන මහානායක
මා හිමිපාණන් වහන්සේ
අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිතවංශ මහා නිකායයෙහි මහානායක අග්ගමහාපණ්ඩිත වැලිගම සිරි
ඤාණරතන මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් මෙම ජනවාරි මස දාහත්වන දිනට අවුරුදු හතක්
සම්පූර්ණ විය.
“මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපන්න
භික්‍ෂුව සංඝයා සෝභමාන කෙරේ” යන බුද්ධ දේශනාවෙහි සඳහන් සංඝසෝභන ගුණාංගවලින් සමන්විත
වූ, දුර්ලභ ගණයෙහි සංඝ පීතෘන්වහන්සේ නමක ලෙස උන්වහන්සේ හැඳීන්විය හැකි ය. මාතර
දිස්ත්‍රික්කයෙහි වැලිගම උපත ලබා කුඩා අවදියෙහි ම අහංගම සිරි විමලසාර නාහිමිපාණන්ගේ
ආචාර්යත්වයෙන් පැවිදි බිමට පිවිසි උන්වහන්සේ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනෙන්
අධ්‍යාපනය ලබා, එහි අවසාන විභාගයෙන් උසස් ලෙස සමත්ව තම මූලික පැවිදි ධර්ම,
ශාස්ත්‍රීය අධ්‍යාපනය සම්පූර්ණ කළ අතර, ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙහි ප්‍රාරම්භ,
මධ්‍යම හා අවසාන විභාගවලින් සමත්ව රාජකීය පණ්ඩිත උපාධිය ද හිමිකර ගනිමින් තම ධර්ම -
ශාස්ත්‍රීය ඥානය තවදුරටත් ඔපවත් කළහ.
අප මහානායක මාහිමිපාණන් වහන්සේගේ පැවිදි ජීවිතයෙහි සන්ධිස්ථානයක් වූයේ බම්බලපිටියේ
වජිරාරාමාධිපති ව වැඩවිසූ පූජනීය පැළෑනේ සිරි වජිරඥාණ මහානායක මාහිමිපාණන් වහන්සේගේ
ධර්මාන්තේවාසිකයකු බවට පත්වෙමින් වජිරාරාමයෙහි ගත කළ කාල පරිච්ඡේදයයි.
පැළෑනේ මහනාහිමිපාණන්ගේ ධර්ම ඥාණයෙන් ද, ශීලාදී ගුණයෙන් ද තම ජීවිතය ඔපවත් කර
ගැනීමට අප මහානායක මාහිමිපාණන්හට මෙය අනගි අවස්ථාවක් වූ බව නිසැක ය.
ප්‍රාමාණික විද්වත් භික්ෂුවක මෙන් ම උසස් ගණයේ ධර්ම දේශකයන් වහන්සේ නමක මෙන් ද
දිවයින පුරා කීර්ති නාමයක් අත්පත් කර ගැනීමට මෙම අවදියෙහි දී උන්වහන්සේට හැකි විය.
විශේෂයෙන් ම එවකට ජනප්‍රිය වෙමින් පැවැති ගුවන් විදුලි මාධ්‍යය මඟින් ධර්ම දේශනා
පැවැත්වීමේ විශේෂ හැකියාවකින් යුතු වූ උන්වහන්සේ බුද්ධ දේශිත ගැඹුරු ධර්මය සරලව
පැහැදිලි කරදීමේ දුර්ලභ ශක්තියෙන් යුතු වූහ.
උසස් ගණයේ විහාරස්ථානයක් හා බෞද්ධ මධ්‍යස්ථානයක් ද ලෙස වර්තමානයෙහි ලෝකය පුරා
ප්‍රකට රත්මලානේ මල්ලිකාරාම විහාරස්ථානය උන්වහන්සේගේ අනුශාසනා පරිදි ආරම්භ කරන
ලද්දේ 1958 වර්ෂයෙහි ය.
අද දක්වාත් මෙම විහාරස්ථානය මඟින් ප්‍රදේශයට පමණක් නොව, ලංකාවට මෙන්ම සමස්ත ලෝකයට ම
සිදු වන්නාවූ ශාසනික සේවාව ජනාදරයට පත්වේ.
අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මාහිමිපාණන් වහන්සේගේ ධර්ම - ශාස්ත්‍රීය සේවාවෙහි එක් ඉතා
අගනා අංගයක් වූයේ උන්වහන්සේ විසින් රචනා කරන ලද ලොකු කුඩා ග්‍රන්ථ රාශියයි.
සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ, වසල, පරාභව වැනි විශේෂයෙන් ම බෞද්ධ සමාජ ධර්ම අවධාරණය
කෙරෙන්නා වූ සූත්‍ර ධර්ම පදනම් කොට ගනිමින් ‘දියුණුව’, ‘පරාභවමුඛ’ වැනි ග්‍රන්ථ
රාශියක් උන්වහන්සේ විසින් රචනා කරන ලදී. ලංකාවේ මෙහෙණ සස්නෙහි ඉතිහාසය ද,
භික්‍ෂුණී, විනය ද අළලා රචනා කරන ලද ‘මෙහෙණසස්න’ නම් කෘතිය ද, භික්‍ෂු විනය හා අදාළ
මූලික කෘතියක් වන ඛුද්දසික්ඛා නම් පාලි ග්‍රන්ථය සිංහල භාෂාවට පරිවර්තනය කොට
විස්තර, විවරණ හා විග්‍රහ ද සහිතව රචනා කරන ලද ‘කුදුසික’ නම් ග්‍රන්ථය ද,
ධම්මපදයෙහි සිංහල පරිවර්තනය ද අප නාහිමිපාණන්ගේ ධර්ම ශාස්ත්‍රීය සේවාවෙහි අගනා
සලකුණු ලෙස සඳහන් කළ යුතු ය.
