සංවේදී සිතකට
අර්ථයත් රසයත් ගෙනදෙන
හොඳ කලා කෘති රස විඳින්න
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
සොම්නස් සහගත වින්දනය සෞන්දර්යයි. තරුණ සිත සුන්දර, පි‍්‍රය, විචිත්‍ර දෑ හඹායෑමේ
වුවමනාවෙන් යුක්ත ය. කලාව, ගීතය, කවිය, නැටුම වැනි අංගයන්ගෙන් ඇතිවන රසය තරුණ සිත
නිරන්තර ව පි‍්‍රය කරයි.
සෞන්දර්යයෙන් යුක්ත තරුණයා සමාජයට මහත් අස්වැසිල්ලකි. සෞන්දර්ය නිසා මිනිස් සිත
වෙඬරු පිඩක් මෙන් උණු වේ. ඒ සංවේදී බව විශේෂයෙන් තරුණ ප්‍රජාවට අවශ්‍ය ය. වර්තමානයේ
උද්ගතව ඇති බරපතළ ගැටලුව වන්නේ තරුණ පරම්පරාව එවැනි රසවිඳීමේ හැකියාවකින් යුක්ත
නොවීමයි.
කලාව තුළින් මිනිස් මනස ආනන්දයෙන් ප්‍රඥාවට යා යුතු ය. එසේ නොවන කලා නිර්මාණ සැබෑ
රසය උත්පාදනය කරන්නේ ද යන්න සැක සහිත ය.
අපේ බුදුරදුන් සෞන්දර්ය ගිහියා උදෙසා ප්‍රතික්ෂේප කොට නැත. එසේ වුවත් පහත් රසවින්දන
අනුමත කරන්නේ ද නැත. යම් පිරිසක් කලාව සෞන්දර්ය මත පිහිටා තම අනුගාමිකයන් අයහපතට
පත් කරන්නේ නම්, ඔවුන් අපාගත වන බව දේශනා කොට ඇත. තාලපුට සූත්‍රයේ දී එය අවධාරණය
කළහ. එහිදී දේශනා වන්නේ යම් නළුවෙක් හෝ නිළියක් තම නිර්මාණතුළ දී ප්‍රේක්ෂකයන්
රාගයෙන් හෝ, ද්වේෂයෙන්, මෝහයෙන් අගතියට පත් කරන්නේ ද ඔවුන් අපාගත වන බවයි. නළුකම හෝ
නිළිකම සමාජයේ යහපත වෙනුවෙන් භාවිත නොකොට අයහපතට මඟ පෙන්වන්නේ නම්, එය විවේචනයට ලක්
වේ.
සුන්දරත්වය යනු කාමය නොවේ.
ථෙර ථෙරණී ගාථා තුළ තරුණ යතිවරු සුන්දරත්වය වින්දනය කළ ආකාරය ඉතාම යෝග්‍ය සම්පන්න
ය.
මිනිස් මනස අඳුරෙන් අඳුරට පත්වන ලෙස රසය උත්පාදනය කිරීම සහ එහි ගිජුවීම ලද
මිනිස්කමට නිගරුවකි. රසය උත්පාදනය කරන අවස්ථා අතර ශෘංගාරය ප්‍රධාන ය. රතිය අනවශ්‍ය
ලෙස උද්ධීපනය කිරීම යෝග්‍ය නොවේ.
වර්තමාන ඇතැම් තරුණයන් ජීවිතය සැලසුම් කරනුයේ එවන් පහත් රසයෙන් යුත් නිර්මාණ
තුළිනි. ඇතැම් නාට්‍යයක විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ හැසිරීම නව යොවුන් වියේ දී
තරුණයකු ආදර්ශයට ගත හොත් ඔහුට විශ්වවිද්‍යාල නොව උසස් පෙළ හෝ ජයගත නොහැක. එතරම් ම
එය අතාත්වික ය. විශ්වවිද්‍යාල පද්ධතියේ එවන් ශිෂ්‍යයන් දක්නට ලැබෙන්නේ නැත.
මහ පොළවේ යථාර්ථයක් නොවන නිර්මාණ තම ජීවන ගමනට ආදර්ශයක් ලෙස ගතහොත් ඔහුගේ ජීවිතය
අගාධයට පත්වේ. ඇතැම් බොළඳ නවකතා තුළ චරිත හැසිරීම සාමාන්‍ය ජීවිතවල දක්නට නොලැබේ. ඒ
හැසිරීම සැබෑ ජීවිතයේ බලාපොරොත්තු වන තරුණයා ඉච්ඡඡාභංගත්වයට පත්වේ. කලාව, ගීතය,
කවිය තුළින් මිනිස් මනසේ ඇතිකළ යුත්තේ ධනාත්මක සිතිවිල ිය. එසේම ඉවසීම හා කැප
කිරීමය. එසේ නොවන නිර්මාණ තුළ සමාජයට ප්‍රගතියක් අත් නොවේ.
ප්‍රශ්නයට විසඳුම ගැටුම නොවේ
ප්‍රශ්නයට විසඳුම මරණය හෝ ගැටුම ලෙස අගය කරන නිර්මාණ ළමා වයසේ සිට දරුවන්ගෙන් ඈත්
කිරීමට වැඩිහිටියන් කටයුතු කිරීම වැදගත් ය.
