හදවතින් ලෝකය දකින්න බුද්ධියෙන් තීරණ ගන්න
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
මාලගම්මන ශ්‍රී ධර්මාලෝක පිරිවෙනේ කෘත්‍යාධිකාරි
ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත
අමුණුපුර පියරතන නාහිමි
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
න පුප්ඵ ගන්ධො පටිවාත මෙති - න චන්දනං තගර මල්ලිකාවා
සතංච ගන්ධෝ පටිවාත මෙති - සබ්බා දිසා සප්පුරිසො පවාති
සුපින්වතුනි,
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි
ආනන්ද හිමියන්ගේ පැන විසඳුමක් අරබයා මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.
සැවැත් නුවර දෙව්රම් වෙහෙර අනඳ මහ තෙරුන් වහන්සේ,
“සඳුන් ආදී හර සුවඳ ද, හිරිවේරිය ආදී මල් සුවඳ ද, සමන් ආදී මල් සුවඳ ද, අගය කොට
සලකති. එහි සුවඳ යටි සුළඟට හමන්නේ ය. උඩු සුළඟට හැමීමක් නැත. එහෙත් උඩු සුළඟටත්,
යටි සුළඟටත් හමන සුළඟක් තිබිය යුතුම යැ"යි සිතා අප බුදුරදුන්ගෙන් විමසූහ.
අප බුදුරජාණන් වහන්සේ, යටි සුළඟට හා උඩු සුළඟට පමණක් නොව දසදිසාවට ම හමන සුවඳක්
ඇතැයි මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.
යම් කෙනෙක් තිසරණ සරණ ගොස්, පස්පව් නොකොට, දස පින් ක්‍රියාවත් පුරන්නේ ද, මහණ දම්
පිළිවෙත් සපුරා, කරුණා මෛත්‍රීය වඩන්නේ ද ඔවුන්ගේ ගුණ මහණ බමුණෝ පවසති. දෙවියෝ ද
පවසති. එසේ හෙයින් ඒ ගුණ සුවඳ දස දිසාවට ම හමන්නේ ය.
අප බුදුරජාණන් වහන්සේගේ ගුණ නැණ සුවඳ අකනිටා බඹලොව දක්වා ද, අනන්ත අප්‍රමාණ සක්වල
දක්වා ද හමන්නේ ය.
පසේ බුදු, අගසව් ආදී මහෝත්තමයන්ගේ ගුණ සුවඳ ද සුදුසු පරිදි දස දිසාවේ ම හමන්නේ ය.
ආදි කාලීන සත්වයා මහ පොළොවේ පස්වල රසය ආහාර වශයෙන් ගෙන ජීවත් වූ ආකාරය ත්‍රිපිටක
ධර්මයේ සඳහන් වන්නේ ය. ක්‍රම ක්‍රමයෙන් එම රසය සපුරා ගස්වැල් මාර්ගයෙන් සත්වයාට ලබා
දෙන්නේ ය. මිනිසාගේ පවතින ආශාවත්, ක්‍රෝධයත් උත්සන්න වන විට මතුමත්තට ගස්වැල් වලින්
ලබාදෙන ස්වභාවික ගුණය හා රසය හීනවන්නේ ය.
වර්තමාන ලෝකයේ බොහෝ මිනිසුන්ගේ එකම අපේක්ෂාව කෙසේ හෝ භෞතික සම්පත් එක් රැස් කර
ගැනීම ය. ආත්මාර්ථකාමී ව ජීවත් ම ය. මේ නිසාම සොබාදහමින් මිනිසා දුරස්ථ කරයි.
සත්වයාට ආශ්වාස කරන්නට ඇත්තේ දූෂිත වාතයකි. මිනිසාගේ ගුණ නැණ පිරිහී නිර්මාණ කුසලතා
අමතකව ඇත.
සමස්ත මානව පරපුරම අප බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ සීල, සමාධි, ප්‍රඥා යන
ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහි මොහොතකට හෝ සිතා මතා පංච සීල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක
කරන්නට අදිටන් කර ගන්නේ නම්, මෙම වසංගත රෝග පීඩාව ක්‍රමයෙන් සමනය වන්නේ ය.
මිනිසා උපතින් කිසිම ආගමකට අයත් නොවේ. උපන් පරිසරය අනුව ආගමික වර්ගීකරණයකට අයත් වේ.
මෙම වර්ගීකරණය නිසා නිවසක පවුලේ පටන් ගම් නියම් ගම්, රාජධානි, දේශ දේශාන්තර ව ඇති
වූ අවුල්, කරදර මහා සංග්‍රාම අපමණ වාර්තා වේ.
