තරුණ මනස නිවැරැදි කරවීමට
උපාය උපක්‍රම
බෙංගමුවේ
නාලක අනු නාහිමි
උපාය උපක්‍රම හොඳ පැත්තට මෙන්ම නරක පැත්තට ද යොදා ගත හැකි ය. බුදු හිමි තරම් උපාය
උපක්‍රම දැන සිටි කෙනෙක් හා ඒවා යහපත උදෙසා භාවිත කළ ශාස්තෘවරයෙක් ලොව නොමැති තරම්
ය.
විශේෂයෙන් තරුණ මනසට ඒවා හොඳින් උකහා ගත හැකි ය. “මහණෙනි, කෙලෙස්වලින් කිලිටි වූ
සිත උපක්‍රමයෙන් පිරිසුදු කරගත යුතු ය.” යන බුදු වදනින් උපක්‍රම ශක්තියේ බලය
කොතරම්දැයි පැහැදිලි කරගත හැකි ය.
සිත පිවිතුරු කර ගැනීම, එනම් කෙලෙස් වලින් සිත නිදහස් කර ගැනීම බුදු දහමෙහි
අපේක්ෂිත මූලික කාරණයකි. එසේ සිත පිවිතුරු කරගැනීම උපක්‍රමයෙන් කළ යුතු බව ඉහත බුදු
වදනින් අවධාරණය කරයි. නිවන් දැකීමට පවා සමහර විට උපක්‍රම ශක්තිය භාවිත කිරීමට සිදු
වෙයි. නන්ද හිමියන්ගේ කතාව ඊට කදිම නිදසුනකි.
ජනපද කල්‍යාණි නම් රූමත් තරුණිය සමඟ විවාහ ගිවිසගෙන සිටි නන්ද කුමරු බුදුහිමි පසුපස
ගමන් කරනු දැක ඉක්මනට එන්නැයි හඬ ගා කීවා ය. එම වචන සිතෙහි රැව් පිලිරැව් දුන්
නමුත් බුදුරදුන්ගේ බහට නැමී නන්ද කුමරුට පැවිදි වීමට සිදු විය. පැවිදි වුවත් ජනපද
කල්‍යාණිය ගැන සිත සිතා සිටිනු මිස මහණදම් නොපුරන බව දැන වදාළ බුදු හිමියෝ නන්ද
හිමියන්ගේ තරුණ මනස පැවිදි දිවියට අවංකව යොමු කර ගැනීමේ අරමුණින් උපක්‍රමයක් යෙදූහ.
දිනක් දෙව්ලොව වඩින ගමනට බුදු හිමියෝ නන්ද තෙරුන් ද සහභාගි කරගත්හ. ඒ යන ගමන් මඟෙහි
දැවී ගිය හේනක දැවී කරකුට්ටන් වූ වැඳිරියක් ද නන්ද තෙරුන්ට දැක ගැනීමට සැලැස්වූහ.
දෙව් ලොවට වැඩි බුදු හිමියෝ දෙවියන්ට බණ කියා ආපසු මනු ලොවට වැඩම කළහ. නන්ද තෙරුන්
ඇමතූ උන්වහන්සේ දිව්‍ය ලෝකයේ දිව්‍යාංගනාවන් ලස්සනදැයි නන්ද තෙරුන්ගෙන් ඇසූහ. ඔවුන්
කිව නොහැකි තරම් ලස්සන රූ සපුවක් ඇති අය යැයි නන්ද හිමියෝ පිළිතුරු දුන්හ. ජනපද
කල්‍යාණිය ගැන කුමක් කියන්නේදැයි ඇසු විට “ස්වාමීනි ඒ දිව්‍යාංගනාවන් ගැන සිතන විට
ජනපද කල්‍යාණිය අර දැවී ගිය හේනේ සිටි දැවී ගිය වැඳිරිය හා සමාන ය” යනුවෙන් පැවසූහ.
එම දිව්‍යාංගනාවන් ලබා ගැනීමට කැමතිදැයි ඇසුවිට නන්ද තෙරණුවෝ අතිශයින් ම කැමති බව
පැවසූහ.
ඔවුන් ලබා ගැනීමට නම් නිසි ලෙස මහණ දම් පිරිය යුතු බව බුදු හිමියෝ වදාළහ. එදා සිට
නන්ද තෙරුන් ජනපද කල්‍යාණිය පිළිබඳ ව පැවති සිතිවිලි බැහැර කොට නිසි ලෙස මහණදම්
පිරීමේ ප්‍රතිඵලය වූයේ රහත් බවට පැමිණීමයි.
මෙම කතාවෙන් පෙන්වා දෙන්නේ උපක්‍රමශිලී ව තරුණ මනස නිවැරදි පැත්තට යොමු කළ හොත්
උසස් ම ප්‍රතිඵල ලබාගත හැකි බවයි.
