ලංකාවේ බෞද්ධ ස්තූප 25:
ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින තිස්සමහාරාම වෙහෙර වහන්සේ
නික්ඛිත්ත
සම්පුණ්ණ සසංක බිම්බ- සංකාය භාසන්ත ලලාට ධාතුං
අකාරයී තිස්ස නරිස්සරොයං - ථූපං නමෙ තිස්ස මහා විහාරං
සම්පූර්ණ සඳ මඬලක් බඳු වූ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කොට කාවන්තිස්ස රජතුමා
විසින් කරවන ලද තිස්සමහාරාම ස්තූප වහන්සේට වන්දනා කරමි.
තිස්ස මහා වැවත්, නිල්ලෙන් පිරුණු කෙත්වතු මධ්‍යයේ දිදුලන තිස්ස මහා චෛත්‍ය
රාජයාණන් වහන්සේ සිතට එක් කරන්නේ පහන් හැඟීමකි.
දකුණු පළාතේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ තිස්සමහාරාම නගරයේ පිහිටි තිස්සමහාරාම
විහාරය පැරැණි රුහුණු රාජධානියේ ප්‍රධාන ම ථේරවාද බෞද්ධ මධ්‍යස්ථානය වූ බව සැලකේ.
අතීතයේ ඉතා ම සමෘද්ධිමත් ව පැවැති තිස්සමහාරාම විහාරයට ශාසනික කටයුතු සඳහා රුහුණු
පළාතේ සියලු ම භික්ෂූන් වහන්සේලා එක්රැස් වූ බව ද සඳහන් ව ඇත.
බුදුරජාණන් වහන්සේ තෙවන වර ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේ තිස්සමහාරාමය පිහිටි
භූමියේ සමවත් සුවයෙන් වැඩ සිටි බව සඳහන් වේ. ඒ උතුම් වූ, පූජාර්භ වූ භූමියේ
තිස්සමහාරාම ස්තූපය ඉදිකොට ඇත. මෙම ස්තූපය බුබ්බුලාකාර හැඩයෙන් නිමවා ඇත.
රුහුණේ පාලකයන් වූ මහානාග, යටාලතිස්ස, ගෝඨාභය යන රජවරුන් විසින් බුදුරජාණන්
වහන්සේගේ ලළාට ධාතූන් වහන්සේ තැන්පත් කර ධාතුඝරයක් එනම් “දා ගෙයක්“ කර වූ බවත්, එම
ධාතුඝරයට පුදසත්කාර කරන ලද බවත් සඳහන් වේ.
එම “ධාතුඝරය“ ඇතුළත් වන සේ කි‍්‍ර. පූ. 2 වැනි සියවසේ දී රුහුණේ මාගම්පුර පාලනය කළ
කාවන්තිස්ස රජතුමා තමන්ගේ නම යොදා එදා තිස්සමහාරාම ස්තූපය කර වූයේ යැයි සඳහන් වේ.
ධාතුඝරයේ රන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තුළ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කොට තිබූ
බව ද සඳහන් ව ඇත.
අටවන සියවසෙන් පමණ පසු කාලයේ දී අභාවයට ගිය මෙම තිස්සමහාරාම සිද්ධස්ථානය 17 සහ 18
සියවස්හි නැවත ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් වේ. මහනුවර යුගයේ දී ශී‍්‍ර වීර පරාක්‍රම
නරේන්ද්‍රසිංහ රජතුමා විසින් තිස්ස විහාරය සංරක්ෂණය කළ බව ද කියැවෙයි.
වළගම්බා රාජ්‍ය සමයේ තිස්සමහාරාම විහාරයේ දොළොස් දහසක් පමණ භික්ෂුන් වහන්සේලා වැඩ
සිටි බව පැරැණි ග්‍රන්ථයන් හි සඳහන් වේ.
“වේපතඉර සුමන“ නම් වූ කුඩා ස්වාමීන් වහන්සේ නමක් තිස්සමහාරාම ස්තූපය ප්‍රතිසංස්කරණය
කිරීම සඳහා වැඩම වූ බවක් ද සඳහන් වේ. ස්තූපය සමීපයේ ම විශාල කොහොඹ රුකක් තිබෙන අතර,
එම කොහොඹ රුකේ පැලක් තනවාගෙන උන්වහන්සේ එහි වෙසෙමින් ඉතා දුෂ්කරව ස්තූපය
ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරවූ බව ද පැවසේ.
එසේ ම මෙම කොහොඹ රුකේ ස්තූපය දෙසට වැඩී ඇති අතුවල කොහොඹ පත්‍රය තිත්ත රසයෙන් තොර බව
ද සඳහන් වේ. ජනප්‍රවාදයට අනුව නම් එසේ වී ඇත්තේ මෙම පූජනීය භූමියේ පවත්නා බලසම්පන්න
හාස්කමක් හේතුවෙනි. අදට ද එම ජනප්‍රවාදය එසේ ම සැලකේ.
-
දීපා පෙරේරා |