දැඹව ටැම්පිට පුරාණ රාජ මහා විහාරය
සමාධි සුවයෙන් වැඩ සිටිනා පිළිම වහන්සේ ගේ දසුන,දුටු දුටු දනන්ගේ නෙත් සිත් නිවා
සනසලයි. රත් හඳුන් දැවයෙන් නිර්මාණය කොට ඇති වන්දනීය, පූජනීය මේ පිළිම වහන්සේ
තථාගතයාණෝ මහා කරුණා සමාපත්තියට සමවැදී ඇති යැයි සිතේ.කලා සම්ප්‍රධායේ ගුප්ත
බලපෑමත් කලාකරුවාගේ ප්‍රතිභාවත් එය යැයි විටෙක සිතෙයි.
පිළිම වහන්සේට ඉහළින්
මැටි බදාමයෙන් නිර්මිත වූ මනරම් මකර තොරණ කලාකරුවාගේ කුසලතාවයන් ට කදිම සාක්ෂියක් ම
වන්නේ ය.
ආගමික ශ්‍රද්ධාවෙන් පෝෂිත හෙළ පරම්පාරාවේ ඇත්තන්ගේ නිමැවුම් මෙලෙස ඇත්තේ මාතලේ
දිසාවේ ය.කොළඹ සිට ගලේවෙලට පැමිණ මාතලේ පාරේ කිලෝමීටර් පහක් ගිය තැන හමුවන මැදබැද්ද
මහා විදුහල සමීපයෙන් දකුණට හැරී කිලෝමීටර් තුනක් ගිය පසු දැඹව පුරාණ විහාර පින්
බිමට පැමිණ මෙම ඓතිහාසික පින් බිම ඔබට වැඳ පුදා ගත හැකි ය.මෙරට ඇති ටැම් විහාර
සම්ප්‍රදායේ එක් ඓතිහාසික පින් බිමකි , දැඹව ටැම් පිට පුරාණ මහා විහාර පින් බිම.මෙම
විහාරය ඉදිකිරීම පිළිබඳ ඇත්තේ පරම්පරාවෙන් පැවතගෙන එන කතාවකි. එය “වරාවල”
පරම්පාරාවෙන් පැවත ගෙන එන්නේ යැයි දැඹව පුරාණ ටැම්පිට විහාරයේ විහාරාධිපති මාතලේ
දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක දේවව්වේ චන්දානන්ද හිමියෝ පවසති.
මෙය කිනම් කාලවකවානුවක ඉදි වුයේ දැයි සඳහනක් නොමැති වුවත් විහාර පින් බිමේ ඇති
ඉපැරණි උපෝසථාගාරයේ කණුවක හා පිත්තල පහනක 1840 යැයි සඳහනක් දක්නට ඇත..එය ශ්‍රී
බුද්ධ වර්ෂයද , ක්‍රිස්තු වර්ෂයද නැතිනම් ශක වර්ෂයට අයත් යැයිද ස්ථිරව සඳහන් කළ
නොහැකි ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ මෙය ඉදිකරන්නට ඇති බව ඉතිහාසයේ සඳහන් තවත්
කතාවකි.
කීර්තී ශ්‍රී රාජසිංහ රජු සමයේ වැඩ සිටි බෝධිසත්ව ගුණෝපේත අසරණ සරණ සරණංකර
ස්වාමින්වහන්සේ ගේ උත්සහායෙන් එකල පිරිහී ගොස් ශේෂ ව තිබුණ බුද්ධ ශාසනය නැවත පණ
ගැන්වූ බව සඳහනකි.විනාශවී ගිය බුද්ධ ශාසනයත් භික්ෂු පරම්පාරාවත් විහාරාරාම පිරිවෙන්
ද ඉදිකොට ඇති බැව් පැවසෙයි. එවැනි අසීරූ කාලයක ඉදිවූ විහාර පින් බිමක් ලෙස දැඹව
ටැම්පිට පුරාණ විහාර පින් බිම සඳහන් කළ හැකිය.එමෙන්ම ජනප්‍රවාදයේ පැවතෙන කතා පුවතක්
ද අසන්නට ලැබෙන්නේය.
