වප් අව අටවක 2020.11.08
ධර්මයෙහි රැකවරණය ම ලබමු
මේ අප ගෙවා දමමින් සිටින්නේ ඉතා අසීරු වූ ද, බියජනක වූ ද කාල පරිච්ඡේදයකි. රටක්,
ජාතියක් ලෙස නොව සමස්ත ලෝකය ම අද ඒ අර්බුදයට, පීඩාකාරී බවට මුහුණ දෙමින් සිටී.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ‘ආරොග්‍ය පරමාලාභා’ නිරෝගී බව උතුම් ලාභයයි යන්න
අන් කවරදාටත් වඩා මුළු ලෝකයාට ම දැනෙමින් තිබේ.
එදා විශාලා මහනුවර තුන් බිය හට ගත්තාක් මෙන් ම ලෝ වාසීහු රෝග බියෙන්, මරණ බියෙන්
තැතිගෙන සිටිති. පීඩා විඳිමින් සිටිති. රෝග කාරක වෛරසය තවදුරටත් ව්‍යාප්ත වූයේ නම්,
මිනිසුන් වෛරසයෙන් ආරක්ෂිත නොවූයේ නම්, ප්‍රතිකාරයක් සොයා නොගත්තේ නම් රෝගීහු මෙන්
ම, මිය යන්නෝ ද මෙතෙකැයි ප්‍රමාණ කරන්නට ද අසීරු වනු ඇත.
තවදුරටත් මිය යන පිරිස් වර්ධනය වූයේ නම්, තැන තැන මළ සිරුරු ගොඩ ගැසුණේ නම් ලෝකය
අමනුෂ්‍ය බියෙන් ද ඇලළී නොයැතැයි කාට නම් කිව හැකි ද?
මේ නිසා රැකවරණය, සෙත, ශාන්තිය අත්‍යවශ්‍ය ම කාලයක් උදා වී තිබේ.
‘ධම්මො හවේ රක්ඛති ධම්ම චාරී’ ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ම ආරක්ෂා කරන බව
දහමෙහි සඳහන් ය. රෝග පීඩා දී උපද්‍රවවලින් වැළකී සිටින්නට බෞද්ධයකුට ලැබෙන රැකවරණය
අප්‍රමාණ ය. එහෙත් නාමික ව බෞද්ධයකු වූ පමණින්, වාචික ව තෙරුවන් සරණ ගිය පමණින්
ත්‍රිවිධ රත්නයෙහි රැකවරණය ලැබේ යැයි සිතනවා නම් එය මුළාවකි.
සැබෑ බෞද්ධයා නම් අවබෝධයෙන් ම, නොබිඳෙන ශ්‍රද්ධාවෙන් ම තෙරුවන් සරණ ගිය පුද්ගලයා ය.
එසේ තෙරුවන් සරණ ගිය පුද්ගලයා සත් පුරුෂයෙක් ම ය. අසත් පුරුෂයෙක් නොවන්නේ ය. හේ
ප්‍රාණඝාතය කරන්නේ නැත. සොරකමෙන්, කාමය වරදවා හැසිරීමෙන්, බොරුවෙන්, මදයට හා
ප්‍රමාදයට හේතු වූ රහමෙර පානයෙන් වළකින්නේ ය.
පවට ලජ්ජා වන්නේ ය. බිය වන්නේ ය. බොහෝ බණ දහම් අසන්නේ ය. අනලස් ය. මුළා වූ සිහි ඇති
නොවන්නේ ය.
සත්පුරුෂයා තමන් ප්‍රාණඝාතයෙන් වැළකී අන්‍යයන් ද එයින් වළකාලන්නේ ය. එසේ පස් පවින්
ම වැළකී අන්‍යයන් ද පස් පවින් ගලවා ගන්නේ ය.
එමෙන් ම සත්පුරුෂයා කෙරෙහි දැඩි ලෝභය නැත. ද්වේෂය ද, මෝහය ද නැත. හේ ලෝභය, ද්වේෂය
හා මෝහය සඳහා අන්‍යයන් පොළඹවන්නේ ද නැත.
දිනක් අනඳ තෙරණුවෝ, තථාගතයන් වහන්සේ වෙත පැමිණ යටි සුළඟෙහි හමා යන, එහෙත් උඩු
සුළඟෙහි හමා නොයන සුවඳ වර්ග තුනක් ඇති බව සැල කළහ. ඒ, මුල් සුවඳ, අරටු හර සුවඳ හා
මල් සුවඳය. එසේ සැල කළ උන් වහන්සේ යටි සුළඟේත් හමා යන, උඩු සුළඟේත් හමා යන සුවඳ
වර්ගයක් වේ දැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසූහ.
එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ එවැනි සුවඳ වර්ගයක් ඇති බව ය. ඒ සුවඳවත් අය
නම් මිනිසුන් ය. එහෙත් සෑම මිනිසෙක් ම ඊට අයත් නැත. සුවඳවත් මිනිසුන් තුළ
සුවිශේෂත්වයක් ඇත. ඔවුහු තෙරුවන් සරණ ගියාහු වෙති. පස් පවින් වැළකුණාහු වෙති.
කල්‍යාණ ධර්ම ඇත්තෝ වෙති. මසුරු මළ පහ කළ අය වෙති. පරිත්‍යාගශීලී වෙති. දීමෙහි
ඇලුණෝ වෙති. එවැනි මිනිසුන් ගැන වැඩිහිටියෝ ගුණ කියති. දෙවියෝ ද ගුණ කියති.
මල් සුවඳ උඩු සුළඟෙහි හමා නොයයි. අතිශය සුගන්ධවත් සඳුන්, තුවරලා, සමන් සුවඳ හෝ උඩු
සුළඟට හමා නොයයි. එහෙත් සත් පුරුෂයන්ගේ ගුණ සුවඳ උඩු සුළඟට ද හමයි. හැම දිශාවක ම
පැතිර යයි.
එවන් සත්පුරුෂයන් අනුගමනය කරන ධර්මය තුළ අනේකවිධ රෝග පීඩාදියෙන්, උපද්‍රවයන්ගෙන්
වැළකී සිටින්නට අවශ්‍ය රැකවරණය, සෙත නිතැතින් ම සැලසෙයි. මේ දැඩි පීඩාකාරී,
අවිනිශ්චිත මොහොතේ අප තෝරා ගත යුතු ඒ ධර්ම මාර්ගය ම නොවන්නේ ද? |