උන්වහන්සේගේ ධර්ම - ශාස්ත්‍රීය සේවාවෙහි තවද අගනා අංගයක් වනුයේ රත්මලානේ,
මල්ලිකාරාම විහාරස්ථානයෙහි පිහිටුවන ලද ශ්‍රී ධර්මරක්‍ෂිත ධර්මායතනය නම් වන
පිරිවෙනයි. තම පැවිදි ශිෂ්‍ය පිරිසගේ මෙන්ම අවට විහාරස්ථානවල සාමණේර හිමිවරුන්ගේ ද
අධ්‍යාපනය හා ශික්‍ෂණය සඳහා ආරම්භ කරන ලද මෙම විද්‍යාස්ථානයෙන් මූලික අධ්‍යාපනය ලබා
උසස් අධ්‍යාපනය අවසන් කොට ශාසන සේවයෙහි යෙදෙන්නාවූ දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙසෙන
භික්‍ෂූන් වහන්සේලා සංඛ්‍යාව අතිවිශාල ය.
ස්ව නිකායික භික්‍ෂුන් වහන්සේගේත්, නිකායයේත් අභිවෘද්ධිය උදෙසා අප නාහිමිපාණන්
විසින් කරන ලද සේවාව අතිවිශිෂ්ටය. පැළෑනේ මහනාහිමිපාණන්ගේ අපවත්වීමෙන් පසු ශ්‍රී
ධර්මරක්‍ෂිත අමරපුර නිකායයෙහි මහානායක ධූරයට පත්වූ මඩිහේ පඤ්ඤාසීහ මහානායක
ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ සෙවනැල්ල මෙන් සිටිමින්, එම නිකායයෙහි ප්‍රධාන
ලේඛකාධිකාරී ධූරය දරමින් දශක හතරකට අධික කාලයක් නිකායෙහි උපසම්පදා ආදී විනය කර්ම ද
අනිකුත් ලෝක ශාසනික කටයුතු ද මෙහෙය වූ උන්වහන්සේ මඩිහේ මහ නාහිමිපාණන් වහන්සේගේ
අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහානායක ධූරයට ස්වනිකායික මහා සංඝ රත්නය විසින් එක්කර
ගන්නා ලදහ.
සමාජයෙහි පවත්නා පක්‍ෂ දේශපාලනය වැනි බෙදීම් විෂයෙහි මධ්‍යස්ථ ප්‍රතිපත්තියක්
අනුගමනය කළ උන්වහන්සේ කවරාකාර වූ හෝ බෙදීම්වලින් බැහැරව හුදෙක් තම පක්‍ෂපාතිත්වය
ධර්මයට හා සාසනයට පමණක් සීමා කළහ.
තමන් වහන්සේ විසින් ආරම්භ කරන ලද ලෝක - ශාසන සේවාව අඛණ්ඩ ව පවත්වා ගෙන යෑමේ
ශක්තියෙන් යුතු ශිෂ්‍ය පිරිසක් තැනූ උන්වහන්සේ එම ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේලාහට
ශාසනික වගකීම් පවරමින් සාසන සේවය සඳහා එම පිරිස පුහුණු කළහ.
රත්මලානේ, මල්ලිකාරාම මහා විහාරස්ථානයෙහි අධිපති අනුශාසක ධූරය දරන ත්‍රිපිටකවේදී
රාජකීය පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර හිමිපාණන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පිරිස තම විහාර
ගණයෙහි විහාරස්ථානවල ශාසනික කටයුතු මෙහෙයවමින් ලෝක - ශාසනයට සිදු කරන්නා වූ සේවාව
අප මහානායක මාහිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීමෙහි මහඟු ප්‍රතිඵල ලෙස දැක්විය හැකි ය.
භික්‍ෂුත්වය පිළිබඳව අප මහ නා හිමිපාණන්ගේ දර්ශනය වූයේ පැවිද්දා තම පැවිදි ශීලය
ආරක්‍ෂා කර ගනිමින් මහජනතාවට මඟ පෙන්වන ආදර්ශ රූපයක් විය යුතු බවයි. එම පරමාදර්ශය
තම ජීවිතය තුළින් තහවුරු කළ උන්වහන්සේ නූතන ශ්‍රී ලාංකික භික්‍ෂු වංශයෙහි දිදුලන
පහන් ටැඹක් වන බව මෙහි ලා ප්‍රණාම පූර්වක ව සඳහන් කළ මනාය.
උන්වහන්සේගේ අපවත්වීමෙන් වසර හතක් සම්පූර්ණ වන මේ අවස්ථාවෙහි රත්මලානේ මල්ලිකාරාමය
ඇතුලු විහාරස්ථානයන්හි ගරුතර මහා සංඝරත්නය ද, සැදැහැවත් දායක පිරිස් ද උන්වහන්සේගේ
ගුණ මෙනෙහි කරමින් විවිධ පුණ්‍ය ක්‍රියා රාශියක නිරත වෙති. අපවත්වී වදාළ වැලිගම
සිරි ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේහට උන්වහන්සේ පැතූ බෝධියකින් නිවන් සුව
අත්වේවා'යි ප්‍රාර්ථනා කරමි.
සම්මානිත මහාචාර්ය
අසංග තිලකරත්න |