විහාර මළුව දුර්ලභ ගණයට අයත් ටැම්පිට විහාරයක් ලෙස ඉදිකොට ඇත්තේය. අඩි දහයක් හා
දොළහකින් යුත් වර්ගඵලයකින් එය ඉදි කොට ඇති බැව් දක්නට හැකි ය. විහාර මළුව ඉදිකොට
ඇත්තේ දැවයෙන් ම ය. ගල්කණු සිටුවා ඒ මත දැවයෙන් කඳන් අතුරා විහාර මන්දිරය ඒ මත
ඉදිකොට ඇති බැවින් ටැම්පිට විහාර සම්ප්‍රධායේ විහාරයක් යැයි චන්දානන්ද හිමියෝ සඳහන්
කරති.විහාර මළුවට ඇතුළුවන දොරටුව ආදීකාලීන ගෘහ නිර්මාණ කළ, කලාකරුවාගේ ප්‍රතිභාව
මනාව කියාපාන්නේ ය. කොටස් නමයකින් යුත් මෙම දොරටුව නිමකොට ඇත්තේ දැවයෙන්ම ය.සියුම්ව
නිමවා ඇති ලී කැටයම් මහනුවර ඇම්බැක්කේ ලී කැටයම් වලට නෑකම් කියන බව පෙනෙන්නේ ය.
සමාධි පිළිමය දෙපස ඇති ප්‍රතිමා වහන්සේලා දෙනමක් වැඩසිට ඇති බැව් සලකණුවන
නෂ්ඨාවශේෂයන් ය. මැටි හා ලී වලින් නිමවා ඇති එය කාලයේ වැලිතලාවට හසුව දිරාපත් ව
ගොස් ඇත්තේ සියුම් සංවේගයක්ද මතු කරමිනි. එය නිර්මාණය කොට ඇත්තේ මෙම විහාර පින්
බිමේ වැඩ සිටියා යැයි සැලකෙන හේරත්ගම ශ්‍රී රතනපාල ස්වාමින්වහන්සේ යැයි චන්දානන්ද
හිමියෝ පෙන්වා දෙති. සිය තෙළි තුඩින්ම මෙහි සිතුවම් නිර්මාණය කොට ඇත්තේ උන්වහන්සේ
විසින්ම සොයාගන්නා ලද බදාමයකින් හා සායම් වලින් යැයි පෙන්වා දෙති. බුද්ධ චරිත කතාව
සිතුවමට නගා ඇති මෙහි චිත්‍ර පේළි හතරක් සැදැහැති ඔබට දැකගත හැකි ය. එය මහනුවර
යුගයට වඩාත් නෑකම් කියන්නේ ය.
කුඩා විහාර මන්දිරයක් දක්නට ඇති අතර එය සියලු අංගයන්ගෙන් පරිපූර්ණකොට ඇති බැව්
දක්නට හැකිය.ශ්‍රී දළදා මාළිගාවේ පියස්ස මුදුනෙහි ඇති පැරණි පෙති උළු, මෙම විහාර
මළුවේ ද දක්නට හැකිය.පඩි පෙළ පාමුල ඇති ගලින් නෙළන ලද සිරිපතුල එකල කලාකරුවාගේ
ප්‍රතිභාව මොනවට කියාපාන දසුනක් යැයි සිතෙයි.
හාත්පස පරිසරයේ අපූර්වත්වය ට මැදිව ඉදිකොට ඇති දැඹව ටැම්පිට පුරාණ විහාරයේ එක්
ඉසව්වක ඇත්තේ එකල සංස්කෘතියේ කැඩපත පෙන්වන උරුමයන් යැයි සිතෙයි.
විහාර පින් බිමට පැමිණෙන සැදැහැවතුනට දැකගත හැකි බුද්ධ පුජාව සකසන ලද මැටි පාත්‍රය
එහි එක් සලකුණක් ය. පළලින් අඩි දෙකක් පමණ වන එම පාත්‍රයේ උස අඩි දෙකක් පමණ ය.වට
ප්‍රමාණය අඩි හතකට වැඩි අතර එකල අවුරුදු සමයේ ගම්වැසියෝ කිරිබත් කැවිලි සාදා හේවිසි
හොරණෑ භාවිත කරමින් උඩු වියන්, පා වියන් ඇතිව බුද්ධ පූජාව පූජා කිරීමේ චාරිත්‍රයක්
පැවැති බැව් උන් වහන්සේ පෙන්වා දෙති.
1976 දී එවකට සංස්කෘතික අමාත්‍ය ව සිටි ටී. බී. තෙන්නකෝන් මහතා මෙම ඓතිහාසික විහාර
පින් බිමේ උරුමය තැපැල් මුද්දරයකට ද යොදාගත් බව චන්දානන්ද හිමි සිහිපත් කරන තවත්
කරුණකි.අතීතයේ රජ දරුවන්ගේ පහසින් ඉදිවූ මෙම දැඹව ටැම්පිට පුරාණ විහාරය මතු අනාගතය
උදෙසා රැකගත යුතු ආගමික උරුමයක් වනුයේ එහෙයිනි.
-
වසන්ත
ජයසිංහ ආරච්චි
සේයාරූ :
ගලේවෙල මධ්‍යම සමූහ
ඩී ජී ගුණතිලක |