[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අටවිසි බෝධි පුරාණය 12 : ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගෞරවනීයත්වයට පාත්‍ර වූ අයුරු

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගෞරවනීයත්වයට පාත්‍ර වූ අයුරු

සඟමිත් තෙරණිය මහ බෝ දකුණත් ශාඛාවත් සමඟ අටළොස් (18) කුලයක පිරිස ද, ඒ අනුව බෝධීන් වහන්සේ සමඟ පැමිණි රාජකුමාරයන් අට දෙනාට පවරන ලද තනතුරු හා කාර්යභාරයන් ද, ඒ ඒ කුලයන්ට පැවරූ රාජකාරි ද බෝධි වංසයෙහි මෙසේ සඳහන් වේ.

බෝධිගුප්ත කුමාරයාට ශ්‍රී මහා බෝධි පෙරහර කටයුතු බාර ලේකම් තනතුර පිරිනමා ඇත. එය හඳුන්වා ඇත්තේ ජය මහා ලේනාවෝ නමිනි. සුමිත්ත කුමරුට බාර වූයේ බෝධිගුප්ත කුමරාට සහාය වෙමින් ක්‍රියාකිරීම යි. චන්ද්‍රගුප්ත කුමාරයාට මහා බෝ සමිඳුන්ට රන් බෙර වැයීම ද,ගුවගුජන කුමාරයාට බෝධීන් වහන්සේට ඉසින පිරිත් පැන් පිරවූ රන් කෙණ්ඩිය මඟුලැතු පිට තබා නුවර ප්‍රදක්ෂිණා කොට ගෙන ඒමත්,සක් පිඹීම ධර්මගුප්ත කුමාරයාටත් පැවරිණ. බෝධීන් වහන්සේට පැන් කෙණ්ඩියෙන් පැන් ඉසීම බාර වූයේ සූරියගුප්ත කුමාරයාටයි. ධවලඡත්‍රය දැමීම ගෝතම කුමරුටත්, ආරක්ෂක කටයුතු බාර ප්‍රධාන තනතුර පුනිබර කුමරුටත් පවරන ලදී. මීට අමතරව දුමින්දාගමනය සමඟ පැමිණි සෙසු කුලයන්ගේ තනතුරු මේ අයුරින් සඳහන් ව ඇත.

කඩුපසඟනා තනතුර -රාත්‍රියෙහි කඩුපතක් අතින් ගෙන මහ බෝධීන් වහන්සේ රැකීමේ තනතුර.

බමුණු නා තනතුර

පිරිවර බමුණන් සමඟ පැමිණ බෝධීන් වහන්සේට ශාන්ති කිරීමේ තනතුර

උතුරු පස්නා තනතුර

රන්ධජ, රිදී ධජ ආදී කොඩි එසවීමේ තනතුර

මහ වෙළඳ නා තනතුර

අබමාලා හා සුවඳ දුම්මාලා සැපයීමේ තනතුර

මහ බෝ රැකිනා තනතුර

තමා පිරිවර දුනුවායන් ගෙනැ - දුනුහීතල දරා මහ බෝධියට කපුටු ආදීන් බැස්සා නොදීමට වග බලා ගන්නා තනතුර.

සරස් නා තනතුර

මහා බෝධියට සේසත් වැඩීම

කලිඟුනා තනතුර

මහා බෝධියට අලුත් මල් සැපයීම.

කපු නා තනතුර

ලද පස් මල්( සමන්, කැකුළු, අබ, ඊතණ, සුන්සාල්, විළඳ)සැපයීම.

දොර නා තනතුර

මහා බෝධියෙහි දොරටුව ආරක්ෂා කිරීම.

පෙහෙරකරු නා තනතුර

මහා බෝධියට පෙරහන් කඩ හා හුරෑන්( නූල් ලනු විය හැකියි) සැපයීම.

කුඹල්කරු නා තනතුර

මහා බෝධියට බත් ප්‍රධාන පා බඳුන් විල් මාලාකරවා දීම.

මල්කරු නා තනතුර

මහා බෝධි පළඳවන මල් දම් මල් වඩම් ගොතා දීම .

ගඳකරු නා තනතුර

මහා බෝධියට පුදන සිවු දෑ ගඳ (කොකුම්,යොන්පුප්, තුවරාලා,තුරුක් තෙල්)සැපයීම.

මහසිනා තනතුර

මහා බෝධියට අවශ්‍ය ධජ පතාක, තිර මසා ගෙත්තම් කොට සැපයීම

මුළු රකිනා තනතුර

මුළුතැන් වැට සකස් කොට පුදාබත් පිසවා දීම.

කුඹුරු නා තනතුර

මහා බෝධියේ පිළිල බේදුරු ආදිය ඉවත් කිරීමට අවශ්‍ය කරන කතුර කියත් සකස් කර දීම.

