අධි වප් පුර අටවක 2020.09.24
පින් පිරීම
බෞද්ධයාගේ ඒකායන අරමුණ විය යුතු වන්නේ ධර්මාණුකූල ජීවිතයක් ගතකොට මෙලොව ජීවිතය සේ ම
පරලොව ජීවිතය ද සාර්ථක කර ගැනීම ය. කෙළවරක් නොදකින ඝෝර සසර මඟ නිමා කොට අපගේ
ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ උතුම් නිවන් මඟට පැමිණීම ය.
එහෙත් බෞද්ධයන් ලෙස අප හැමතුළ එවැනි උතුම් අරමුණක් වේ ද යන්න විමසීමට ලක්විය යුතු ව
තිබේ. ඒ ඇතැම් බෞද්ධයන් සතුව එවැනි අරමුණක් වේ ද යන්න ගැන සැක උපදවන බැවිනි. ඇතැම්
තැනෙක අධාර්මික දේ සිදුවන බැවිනි. අයහපත්කම් මතුවන බැවිනි.
මෙහිදී එවැනි නොකටයුතු හමුවේ කම්පා වෙමින්, තවත් කෙනකුට දොස් පවරනවාට වඩා, සමාජය
ගැන කළකිරීම් ඇති කර ගන්නවාට වඩා අපට පැවරුණු විසල් කාර්ය භාරයක් තිබේ. ඒ තමන්
නිවැරැදි වීම ය. එවිට නොදැනුවත්ව ම තමන් ජීවත්වන පවුල, ගම, රට නිවැරැදි වනු ඇත. ඒ
තුළ ධර්මානුකූල සමාජයක අරුණලු අපේක්ෂා කළ හැකි වනු ඇත.
නිවන් මඟ අරමුණු කරගත් බෞද්ධයා එම අරමුණට සමීප වීමට නම් වීර්ය වැඩිය යුතු ය. ශ්‍රී
සද්ධර්මය අවබෝධ කර ගැනීමට වීර්ය වැඩිය යුතු ය. ඒ ධර්මය ප්‍රායෝගික ව තමන්ගේ ජීවිතයට
එක් කරගන්නට වීර්යවන්ත විය යුතු ය. එවිට ලෝභ, ද්වේෂ, මෝහාදී කිළිටි සිතිවිලි බැහැර
කොට අලෝභ, අද්වේෂ, අමෝහා දී සිතිවිලි වර්ධනය කොට සිත පිරිසුදු කරගත හැකි වනු ඇත.
අප කරන කියන දේ යහපත් වන්නේ පිරිසුදු සිතිවිලි ඇතිවිට ය.
එහෙයින් හැම විටෙක ම පිරිසුදු සිතිවිලිවලින් සිත පුරවා ගත යුතු වේ. එහිදී
නිරන්තරයෙන් සිත පරීක්ෂාවට ලක් කිරීම වැදගත් ය. තමන්ගේ ම සිත විමසීමෙන් තමන්ට තමන්
පිළිබඳ ව අවබෝධ කරගත හැකි ය.
යම් හෙයකින් ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, තණ්හාව, ලෝභය, මුළාව ආදී සිතිවිලි සිත
පෙළන්නේ නම්, ඉන් මිදීමට වහ වහා උත්සාහ කළ යුතු වේ.
ලෝභය පිරුණු සිත එක්රැස් කිරීමට ද, ද්වේෂ සහිත සිත නිරන්තරයෙන් කුපිත වීමට ද,
මෝහයෙන් යුතු සිත ලෝභයේ හා ද්වේෂයෙහි පටලැවීමට ද යොමු කරන බව අප නිරන්තරයෙන්
සිහිපත් කළ යුතු අතර එවැනි පුද්ගලයා වඩ වඩාත් දුකට පත්වන බව ද, ධර්මයෙහි හැසිරීමට
ඇති අවස්ථා අඩු බව ද මතකයේ තබාගෙන කටයුතු කළ යුතු වේ.
එවැනි කෙලෙසුන්ගෙන් අපිරිසුදු වන සිත පිරිසුදු කිරීමේ හොඳම මඟ පින් පිරීම ය. පින්
පිරෙන්නේ යහපත් ක්‍රියාවෙනි. සිතේ ඇතිවන අකුසල මර්දනය කැරෙන්නේ පුණ්‍ය
ක්‍රියාවන්ගෙනි.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දස කුසල කර්ම ජීවිතයට පින් පුරවන පින් කෙත් බඳු
ය. ආධ්‍යාත්මික දියුණුවට උපකාරී වන, සහනසීලී මනසක් ඇති කර ගැනීමට උපකාරී වන සදහම්
මාවතකි.
දානය, සීලය, භාවනාව, පිදිය යුත්තන් පිදීම, වතාවත් කිරීම, පින්දීම, පින් අනුමෝදන්
කිරීම, බණ ඇසීම හා දෘෂ්ටිය සෘජු කර ගැනීම යි යන මේ දස කුසල ක්‍රියා සම්පූර්ණ කිරීම
තුළ මෙලොව ජීවිතය සේ ම පරලොව ජීවිතය ද සුවපත් කරනු ඇත.
දානය ලෝභී සිතිවිලි දුරු කරයි. සිල්වත්කම ස්වාර්ථය පිණිස ද පරාර්ථය පිණිස ද වේ.
භාවනාව සිත පිරිසුදු කරයි. එකඟ කරයි. ඒ පුද්ගලයාගේ හැසිරීම දෙලොවට ම වැඩ සදන අතර
සමාජයට ද සුබදායී ය. අන්‍යොන්‍ය සම්බන්ධතා තහවුරු කිරීමට පිදිය යුත්තන් පිදීම ඉවහල්
වේ.
මේ ආකාරයට දස කුසල කර්මයෙහි ම නිරත වන බෞද්ධයාට නිවන් මඟ සමීප ය. එවැනි පුද්ගලයන්
ජීවත්වන සමාජය ද ධර්මානුකූල ය. අප විසින් ගොඩනඟනු ලැබිය යුතු ද එවැනි සමාජයකි. |