කවරයේ කතාව
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් පිටත් ව ජනපද චාරිකාවෙහි යෙදුණු දිනයෙක බොහෝ
උපාසක උපාසිකාවෝ සුවඳ මල් ආදිය ගෙන බුද්ධ වන්දනාව සඳහා දෙව්රම් වෙහෙරට
පැමිණියහ.එහෙත් භාග්‍යවතුන් වහන්සේ නො දැක ශෝකී ව ඒ පූජා භාණ්ඩවලින් පිදිය යුතු
තැනක් ද නැති තැන භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි විහාර සමීපයෙහි පූජා භාණ්ඩ තබා පිටත්
ව ගියහ.එය දුටු අනේපිඬු සිටු ආදී හු භාග්‍යවතුන් වහන්සේ පිටත වැඩි විට උන්වහන්සේ
සිහිකොට පුදනු සඳහා පූජ්‍ය වස්තුවක් ඉල්ලා ගන්නට සිතූහ.
ජනපද චාරිකාවෙහි යෙදුණු භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයට වැඩියහ. ඔවුහු රැස් ව
පූජ්‍ය වස්තුවක් ඉල්ලීම සඳහා අනඳ තෙරුන් මෙහෙය වූහ. භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන්
අමතා
‘ආනන්දය, ශාරීරික , උද්දේශික , පාරිභෝගික යැයි පුජා වස්තූහු තිදෙනෙකි.ඉන් ශාරීරික
ධාතු පූජාව බුද්ධ පරිනිර්වාණයෙන් පසු ව වන්නේ ය.උද්දේශික පුජාව නම් ධර්මයට, බුද්ධ
ප්‍රතිමාදියට වෙයි. පාරිභෝගික ධාතු පුජා නම් පරිභෝග කළ පාත්‍ර, චීවරාදීයට ද
බුද්ධත්වයේ දී පිට දුන් බෝධි වෘක්ෂයට ද කැරෙන සත්කාරය යි. එබැවින් ජය ශ්‍රී මහා
බෝධීයෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවනාරාමයෙහි රෝපිත කරවා සත්කාර කරතොත් ඒ මට කළ සත්කාරය
හා සම යැයි වදාළ සේක’.
ආනන්ද තෙරුන් මේ පුවත කොසොල් රජු ආදීනට දන්වා ඒ වේලාවෙහි ම ජේතවන දොරටුව සමීපයෙහි
ජයසිරි මහා බෝ රුකින් ඵලයක් ගෙනවුත් දෙන්නට මුගලන් තෙරුන් අයැදුහ.මුගලන් තෙරණුවෝ ජය
ශ්‍රී මහා බෝධි වෘක්ෂය සමීපයට වැඩ එහි නටුයෙන් ගැළවී එන ඵලයක් බිම වැටිය නොදී
සිවුරු පටින් පිළිගෙන ,එකෙනෙහි ම ගෙනැවිත් අනඳ තෙරුනට දුන්හ. අනඳ තෙරණුවෝ එය කොසොල්
රජුට බාර කළහ.රජු එය රුවන් කරඬුවකින් ගෙන හිස මත තබා ගෙන එය හිඳුවීමට අනේපිඬුසිටු
අතට දුන්නේ ය. මෙය අනඳ තෙරුන් ගේ නියෝගයෙන් සිටුවන ලද බැවින් ද, මහජනයාගේ සිතෙහි
ආනන්දය ඇති කෙරෙමින් වැඩුණු හෙයින් ද ආනන්ද බෝධි නම් විය.
එම සිදුවීම පාදකකොට ගනිමින් මෙවර බුදුසරණ කවරයේ සිතුවම නිර්මාණය වී ඇත.
වසන්ත |