ලොකරු නා තනතුර

මහා බෝ මඟුලෙහිම අවශ්‍ය රන්රිදී කැටපත් කරවා දීම.

අටතෙලි නා තනතුර

මහා බෝධියට අවශ්‍ය රන්වැට,රන් වළන්, රිදී වළන්, ආදිය සැපයීම.

ලක්දිව මහා අදුරු නා තනතුර

ලංකා මහා ආචාර්ය නායක ප්‍රධාන වඩුවා විසින් මහා බෝ මඟුලෙහි හා මහ බෝ පුදෙහි රුවන් මඩළු සැපයීම.

මුදුන්කරු නා තනතුර,මහා පෙලවිනා තනතුර , සැත්කරු නා තනතුර , උයන්ගොවි වැදෑරුම් නා තනතුර

මහා බෝධියට පූජා කිරීම සඳහා අවශ්‍ය මල් රුක් රෝපණය කිරීම යන තනතුරු ඒ ඒ කුලවල ප්‍රධානීන්ට දී ඔවුන්ගේ මූලිකත්වයෙන් පිරිස් යොදා ගනිමින් අවශ්‍ය කරන කටයුතු නොවළහා සම්පාදනය කළ යුතුයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කිරීමෙන් පසු එම ස්ථානයේ විවිධ ගොඩනැඟිලි ඉදිකරවන ලද්දේ ආරක්ෂාව ගෞරවනීයත්වය හා අලංකාරය

සඳහා ය. මේ පිළිබඳ විවිධ තොරතුරු ආදි මූලාශ්‍රය ග්‍රන්ථයන්හි සඳහන් වේ. එම තොරතුරු හකුළුවා, සිරිමල් ලක්දුසිංහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ බෞද්ධ සංස්කෘතික ලේඛන -1998 කලාපයේ මේ ආකාරයෙන් සඳහන් කර ඇත. “ ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කිරීමෙන් පසු එම ස්ථානයේ විවිධ ගොඩනැඟිලි ඉදිකිරීම සමබන්ධ තොරතුරු වංස කතාවල සඳහන් වේ. බෝධීන් වහන්සේ රෝපණය කර තිබූ මලුව චතුරශ්‍රාකාර ය.

එය වටා ප්‍රාකාරයක් ද බැඳ තිබූ අතර සතර දිශාවෙන් ම එයට දොරටු හතරක් විය. පළමුව සලපතල මළුවත්, දෙවනුව වැලි මළුවක් ද පිහිටා තිබිණ.

පසු කාලයේ දී දකුණු දොරටුවෙහි ශෛලමය සිංහාසනයක් හා සිව් කොනේ ධර්මචක්‍රය යෙදූ කුළුණු ද සවිකර තිබුණ බව සඳහන් වේ. මහානාග රජතුමා (ක්‍රි.ව. 569-571)විසින් මළුව වටා දිය අගලක් තනන ලදී. දෙවැනි සේන රජතුමා (ක්‍රි. ව. 851-885)එය පිළිසකර කොට උත්සවයක් පැවැත්වීය.

දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර බෝධීන් වහන්සේ වටා ඉදිකෙරුණු ප්‍රාකාරය අබලන් වී අලි , ඇතුන් ආදී සතුන් විසින් හානි පමුණුවා ඇති බව දුටු කීර්තී ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි. ව. 1747-1781) එම ප්‍රාකාරය තහවුරු කිරීමට කටයුතු කළේ ය.

ඉහත කී පරිදි ප්‍රකාර, දිය අගල් ආදී අංග අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සම්බන්ධයෙන් පමණක් නොව, සෙසු බෝධීන් වහන්සේලා සඳහා ද ඉදි කෙරිණි. බෝධින් වහන්සේ මුල් කරගෙන බිහිවුණ ඉතාමත් වැදගත් ගෘහ නිර්මාණාත්මක අංගය බෝධිඝර ( බෝ ගෙය) යන ගොඩනැගිලි විශේෂයයි. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ බෝධිඝරයක් ගැන ද මහා වංසයෙහි සඳහන් වෙයි. හතරවන සියවසෙහි ජෙට්ඨතිස්ස රජු බෝධිඝරයට තොරණ තුනක් ද ඉදිකරවී ය. පනස් අට වන සියවසෙහි දී ධාතුසේන රජු බෝධිඝරය නැවත සැදූ ලෙස දැක්වේ. දෙවෙනි සේන රජු විසින් එම බෝධිඝරය ප්‍රතිසංස්කරණය කරන ලදී. එහෙත් අනුරාධපුර ශ්‍රී මහා

බෝධීන්වහන්සේට සම්බන්ධ එම බෝධිඝරය වර්තමානයෙහි දක්නට නැත.”

  අධි වප් අමාවක 

    ඔක්තෝබර් 16 සිකුරාදා පූර්වභාග 04.52 න් අමාවක ලබා 17 සෙනසුරාදා පූර්වභාග 01.00 න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk