| 
				 
  
බෝධීන් වහන්සේ 
				
				 
ගුණය නමැති සුවඳින් ලොව සුවඳ කළා  
සම්බුදු සුවඳ මගෙ ලක්බිම එකලු කළා  
බුදුහිමි උතුම් ගුණ සත සිත පහන් කළා  
සුවඳ දුමින් අප බෝ හිමි සුවඳ කළා  
				 
සිලි සිලි හඬ ඇසෙන විට බෝපත් යටදී  
මට සිසිලසක් ගෙන දෙයි මේ බෝ මැඬදී  
සිතේ සතුට ඉතිරී පැතිරී යද්දී  
නිවන් අවබෝධ වේවා මට බෝ මැඬදී  
				 
මැණික්හින්නේ සුමේධ හිමි  
පිලිමතලාව 
				 
****
				
අපේ නායක හාමුදුරුවෝ 
				
				 
මාහරගම අලංකාර කළ සමිඳු  
පංච මහා විහාර බැබළිණි සමිඳු  
නැණ මහ ගුණ බෙලෙන් සපිරුණු සමිඳු  
මාහරගම පියරතන නායක හිමි නමිඳු  
දෙහෙරගොඩ සුමංගල හිමි  
ශ්රී පඤ්ඤානන්ද පිරිවෙන, මාහරගම  
ගිරිඋල්ල  
				 
****
				
				 
				 
මිනිස්කම
				
				 
				 
මිනිසත් බව ලබාගෙන මිනිසකු විලසින් 
කටයුතු කළ යුතු ව ඇත හොඳ මිනිස් වෙසින් 
ගත මිනිසකුගෙ වුව සිත රකුසකු විලසින් 
නැත සුගතියක් දුගතියටම යයි විගසින් 
ඉඹුල්පේ ඥානසාර හිමි 
බලංගොඩ 
				 
****
				
				 
				 
				 
				 
මෙවර ජයග්‍රාහී කවිය 
				 
ගැඹුරට පාර
				
				 
				 
සිරි මහ බෝධි සිරි දළදා රැකවරණ  
පා පියුමන් පහස ලැබ පුද ලද දෙරණ  
දියතෙම අබිමුවෙහි සුදු බුදු දම පිරුණ  
වියත් සභාවකි නැණ දෙන ‘බුදුසරණ’  
				 
ඉන්ද්‍රඛීලයකි කළ හැකි උපහාර  
කරවති පඬිරුවන පුහුදුන් සිත්සාර  
‘හබල’ කදිමවේ ඔරුවෙහි සංසාර  
නොගැඹුරු දියඹ තුළ ම ය ගැඹුරට පාර  
				 
බලංගොඩ කුසුම් 
				 
****
				
				 
දම්පල් සැමරුම 
				
				 
පරගැති සිතැති අය ගැන හොඳ හැටි දන්නා  
රටකට ඇල්ම නැති අය රට තුළ ඉන්නා  
සංකර සිරිත් ගැති සිත පසු පස පන්නා  
ජාතිය ආගමේ හැටි කියලා දුන්නා  
				 
ආගම දහමට ම නිරතුරු මනස යොමා  
තමනගෙ සියලු වැඩකටයුතු පසෙක දමා  
ජාතිය බේරගන්නට එක්වව් සැවො මා  
දම්පල්තුමා සමරමු අප සිරස නමා  
				 
තෙන්කල්ලාගොඩ ශ්රී විමලඥාන දහම් පාසලේ  
ආචාර්ය ජී.පියදාස  
				 
****
				
සැනසුම
				
  
				 
දිවි කතරක නැවතී 
සුවය වින්දත් සැරසී  
යථාර්ථය නොදුටු කල 
පසුතැවෙයි දවසක 
කළ පව් ගැන සිහි වී 
එවන් දිනක් උදා නොවන්නට  
සදා සැනසුම  
බුදු හිමි ළඟ මම දුටුමි 
				 
කේ.වී දිනූෂා බිගුසරී 
				 
****
				
				 
පාඩමක්
				
				 
කොවිඩ් වෛරසය විත් සැම බිය වද්දා 
මව්පියො දරු දැරියො එකටම කාලය ගෙවලා 
ගහකොළ ඵල, මලින් බරව පරිසරයම හැඩ කරලා 
අටලෝ දහම මේ ලෙස රඟ දක්වාලා 
				 
ඒ.ඒ. සචිනි හංසිකා  
කඩුවෙල 
				 
				 
සංස්කරණය 
ජම්මික ප්රබෝධනී වැලිකල  |