[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආදිච්චුපට්ඨාන ජාතක කතාව: අනුන් රවටන්නෝ විනාශයට යන්නෝ

ආදිච්චුපට්ඨාන ජාතක කතාව:

අනුන් රවටන්නෝ විනාශයට යන්නෝ

යහපත් අය අසල කවුරුත් යහපත් වෙනවා. අද මේ වඳුරාත් තාපසවරුන් මෙන්ම දැමුණා වූ ඉඳුරන්ගෙන් යුක්ත ව ශාන්තව සිටිනවා.

සර්වඥයන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සමයේ වංචා සහගත ව දිවි ගෙවූ එක්කතරා භික්‍ෂූන් වහන්සේ නමක් මුල් කරගෙන මෙම ජාතක කතාව වදාළ සේක.

ඒ කෙසේද යත් ? මෙ සමයෙහි එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් කිසිත් සීලාදී ගුණ ධර්මයක් පූරණය නොකොට වංචා සහගත ව අන් සිලාදී ගුණ ධර්ම පුරණ භික්‍ෂූණ් වහන්සේලා සමඟින් හැසිරෙමින් කටයුතු කළා. මේ කාරණය දැනගත් තථාගතයන් වහන්සේ දම් සභා මණ්ඩපයේ දී භික්‍ෂූන් වහන්සේලා අමතා මෙසේ වදාළා. “ මහණෙනි, මේ දැන් පමණක් නොවෙයි පෙර අතීතයේදීත් මේ වගේ වංචා සහගත ව හැසිරුණ, වංචා ප්‍රයෝග දන්නා අය සිටියා” යි වදාළා. එවිට දම් සභා මණ්ඩපයේ රැස්ව සිටි භික්‍ෂූන් වහන්සේලා එම අතීත කතාව දේශනා කිරීමට බුදු රජාණන් වහන්සේට ආරාධනා කළා. එම ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ අතීත කතාව මෙසේ ගෙනහැර දක්වා වදාළා.

ඈත අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් වාසය කළා. ඔය කාලයේ සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වෙලා හිමාලයේ බවුන් වඩන තාපසයන් තමයි ආගමික නායකයන් හැටියට සිටියේ. ඉතින් අපේ බෝසතාණන් වහන්සේත් එ සමයෙහි මනුස්ස ලොව ඉපදුණා. ඒ කසී ගම බ්‍රාහ්මණ කුලයක.

එහෙත් බෝසතාණන් වහන්සේ වයසින් වැඩෙත් ම පංච කාමයෙහි ඇලුම් නොකර, ගිහි ගෙය අතහැර ගොස් සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් මහණ වෙලා හිමාලයේ බොහෝ තාපසවරුන්ට නායක ව වාසය කළා. එ සමයෙහිත් වස් සාර මාසයේ සෘෂි වූ තාපසයන්ට ගම්මානවල මිනිසුන් ආරාම සකසා වස් වසවාගෙන ලුණු අඹුල් ආදිය ඇතිව ආහාර පාන සකසා දෙමින් ඇප උපස්ථාන කළා.

බෝසත් තපසතුමාත් එළඹුණූ වස් සාරමාසය ගත කිරීම සඳහා අනෙක් තාපසයන් සමඟින් හිමාල වනයෙන් පිටත්ව බරණැසට පැමිණුනා.

බරණැස එක්තරා ගමක සත්පුරුස උපාසකවරුන් පන්සලක් සාදා වස් සාරමාසය එහි ගත කරන ලෙස ඉල්ලා එම තාපසවරුන්ට ආරාධනා කළා. බෝසතාණන් වහන්සේ ඇතුළු අනෙක් තාපසවරුන් සියලු දෙනාත් එම පන්සල ඇසුරු කරමින් සුව සේ කාලය ගත කළා.

ඔය අතරේ එක්තරා වඳුරෙක් තාපසවරුන් පන්සලෙන් එළියට යනතෙක් බලා සිට පන්සලට කඩා පැනලා කෑම බීම ආදිය කා බී එහාට මෙහාට පනිමින් පැන් කළ, වළං ආදියත් බිඳ දමමින් ගිනිහල් ගේ පවා අවුස්සමින් වර්චස් කරමින් සිට තාපසවරුන් එන විට පැන දිව්වා. තාපසවරුනුත් කරුණාව උපදවා මේ සිද්ධියට සැමදා මුහුණ දුන්නා මිස උපාසක දායකයන්ට කිසිවක් නොකියා සිටියා. කොහොම නමුත් වස් සාරමාසය ම මේ අපහසුතාවය තාපසවරු අත් වින්ඳා.