කිසා ගෝතමියට ලැබුණු කුලුඳුල් දරුවා මිය ගිය බව නොදත් ඇය දරුවාගේ මළ කඳ කර තබාගෙන
වෙදුන් ළඟට ගොස් තම දරුවා සුවපත් කර දෙන ලෙස ඉල්ලා සිටියා ය. දරුවා මිය ගොස් ඇති බව
වෛද්‍යවරුන් කීවත් කිසා ගෝතමිය එය පිළිගත්තේ නැත. අවසානයේ එක් බුද්ධිමත් තැනැත්තෙක්
ඇය බුදු හිමියන් වෙත යොමු කළේ ය. බුදු හිමි වෙත ගිය ඇය තම දරුවා සුවපත් කර දෙන ලෙස
උන්වහන්සේගෙන් ඉල්ලා සිටියා ය. උන්වහන්සේ දරුවා මිය ගොස් ඇති බව නොකියා ප්‍රතිකාර
කිරීමට නම් කිසිවෙක් නොමළ ගෙදරකින් අබ මිටක් රැගෙන එන ලෙස පැවසූහ. කිසා ගෝතමිය නගරය
පුරා ගෙයක් ගානේ ඇවිද ගිය ද කිසිවෙක් නොමළ ගෙයක් සොයා ගත නොහැකි විය. අවසානයේ තම
දරුවා ද මිය ගොස් ඇති බව වටහාගත් කිසාගෝතමිය මළකුණ සොහොන් පිටියට දමා බුදුරජාණන්
වහන්සේ වෙත ගොස් බණ අසා සෝවාන් වී පැවිදි බවට පත්ව රහත් වූවා ය.
දෙව්දත් තෙරුන් බුදුරදුන් සමඟ වෛර බැඳ උන්වහන්සේ විනාශ කිරීමට විවිධ උපක්‍රම යෙදුවේ
ය.
දෙව්දත් තෙර එලෙස සැලසුම් කළ උපක්‍රමයක් මෙසේ ය. තෝරාගත් මිනිසකු පුහුණු කරවා ඔහුට
තියුණුූ ආයුධයක් දී බුදුරදුන් වෙත ගොස් එම ආයුධයෙන් පහර දීමට උපදෙස් දුන්නේ ය.
බුදුරදුන් විනාශ කර ආපසු එන විට ඔහු මැරීමට තවත් දෙදෙනකු මඟ රැඳවී ය. ඒ දෙදෙනා ආපසු
එන විට ඔවුන් මැරීමට මිනිසුන් හතර දෙනකු යෙදවී ය. ඒ හතර දෙනා ආපසු එන විට ඔවුන්
මැරීමට අට දෙනෙක් මඟ රැඳවී ය. එම අට දෙනා මැරීමට දහසය දෙනෙක් යොදවා තිබුණි. කාර්යය
සාර්ථක ව ඉටු කර ගැනීමට හා වරදකරු කවුරුන්දැයි සොයා ගැනීමට ද නොහැකි වන ලෙස මෙම
උපක්‍රමය යොදා තිබුණි.
බුදුරදුන් විනාශ කිරීමට යොමු කළ තැනැත්තා තමන්ට දුන් තියුණුූ ආයුධය ඉනෙහි සඟවා ගෙන
බුදුරදුන් දහම් දෙසන තැනට ගොස් අරමුණ ඉටු කර ගැනීමට අවස්ථාව එන තුරු බණ අසන්නකු
මෙන් වාඩි වී සිටියේ ය. බුදුරදුන්ගේ දේහ විලාසය හා දේශනා විලාසය දෙස ඇස් කන් යොමු
කර ගෙන සිටි ඔහුට තමන් ආ කාර්යය ද මතකයෙන් ඈත් වී ගියේ ය. ඒ පිළිබඳව සිහියට ආ විට
බියෙන් තැති ගෙන බලා සිටියේ ය.
බුදුරදුන්ට ඔහු ගැන සැක සිතී තැති ගැනීමට කාරණා කුමක්දැයි ඇසූහ. ඔහු කාරණය හෙළිදරව්
කර බුදුරදුන්ට වැඳ ආපසු යාමට සැරසෙද්දී බුදුන් වහන්සේ ඔහුට තමන් ආ මඟ නොගොස් වෙනත්
මඟකින් ආපසු යන ලෙස උපදෙස් දුන්හ. මෙසේ උපදෙස් දී එම පුරුෂයා මැරීමට මඟ බලා සිටි
දෙදෙනා සිටි දෙසට මඳක් දුර ගොස් ගසක් මුල වැඩ සිටියහ. බුදුරජාණන් වහන්සේට විපතක් කර
ආපසු එන තැනැත්තා මැරීමට බලා සිටි දෙදෙනා ඔහුගේ පමාවීම ගැන සොයා බැලීමට ඉදිරියට
එද්දි බුදු හිමියන් වැඩ සිටිනු දැක උන්වහන්සේ සමඟ සාකච්ඡා කිරීමෙන් පසු තමන් ආ
කාරණය ද අතහැර දමා ආපසු යාමට සූදානම් වූ විට බුදුහිමියෝ ඔවුන් ද වෙනත් මඟකින් ආපසු
යැවූහ.
එම දෙදෙනා මැරීමට බලා සිටි හතර දෙනා ද, ඔවුන් මැරීමට බලා සිටි අට දෙනා ද එලෙසින්ම
බුදු හිමියෝ ආපසු වෙනත් මාර්ග වලින් ආපසු හරවා යැවූහ. දෙව්දත් ගේ දුෂ්ට උපක්‍රමයට
වඩා බුදුරදුන්ගේ උපක්‍රමය කොතරම් සාර්ථක දැයි මෙම කතා පුවතින් පැහැදිලි වෙයි.
කිසියම් නරක අරමුණක් සිතෙහි තදින් කා වැදී තිබුණත් ඊට වඩා උත්කෘෂ්ට අරමුණක් සිතට
ඇතුල් කිරීමෙන් දුෂ්ට අරමුණින් සිත මුදා ගත හැකි බව මෙම උපක්‍රමයෙන් බුදුන් වහන්සේ
පෙන්වා දුන්හ.
කෙලෙස්වලින් කිලිටි වු සිත දමනය කළ යුතු වෙයි. |