ඇතැම් ගීත තුළින් ද තරුණයා ප්‍රචණ්ඩත්වයට ඇද දමා ඇත. එහෙයින් ඔවුන්ගේ ක්‍රියාකාරකම්
සාහසික ය. ශබ්ද රසයට පමණක් මුලිකත්වය ලබාදීමේ ප්‍රතිඵල මත සමාජයට වගකිවයුතු වන
ඇතැම් කලා නිර්මාණ තරුණ මනස වල්මත් කොට ඇති අයුරු හඳුනාගත හැකි ය. උසස් පෞරුෂයන්
සකසාගෙන ලද ජීවිතයට වටිනාකමක් ලබාදිය යුතු ය.
ජීවිතයට වටිනාකමක් දෙන්න
සමාජයේ නිවැරැදි දිශානතිය තීන්දු කරනුයේ කලාකරුවන් විසිනි. රුසියානු විප්ලවයේ මූලික
පසුබිම සැකසුයේ සාහිත්‍ය කරුවා ය. චාලි චැප්ලීන්ගේ විකට රංගනය තුළ සමාජයට මහත්
පණිවිඩයක් ලබාදෙයි. විකට රංගනය යනු අසභ්‍ය, දෙපිට කැපෙන වචන ප්‍රකාශ කිරීම නොවේ.
කුණු රසය ලබාදෙන එවැනි අවස්ථාවන්ට අපේ අනුකූලතාව නොදිය යුතු ය. එය පවකි.
අන්තර්ජාලයේ තිබෙන ඇතැම් නාලිකා සම්බන්ධයෙන් තරුණයා ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු ය.
එසේ නොවුණහොත් ඔබ මව්පියන් වූ කල ඔබට වඩා වේගයෙන් ඔබේ දරුවන්ගේ මනස විකෘති වේ. එය
රටක්, ජාතියක් ලෙස බරපතළ තත්ත්වයකි.
රසාස්වාදය වැනසීමට නොව සැනසීමටයි
නිවැරදි ශිෂ්ට සම්පන්න රසාස්වාදය දෙලොව වැනසීමම නොව, සැනසීම ලබාදෙයි.
කලාව, ගීතය, කවිය භාවනාවක් වැනි ය. ඇතැම් තැනකදී සංගීතය මිනිස් මනස සුවපත් කරන
තෙරපි ක්‍රමයක් ලෙස ද භාවිත වේ. සක්කපඤ්හ සූත්‍රයේ දී පංචශිඛගේ වීණා වාදනය සහ ගායනය
බුදුරජාණන් වහන්සේ අගය කළහ. ගී හඬ සහ සංගීතය ඝෝෂාවක් නොවීම ඊට හේතුවයි. ඝෝෂාව තුළ
ඇතිවන්නේ ශබ්ද දූෂණය පමණි. එහිදී තම පෙම්වතිය පිළිබඳ පංචශිඛ දරන්නේ මෙවන් අදහසකි.
රෝගියකුට බෙහෙතක් මෙන් ද
බඩසයින් පීඩිතයකුට අහරක් සෙයින් ද
ජලයට ගින්න මෙන්
සොඳුර මා හද ගිනි නිවන්න.
හැඟීම්, දැනීම්, වුවමනාවන් ශිෂ්ට සමාජයේ පැවැත්මට හානි නොවන ආකාරයට ප්‍රකාශ කිරීම
නිර්මාණයක කාර්ය විය යුතු ය. එවනි නිර්මාණ වැඩි වැඩියෙන් රස විඳීම තරුණ මනසට ඉතා
වැදගත් වේ.
සෝණ කුටිකණ්ණ නම් තරුණ හිමියෝ සුත්ත නිපාතයේ ඇති සූත්‍ර දහසක් ඉතා මිහිරි ව ගායනා
කළහ. එය ඇසූ බුදුරජාණන් වහන්සේ එය අගය කොට සැලකූහ. මෙයින් පැහැදිලි වන්නේ
සෞන්දර්යය, යහපත් රසවින්දනය අවශ්‍ය බව ය. සංස්කෘත සාහිත්‍යයේ දී පඬිවරුන් දක්වනු
ලබන්නේ, නැණවතුන්ගේ කාලය කවි රස විඳීමෙන්, සතුටින් ගෙවී යන අතර, මෝඩයන්ගේ කාලය
විපත්වලින්, නිදා ගැනීමෙන් හා කලහ කිරීමෙන් ගෙවී යන බවත් ය. අර්ථ සම්පන්න පෞරුෂයක්
ඇත්තේ නම් ඔහුට හෝ ඇයට හොඳ රසවින්දනයක් තිබිය යුතු ය. එසේ සංස්කෘත සාහිත්‍යයේ දී
තවදුරටත් දක්වන්නේ සාහිත්‍යයෙන්, සංගීතයෙන්, කලාවෙන් ඉවත්වන්නා තිරිසනුන් හා සමාන
වන බවයි. මෘගයන් සේ ඇතමුන් හැසිරෙන්නේ මේ ස්වභාවය නිසාවෙනි.
සියල්ලම අන්තර්ජාලයෙන් සම්පූර්ණ නොවන බව පමණක් තරුණ ප්‍රජාව තේරුම්ගත යුතු ය. ඇඳුම්
පැළඳුම් තුළින් පෙනෙන්නේ බාහිර අලංකාරයයි. අභ්‍යන්තරික අලංකාරය සඳහා දැනුම
සංවේදීභාවය ඉවසීම ශික්ෂණය අවශ්‍ය ය. හොඳ රසවින්දනයක් ඇති කෙනෙකුට අභ්‍යන්තරය ලස්සන
කර ගැනීම ඉතා පහසු ය. |