මෙතරම් දියුණු ලෝකයක සිටින අප තව තවත් දුක් වේදනා නොවිඳ අප බුදුරජාණන් වහන්සේ
විසින් පෙන්වා වදාළ පංච සීලයේ පටන් සීල, සමාධි, ප්‍රඥා මාර්ගය හෙවත් ආර්ය මාර්ගය
පිළිපැදීමෙන් මෙලොව නිරෝගී සම්පත හා දිගාසිරි සම්පත ලබා ගැනීමට සෑම දෙනාම උනන්දු
විය යුතුව ඇත.
සම්බුද්ධ දේශනාවට අනුව ප්‍රාණඝාතාදී අකුසල් පහෙන් වෙන් ව, දිවි හිමියෙන් පන්සිල්
රකින්නා නිරෝගී සම්පත් ලබා මරණින් මතු සුගති ගාමී වන්නේ ය. සත්වයන් අතර මනුසතා
සුවිශේෂ වන්නේ හොඳ නරක දේ හැඟීමෙන් ඇරගෙන බුද්ධියෙන් නරක දේ, පුද්ගලික ජීවිතයෙන්
බැහැර කොට සමාජගත වීම නිසයි.
මානව පරපුර මිහිමත බිහි වූ දා පටන් මෙතෙක් හැඟීමට පමණක් තැනදී ක්‍රියා කළේ නම්
වර්තමාන ලෝකයේ මිනිස් පරපුර ම අහෝසි වන්නට ඉඩ තිබුණි. එහෙත් බුද්ධාදී උත්තමයන්
මනුලොව පහළ වී සතානුසාරී විඤ්ඤාණය හෙවත් සිහි කල්පනාවෙන් ලෝකයේ යථාර්ථය අවබෝධ කරගෙන
සත්ව සන්තතියේ පැවැත්ම හා සදාකාලික නැවැත්ම උදෙසා උතුම් මාර්ගය පෙන්වා වදාළ සේක.
අප බුදුරජාණන් වහන්සේ එම සත් මාර්ගය සොයා ගත්තේ තමන් වහන්සේ අනන්ත අප්‍රමාණ කාලයක්
දුක් කරදර විඳීමෙනි. එවන් උතුම් ධර්මයක් යළි ලෝකයට පහළ වන්නට වර්ෂ වශයෙන් කෝටි ගණන්
ගත වන්නේ ය.
එබැවින් එම ධර්මය සජීවී ව පවත්නා, එමෙන් ම සාධනීය ප්‍රතිඵල ප්‍රත්‍යක්ෂවන මෙම කාල
පරිච්ඡේදයේ හැකි ඉක්මනින් එයින් උපරිම ප්‍රතිඵල ගත යුතු වන්නේ ය. මැණික කොතැන
තිබුණත්, කාට තිබුණත් එහි වටිනාකම පවතින්නා සේ අප බුදුන්ගේ උතුම් ධර්මය විශ්ව ජන
ප්‍රශාදනීය වන්නේ ය. එයට ප්‍රධාන වන්නේ විවෘත මනස පමණි.
ලෝක ධර්මතාවයත්, බුද්ධ ධර්මයත් පරමාර්ථ වශයෙන් සත්‍යවේ. ආදී කල්‍යාණං මජ්ඣෙ
කල්‍යාණං, පරියෝසාන කල්‍යාණං සාත්ථං සබ්‍යංජනං ආදී ලෙස දැක්වූ ආකාරයට මුල, මැද, අග,
සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් සංයුක්ත, අර්ථ ව්‍යාංජන සහිත එම බුද්ධ
දේශනාව අල්ප මාත්‍ර වශයෙන් හෝ දැනගෙන තමන්ට හැකි පමණින් පිළිපදින්නේ නම් මෙවන්
වසංගත රෝග පීඩා දුක් වේදනා ඇති නොවන්නේ ය.
සීලයෙන් ඉන්ද්‍රිය සංවරය ද, සමාධියෙන් මානසික පාරිශුද්ධත්වය ද, ප්‍රඥාවෙන් චතුරාර්ය
සත්‍ය අවබෝධය ද ආර්ය මාර්ගය ද ප්‍රකාශ වන්නේ ය.
කිකීව අණ්ඩං චමරීව වාලධිං
පියංව පුත්තං නයනංව ඒකකං
තථෙව සීලං අනුරක්ඛමානො
සුපෙසලා හොථ සදා සගාරවා
කිරළා බිජුවට මෙන් ද, සෙමෙරා වලිගය මෙන් ද, මව්පියන් එකම පුතු මෙන් ද එකැස් ඇත්තා ඒ
ඇස මෙන් ද රකින්නා සේ සීලය රකින්නෝ බුද්ධා දී උතුමන්ට ගෞරව ඇතිව සැමදා
පි‍්‍රයශීලීවෙති.
දෛනික ජීවිතය තහවුරු වන ලෙඩරෝග, වසංගත සමනය වන විශ්ව ශක්තිය වන ආර්ය මාර්ගයේ පදනම
වන සීලය, ආරක්ෂා කළ යුතුම වන්නේ ය. |