තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 22 කොටස:
ජේ. ආර්. - රජීව් සාම ගිවිසුමෙන්
දකුණේ ජනතාව යළි නාගදීපයට
ත්‍රස්තවාදී ප්‍රහාර මැද දකුණට පැමිණ උපසම්පදා ලැබූ පදුමකිත්ති හිමියෝ යළිත්
නාගදීපයට පැමිණියහ. මේ අතර ත්‍රස්තවාදීන් විසින් නැඟෙනහිර පදිංචි සිංහල ජනතාව ඝාතනය
කිරීම දිගින් දිගටම සිදු කරන ලදී.
මේ ඝාතන රැල්ල හරහා යළිත් කළු ජූලියක් මතුවිය හැකි බවත්, ජනවාර්ගික ප්‍රශ්නයට
කඩිනම් විසඳුමක් ලබා දිය යුතු බවත් එවකට විපක්ෂයේ කටයුතු කරමින් සිටි ශ්‍රී ලංකා
නිදහස් පක්ෂය රජයට දැඩිව බලපෑම් කරන්නට විය.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ද මේ ප්‍රශ්නයට කඩිනම් විසඳුමක්
අවශ්‍ය බව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට දැනුම් දෙන ලදී. තමිල්නාඩු මහ ඇමැති
එම්.ජී. රාමචන්ද්‍රන් මහතා විසින් උතුරේ සන්නද්ධ කල්ලිවලට විශේෂ සහායක් ලබා දෙන
ලදී. ඊට හේතු වූයේ තමිල්නාඩු මහ ඇමැති රාමචන්ද්‍රන් මහනුවර උපත ලැබූ අයකු වීමත්
තමිල්නාඩුව බහුතර දෙමළ ජනතාවක් වාසය කරන ප්‍රාන්තයක් වීමත් ය.
එමෙන්ම උතුරේ දෙමළ ජනතාව ඒ වන විට තමිල්නාඩුවට ආරක්ෂාව පතා පැමිණීම ද ඔහුට ගැටලුවක්
වී තිබුණි.
ඒ අනුව රජීව් ගාන්ධි අගමැතිවරයා විසින් මෙරට ජනවාර්ගික ගැටලුවට විසඳුමක් වශයෙන්
පළාත් 9ට වෙන ම පළාත් සභා 9ක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය එකඟ කර ගන්නා ලදී. ඊට
අදාළ ගිවිසුමක් ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර ඇති කර ගන්නට එකඟ විය. ඒ අනුව
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට ඉන්දීය රජය ඍජුව ම මැදිහත් විය.
පළාත් සභාවන්ට බලය පැවරීම උතුරු නැඟෙනහිර ක්‍රියාත්මක ත්‍රස්ත ක්‍රියාවන්
නැවැත්වීමට ඉන්දීය රජය ලබා දුන් විසඳුමයි. එම සාම ගිවිසුම අනුව එල්ටීටීඊ ඇතුළු
ත්‍රස්ත කල්ලි සතු සියලු අවි ආයුධ ශ්‍රී ලංකා රජයට බාර දීම ද මේ ගිවිසුමේ කොන්දේසි
අතර විය. ශ්‍රී ලංකා හමුදාව කඳවුරු තුළට සීමා කිරීමත් මෙහි තවත් කොන්දේසියක් විය.
ඒ අනුව 1987 වසරේ ජූලි 29 වැනිදා ජේ.ආර් - රජීව් සාම ගිවිසුමක් අත්සන් කරන ලදී.
ගිවිසුම අස්සන් කිරීමට දින කිහිපයකට පෙර සිටම ජේ.ආර්. ජයවර්ධනගේ රජයට දැඩි විරෝධතා
ඇති විය. රජයට අයත් ගොඩනැඟිලි පවා ගිනි තැබීමට මේ පිරිස් කටයුතු කරන ලදී.
ආණ්ඩු පක්ෂයේ පවා ඇතැමුන් විරෝධය පෑවේ ය. එවකට අගමැතිව සිටි ආර්. ප්‍රේමදාසයන් ද
විරෝධය පෑවේය. ජනතා විමුක්ති පෙරමුණ ද දැඩි විරෝධයක් එල්ල කළ අතර ආණ්ඩුවේ
ගොඩනැඟිලි, බස් රථ ගිනි තැබීම ගැන ඔවුන්ට චෝදනා එල්ල විය.
ජේ.ආර්. - රජීව් සාම ගිවිසුම අත්සන් කරන ලද්දේ ඇඳීරි නීතිය මැදය.
ඒ සාම ගිවිසුම නිසා උතුරු නැඟෙනහිර ජනතාවට විසඳුමක් වශයෙන් පළාත් සභා ඇරැඹුණි.
සාම ගිවිසුමට අනුව උතුරු නැඟෙනහිර වෙඩි හඬ නැවතුණි. දකුණේ ජනතාව බියෙන් තොරව දිවි
ගෙවූව ද උතුරේ සිදුවූයේ හාත්පසින් ම වෙනස් දෙයකි. ශ්‍රී ලංකා හමුදාව කුමන මොහොතක හෝ
තමන්ට ප්‍රහාරයක් එල්ල කරන්නේදැයි සිතමින් බියෙන් යුතුව සැඟවී ත්‍රස්තවාදී කටයුතු
කළ ත්‍රස්තවාදීන් එළිපිටම තම කටයුතු කරන්නට විය.
