අෂ්ට ඵලරුහ හා දෙතිස් ඵලරුහ
බෝධීන් වහන්සේ
"මහා බෝධි රෝපණය කළ අවස්ථාවේ දී එයින් හටගත් බෝධි අංකුර අටක් (අෂ්ට ඵල රුහ) ඊට පසු
තවත් අංකුර තිස් දෙකක්(දෙතිස් ඵල රුහ) ද ලංකාවේ උතුරු කෙළවරේ සිට දකුණු කෙළවර දක්වා
රෝපණය කිරීමෙන් ශීඝ්‍රයෙන් ශාසන ව්‍යාප්තිය සිදු විය."
මිහිඳු මහරහතන් වහන්සේ කි‍්‍ර.පූ.3 වන ශත වර්ෂයේ මැද භාගයේදී ශී‍්‍ර ලංකා ධරණීතලය
නම් වූ පුණ්‍ය භූමියට බුදු දහම හඳුන්වා දුන්හ.
එයින් සය මසකට පමණ පසු මෙහෙණි සසුනේ සමාරම්භයත්,ජය ශී‍්‍ර මහා බෝධිරාජයාණන් වහන්සේ
ගේ දක්ෂිණ ශාඛාවත් අනුරාධපුරයට වැඩම කිරීම සිදු විය. මහින්ද මහරහතන් වහන්සේ ශී‍්‍ර
ලංකාද්වීපයට වැඩම කොට දෙවන දින දේවානම්පියතිස්ස රාජමාලිගාවේ දී මහානාග නම් යුවරජුගේ
බිරිඳ වන අනුලා දේවිය ප්‍රධාන පන්සියයක් කාන්තාවන්ට විමානවත්ථු, පේතවත්ථු කතා
ඇතුළත්, ධර්ම දේශනා පැවැත් වූහ. ප්‍රථම මාර්ගඵල ලාභී සිංහල කාන්තාව අනුලා දේවිය
වශයෙන් සඳහන් වේ. අනුලා දේවිය ඇතුළු කාන්තාවෝ පන්සියයක් ඇතුලු පිරිස පැවිදිවීමට
කැමැති බව රජතුමාට දැන්වූහ.
ඒ අනුව දේවානම්පියතිස්ස රජු දූත මෙහෙවර සඳහා තම බෑනණුවන් වූ අරිට්ඨ අමාත්‍යවරයා
පිටත් කරවන ලදී. දඹකොළ පටුනෙන් නැව් නැඟී මහමුහුද තරණය කරමින් මිහිඳු මහරහතන්
වහන්සේගේ අධිෂ්ඨානයට අනුව එක් දිනකින් රමණීය වූ පැළලුප් නුවරට ළඟා වූ බව මූලාශ්‍ර
ග්‍රන්ථයන්හි සඳහන් වේ. ධර්මාශෝක රජතුමා මුණ ගැසුණු අරිට්ඨ ඇමතිවරයා ඇතුළු දූත
පිරිස, "නුඹ වහන්සේගේ සබඳ වූ දෙවන පෑතිස් රජ්ජුරුවන් වහන්සේගේ මලණුවන්ගේ බිසොව මහණ
වනු කැමැති වැ ගන්නා ලද ව්‍රත සමාදාන ඇති වැ වෙසෙයි. ඒ බිසවුන් මහණ කරවනු සඳහා ආර්ය
වූ සංඝමිත්‍රා නම් ස්ථවීරාවන් එවනු මැනව. උන් හා කැටිව මැ දක්ෂිණ බෝධි ශාඛාවද එවනු
මැනවයි" කීයේ යැ යි සිංහල බෝධි වංශය සඳහන් කරයි. ධර්මාශෝක රජතුමා මොග්ගලී
පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ජය ශී‍්‍ර මහා බෝධියෙහි දක්ෂිණ ශාඛාව
රත්තරන් භාජනයක රෝපණය කොට එකළොස් නමක් සහිත සඟමිත් තෙරණිය ද මහා බෝ රක්නා පිරිස
යෙදවූ බෝධාහර සොළොස් කුලයන් ද, සමඟ ශී‍්‍ර ලංකාද්වීයට එවන ලදී. ලක්දිවින් ගිය දූත
පිරිසේත්, දඹදිවින් ආ දූත පිරිසේත් ගමන් මාර්ගය පිළිබඳ ආනන්ද ගුරුගේ මහතා මෙසේ
පවසයි.