වස් කාලය අවසන් වී තාපසවරු නැවතත් හිමාලයට යාමට සූදානම් වුණා. ගම් වැසි දායක පින්වතුන් ගෙන් වූ බෝසත් තාපසතුමා “ ගම් වැසි සත්පුරුෂයිනි , ඔබලාගේ උපකාර ඇතිව මෙම වස් කාලය අප ගත කළා. අප දැන් හිමාලයට යා යුතුයි” කියලා කීවා. ගම් වැසියොත් බොහෝම ගෞරවයෙන් එම තාපසවරුන්ගේ බස් අසා “ තාපසවරුනි, තව එක් දිනක් රැඳෙනු මැනවි. සෙට දවස අපගෙන් දෙන දන් වළඳා ම පිටත් වන්න” යැයි කිව්වා. තාපසවරුන් ‘ යහපතැයි’ කියා එම ආරාධනාව පිළි ගත්තා.

පසුවදා උදෑසන ම උපාසකවරු බොහෝ රසමසුවුලු ඇතිව කෑම බීම සකසාගෙන තාපසවරු සිටිය පන්සලට පැමිණියා. ඒ වෙලාවේ වඳුරාත් පැමිණ මෙහෙමෙ සිතුවා“

අද මිනිසුන් ඉතා රසවත් ආහාරපාන වලින් තාපසවරුන්ට සංග්‍රහ කරනවා. මමත් ශාන්ත ව, ඉඳුරන් දමනයෙන් ඉඳලා මේ ගෙනා මධුර ආහාරපාන කෑ යුතුයි.” කියලා. මෙහෙම හිතලා තාපසවරුන්ට දානය පිළිගන්වන අවස්ථාවේ ආරමය අසල ශාන්ත ඉරියවුවකින් සිට ඉර දිහා බලාගෙන සිටියා. දන් බෙදන උපාසකවරුන් මෙම වඳුරාගේ දැමුණු ඉරියව් දැකලා රැවටුණා.

“ යහපත් අය අසල කවුරුත් යහපත් වෙනවා. අද මේ වඳුරාත් තාපසවරුන් මෙන්ම දැමුණා වූ ඉඳුරන්ගෙන් යුක්ත ව ශාන්තව සිටිනවා. ” කිය කියා වඳුරාගේ ගුණ කියමින් ඔහුට ස්තූති කළා.

එවිට තාපසයෝ කියන්නේ

“ උපසකවරුනි, කෙනෙකුගේ ඉරියව් දුටු සැණින් ඔවුන් දැමුණු ඉඳුරන් ඇති ශාන්ත අය ලෙස නිගමනය නොකරන්න. මන්ද සමහර උදවිය වංචනික අදහසින් තමාගේ වාසිය පතා ද ශාන්ත ව හැසිරෙනවා.

ඔවුන්ගේ ඉඳුරන් දමනය යැයි පෙන්වූවාට සිත් දමනය වී නැහැ. අවස්ථාව ආ සැණින් අප රවටා තම අපේක්‍ෂාවන් ඉටු කර ගන්නවා. මේ වඳුරා මෙතෙක් දවස් අපට කරදර කළා. අපගේ ආහාරපාන විනාශ කළා. පැන් කළ ආදිය බිඳ දමමින් බොහෝ අකටයුතුකම් කළා. හැම තැනම වර්චස් කරමින් අපවිත්‍ර කළා. එබැවින් මේ වඳුරාගේ යහපත් ගුණයක් නැහැ. ඇත්තේ වංචා සහගත සිත පමණයි. ඔබ ගෙනා ආහාරයක් ලැබෙනතුරු ශාන්තව සිටියි. ඉතින් මොහුට කුමකට නම් ස්තූති කරත් ද? නොවැරටෙන්න. ” කියා අවවාද කළා.

ඒ බව ඇසු උපාසකවරු කැට මුගුරු ගෙන වඳුරා පසු පස ලුහු බැඳ එලවා දැමුවා. තාපසවරුන් නැවතත් හිමාලයට ගොස් සුව සේ තපස් රැක මරණින් මතු බඹ ලොව උපන්නා. යයි බුදුරජාණන් වහන්සේ මෙම ආදිච්චුපට්ඨාන ජාතක කතාව නිමවා වදාළා.

බුදුරජාණන් වහන්සේ පුර්වාපර සන්ධි ගළපමින් “ එසමයෙහි වඳුරා නම් මෙකල වංචනික ව දිවි ගෙවන භික්‍ෂුවයි. තාපසවරු නම් මෙකල බුදු පිරිසයි. තාපස ගණයාට නායක ව උපන්නේ ලොව්තුරා බුදු වූ මම් ම නොවේ දැ”යි තමන් වහන්සේ දක්වා වදාළා.

  අධි වප් අමාවක 

    ඔක්තෝබර් 16 සිකුරාදා පූර්වභාග 04.52 න් අමාවක ලබා 17 සෙනසුරාදා පූර්වභාග 01.00 න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]