විශේෂයෙන් ම නාවික හා යුද හමුදාව ස්ථානගත ව සිටි දූපත් ඇතුළු ස්ථානවලටත්
ත්‍රස්තවාදීන් පැමිණෙන්නට විය. ඉන්දියානු රජයෙන් බස් රථ පවා උතුරු හා නැඟෙනහිර
පළාත්වලට ලබා දෙන ලදී. යුද හමුදා මුරපොළ සේ ම ත්‍රස්තවාදීන්ගේ මුරකපොළු ද විවෘත
විය. විශේෂයෙන් ම ඕමන්තේ හමුදා මුරපොළෙන් පසු ත්‍රස්තවාදී මුරකපොළු ස්ථාපිත කළ අතර,
මුහමාලේ ද විශේෂ මුරකපොළු ස්ථාපිත කෙරිණි. අතරමඟ ද මුරකපොළු ස්ථාපිත වූ අතර ඕමන්තේ
හා මුහමාලේ ප්‍රධාන මුර කපොළු දෙකෙන් ඇතුළු වන සියලු ම වාහනවලට මෙන් ම ගෙන යන
භාණ්ඩවලට බදු අය කරන ලදී.
ත්‍රස්තවාදීන් විසින් ප්‍රවාහනය සඳහා බස් රථ ද යොදවන ලදී. දකුණේ සිංහල ජනතාවද ඒ
අනුව උතුරට ගමන් කිරීම යළි අරඹන ලදී. යාල්දේවි දුම්රියද මාස කිහිපයකට පසුව යළිත්
ධාවනය ආරම්භ කරන ලදී. ඒ - 9 ප්‍රධාන මාර්ගයේ අධික වේගයෙන් ගමන් කළ නොහැකි ය. වේගය
මනින උපකරණ නැතත් වේගය අධික යැයි අනුමාන කළහොත් අනිවාර්යයෙන් ම දඩ නියම කෙරේ. එය
ස්ථානීය දඩයකි.
ඕමන්ත ත්‍රස්තවාදී මුරපොළින් ඇතුළු වන විශේෂ චාරිකා පිණිස යන බස් රථයක් රුපියල්
1800ක් ගෙවිය යුතු විය. එය අද කාලයේ හැටියට රුපියල් 7000ක පමණ වටිනාකමකි. මඟී
ප්‍රවාහන සාමාන්‍ය බස් රථ ද, බස් රථය ගමනාරම්භ කළ ස්ථානය අනුව මුදල් ගෙවිය යුතු
විය.
එමෙන්ම මේ මුරපොළ දෙකේදී ම ඔවුන් විවිධ ප්‍රශ්න අසන්නට විය. විශේෂයෙන්ම උතුරෙන්
එද්දී මේ ගැටලුවට මුහුණ පාන්නට වන්නේ ය. උතුරට යද්දී ගෙනයන්නට හැකි භාණ්ඩ මෙන්ම
ඒවායේ සීමාවන් ද විය. ඒ සියල්ලටම බදු අය කරන ලදී. එසේ අය කළ මුදල් තැන්පත් කර
ඔවුන්ගේ ගිණුම් තර කර ගැනීම පිණිස ඊළාම් බැංකුවක් ද පිහිටුවන ලදී. ඒවායේ පොළිය
වැඩිය. එම නිසා සාමාන්‍ය දෙමළ ජනතාව ද එම බැංකුවල මුදල් තැන්පත් කරන ලදී.
පදුමකිත්ති හිමියන්ද මෙකල දකුණට පැමිණියේ මේ මුර කපොළු හරහා ය. එසේ පැමිණෙද්දී
ත්‍රස්තවාදී මුර කපොළුවලදී සියලු විස්තර සැපයිය යුතු විය.
පදුමකිත්ති හිමියන් ද තම විස්තර ඔවුන්ට ලබා දිය යුතු විය. ස්වාමීන් වහන්සේ නමක් වුව
ද කිසිදු ගරුත්වයක් තිබුණේ නැත. ඒ සියල්ල දෙමළ බසින් ඔවුහු ලියා ගනිති. කුඩා කොළ
කැබැල්ලක් රිසිට් පතක් සේ ලබා දෙන්නේ ගෙන යන භාණ්ඩ පවා එහි සඳහන් කරමිනි.
මුරකපොළුවලදී විමසන මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම පදුමකිත්ති හිමියන්ට මහත්
කරදරයක් විය. උන් වහන්සේ පසුව තමන්ට කටට එන පිළිතුරු ලබා දෙන්නට විය.
තාත්තාගේ නම විමසූ අවස්ථාවේ දී වීර පුරන් අප්පු යැයි කීහ. මවගේ නම රජරට රැජිණි යැයි
පැවසූහ. ‘කොළඹ යන්නේ ඇයි?‘ පැනයට, ‘ලොකු තාත්තගේ මඟුල් ගෙදරට‘ වැනි පිළිතුරු ලබා
දුණි. කිසිත් අවබෝධයක් නැති ත්‍රස්තයෝ ඒ සියල්ල ලියා ගනිති. ඒවා ලියන අයුරු දැක
පදුමකිත්ති හිමියෝ සිනාසෙති. තමන්ගේ කුමක් හෝ බිම වැටුණාදැයි ත්‍රස්තවාදීන් බිමට
නැමී බැලූ අවස්ථාවන් ද පදුමකිත්ති හිමියන්ට මතක ය.
ත්‍රස්තවාදීන්ගේ ප්‍රවාහන සේවාවල ස්වාමීන් වහන්සේට කිසිදු ගරුත්වයක් නැත. එහෙත්
පදුමකිත්ති හිමියන් දන්නා බස් රථ රියැදුරන් මෙන්ම උතුරේ වැසියන් විසින් උන් වහන්සේට
පළමුව බස් රථවලට ගොඩවීමටත්, ඉදිරි අසුන ලබා දීමටත් පියවර ගන්නා ලදී.
තාරක වික්‍රමසේකර |