දෙවන පෑතිස් රජු යැවූ දුත පිරිස ගියේත් ආපසු ආවේත් නැවෙනි. දඹකොළ පටුන නම් වූ
යාපනයේ අර්ධද්වීපයෙහි උතරු වෙරලෙහි වූ පටුනෙහි සිට බෙංගාලෙහි වර්තමාන තම්ලුක් නම්
තාම්රුලිප්ති වරාය තෙක් වූ නැව් මඟ ය. ලක්දිවත්, ඊසාන දිග ඉන්දියාවත් අතර
වෙළහෙළඳාම සඳහා ගමන් ගත් නැව් මඟින් යන්නට ඇත. සඟමිත්තා මෙහෙණිය බෝධි ශාඛාව ගෙන
ආවේත් මෙම නැව් මගිනි.
බෝධි ශාඛාව රැගෙන මෙහෙණි පිරිස පාටලීපුත්‍ර නගරයේ සිට මුහුද තෙක් ආවේත් නැවකිනි. එම
ගමනට සුබපැතීමට ගොඩින් පැමිණි ධර්මාශෝක අධිරාජයාණන් හා එම පිරිසගේ හමුවීම වූයේ
තාම්රොලිප්ති පටුනෙහි ය. මුහුදු ගමන ඇරඹෙන්නේ එතැන් සිට ය. දින හතක මුහුදු ගමනකින්
පසුව දඹකොළ පටුනට දූත පිරිස් ගොඩබැස්හ. අති උත්කර්ෂවත් මහ පෙරහරකින් අනුරාධපුර
මහමෙව්නා උයනට බෝධි ශාඛාව වැඩමවා රජතුමා විසින් එහි රෝපණය කරන ලදී.තවද බෝධිය රැගෙන
ආ අවස්ථාවේ දී බෝධිගුප්ත කුමරුට රටෙහි පාලනය භාරදී රජතුමා දින තුනක් දොරටුපාලකයකු
ලෙස බෝධි ශාඛාව ආරක්ෂා කරගත් අතර, එතෙක් තිස්ස යන නමින් හැඳීන්වුණු එතුමා
දේවානම්පිය යන ගෞරව නාමය සහිතව දෙවන වරටත් ලක්රජ වශයෙන් අභිෂේක ලැබුහ. එතැන් පටන්
බෞද්ධ සංස්කෘතියේ ජීවමාන සංකේතය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වුහ. මහා බෝධි රෝපණය කළ
අවස්ථාවේ දී එයින් හටගත් බෝධි අංකුර අටක් (අෂ්ට ඵල රුහ) ඊට පසු තවත් අංකුර තිස්
දෙකක්(දෙතිස් ඵල රුහ) ද ලංකාවේ
උතුරු කෙළවරේ සිට දකුණු කෙළවර දක්වා රෝපණය කිරීමෙන් ශීඝ්‍රයෙන් ශාසන ව්‍යාප්තිය
සිදු විය.
එම බෝධි අංකුර රෝපණය කළ ස්ථාන මෙසේ සඳහන් කළ හැකි ය. එනම්,1. දඹකොළ පටුන, 2. තිවක්ක
බමුණු ගම,3. ථූපාරාමය, 4. ඉසුරුමුණිය, 5.පඨමක චේතිය, 6. සෑගිරිය, 7. කතරගම 8.
සඳුන්ගම යන මේවා අෂ්ට ඵලරුහ බෝධීන් වහන්සේය. 9. මල්වැස්සා වෙහෙර,10. තන්තිරිමලේ
,11. මාදල්ගමුව,12. කොට්ටියාරම,13. පොළොන්නරුව,14. රුසිගම,15.මාගම, 16. විල්වල, 17.
මහියංගණය 18. විල්මි වෙහෙර,19. මුතියංගණය,20. බුත්තල හප්පොරුව,21. සිතුල්පව්ව, 22 .
වනවාස වෙහෙර, 23. වැලිගම් වෙහෙර,24. පරගොඩ, 25. මැද්දේගම, 26. ගණේගම,
27.පුහුල්පිටිය, 28.වතුර, 29. බෙලිගල, 30. බෙල්ලන්විල, 31 වදුරව, 32 වට්ටාරම, 33.
රජමහා විහාරය, 34. සුළුගල්ල, 35. රැස්වේරුව. 36 . කටියාව, 37 ගිරිබා වෙහෙර, 38
.යාපහුව, 39 කසාගල්ල, 40. ඇඹිලව රහත්ගල් වෙහෙර යන මේවා දෙතිස් ඵල රුහ බෝධීන් නම්
වේ.
- හේමමාලා රන්දුනු |