මඟ හැර නොගත යුතු මඟ
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාම මිගාරමාතු ප්‍රාසාදයෙහි වැඩ සිටින සමයෙකි.
දිනක් විශාඛා මහෝපාසිකාව එහි පැමිණියා ය. ඒ පොහොය දිනයකි. භාග්‍යවතුන් වහන්සේ වෙත
ගිය විශාඛාව උන්වහන්සේට වැඳ එකත් පසෙක සිටියා ය.
“විශාඛාවනි, මේ දවල් කාලයෙහි ඔබ කොහේ සිට පැමිණියා ද?“
බුදුරජාණන් වහන්සේ විශාඛාවගෙන් විමසූහ.
“ස්වාමීනි, මම අද පෙහෙවස් සමාදන් ව සිටිමි. “
ඇය පිළිතුරු දුන්නා ය.
එවිට බුදුරජාණන් වහන්සේ පෙහෙවස් තුනක් ඇති බව විශාඛාවට පෙන්වා දුන්හ. එනම්,
ගෝපාලකුපෝසථය, නිගණ්ඨුපෝසථය හා අරියුපෝසථය යනුවෙනි.
ගෝපාලකුපෝසථය නම් ගොපලු පෙහෙවස ය. ගොපල්ලා නම්, ගවයන් බලා ගන්නා පුද්ගලයා ය. උදේ
පටන් ගවයන්ට තණ කවන ගොපල්ලා සවස් කාලයෙහි ගව හිමියාට ගවයන් බාර දෙයි. ඉන්පසුව මෙසේ
කල්පනා කරයි. “අද ගවයෝ අසුවල් අසුවල් තැන්වල තණ කෑහ. අසුවල් අසුවල් තැන්වලින් ජලය
පානය කළහ.හෙට දිනයේ ඔවුහු අසුවල් අසුවල් තැනින් ආහාර සොයා ගනිති. අසුවල් අසුවල්
තැනින් දිය බොති“
යනුවෙනි.
ඇතැම් පෙහෙවස් සමාදන් වන්නන් ද මෙසේ ය.යම් පුද්ගලයෙක් පෙහෙවස් සමාදන් ව සිටියදී
මෙසේ සිතයි.
“අද මම මේ, මේ ආහාර රස වින්ඳෙමි. හෙට දිනයේ මේ මේ ආහාර ගන්නෙමි.“
යනුවෙනි. එසේ සිතමින් හේ දැඩි ලෝභ සිතින් දවස ගෙවයි.ගොපලු උපෝසථය නම් මෙයයි.
මෙවැනි ගෝපාලකුපෝසථය මහත්ඵල නොවෙයි. මහානිසංස ද නොවෙයි. මහත් බැබළීම් ඇත්තේ ද
නොවෙයි.
(අංගුත්තර නිකායේ තික නිපාතයේ විශාඛුපෝසථ සූත්‍රය ඇසුරිනි:)
බුදු රජාණන් වහන්සේ විශාඛාවට දේශනා කොට වදාළ මේ දහම් පණිවුඩය තුළ අපේ ජීවිතයට
අපූර්ව මඟ පෙන්වීමක් කරයි.
උපෝසථ සීලයෙන් ජීවිතයට බොහෝ පින්, කුසල් රැස් කර ගන්නට පුළුවන. එය මෙලොව ජීවිතයට සේ
ම මරණින් මතු ජීවිතයට ද මහානිසංස ගෙන දෙන්නේ ය.පෙහෙවස කුඩා කල සිටම පුරුදු පුහුණු
කළ යුතු වුවකි.
එහෙත් බොහෝ දෙනෙක් සිතන්නේ පෙහෙවස් සමාදන් විය යුතු ජීවිතයේ සැඳෑ සමයේ වන බව ය. කයට
සේ ම සිතට ද වාරු නැති සැඳෑ කල ඉන්ද්‍රිය සංවරය ගැන මනා අවබෝධයක් ඇති කර ගැනීම නම්
අසීරු ය. එහෙත් ජීවිතයේ බාල කාලය, තරුණ විය, වැඩිහිටි විය යන මේ සියලු අවස්ථා මඟ
හැරුණා නම්, මහලු වියේ හෝ එය සම්පූර්ණ කර ගන්නට උත්සාහ කිරීම සසර ගමනට ආයෝජනයකි.
කෙසේ වුව ද, පෙහෙවස් සමාදානය අර්ථවත් වන්නේ එහි අර්ථය දැන සමාදන් වීමෙන් ය. වඩාත්
වැදගත් වන්නේ තමන් තමන්ට අවංක වීම ය. අප පෙහෙවස් සමාදන් විය යුතු අනුන්ට සිල්වත්කම
පෙන්වීමට නොවේ.
ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කර ගැනීම පිණිස ය. ඒ තුළින් නිවන් මඟ පහසු කරනු පිණිස
ය.
ඇතැම් කෙනෙක් ඇඳුමෙන්, ගමනින්, කතාවෙන් සංවර ය. දකින්නන්ට ද ප්‍රිය ය. එහෙත්
සිතිවිලි අප්‍රසන්න ය. ලෝභ, ද්වේෂ, මෝහාදී කෙලෙස් වලින් පිරුණු සිතින් ජීවිතයට රැස්
කර ගන්නා පව්, අකුසල බොහෝ ය.
අප අපටම අවංක වනවා නම්, අනුන්ට පෙනෙන්නට නොව තමන්ගේ ආධ්‍යාත්මික සුබ සිද්ධියටම
කටයුතු කරනවා නම් ඒ තුළ ඇති කර ගන්නා දියුණුව ගැන තමන්ටම සතුටු විය හැකි ය.
ඒ අනුව ජීවිතයේ ආශාවන් සන්තර්පණය කිරීමේ චේතනාවෙන් මිදී, ලෝභී සිතිවිලි ප්‍රහීණ කොට
සිත පිරිසිදු කර ගැනීමට පෙහෙවස් සමාදන් වන කාලය තුළ වීර්ය වැඩීමට, තමන්ට තමන් ගැන
හොඳ අවබෝධයක් ලබා ගන්නට බුදුරජාණන් වහන්සේ විශාඛාවන්ට දේශනා කොට වදාළ ගෝපාලකුපෝසථය
හෙවත් ගොපලු උපෝසථය ලබා දෙන අපූර්ව පණිවුඩය මං මුළා වූ සිත් ඇත්තන්ට නිවැරුදි සිහි
කල්පනාවන් ඇති කර ගැන්මට පෙන්වන මඟ පෙන්වීම මඟ හැර නොගත යුතු ම ය.
- රමණී සුබසිංහ |