[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අටවිසි බෝධි පුරාණය -06:  උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට උපකාර වූ ඇසතු බෝධීන් වහන්සේ

උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට උපකාර වූ ඇසතු බෝධීන් වහන්සේ

" එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජනා ගං ඉවුර සමීපයෙහි බෝ මුල්හි අභිසම්බෝධියට පැමිණ ප්‍රථමයෙන් (බුදුව පළමුවර) වැඩ වාසය කරන සේක. යනුවෙන් මහා වග්ග පාලියේ මහාඛන්ධකයේ සඳහන් වේ. බෝධිය පිළිබඳ ත්‍රිපිටකයෙහි සඳහන් වන පැරැණි මූලාශ්‍රය වශයෙන් මෙය පෙන්වා දිය හැකි ය. එතැන් පටන් මෙම ඇසතු රුක බෝධීන් වහන්සේ නමින් ප්‍රකට විය."

දඹදිව මධ්‍ය දේශයෙහි ශාක්‍ය ජනපදයේ කපිල වස්තු පුරයේ රාජ්‍ය කළ සුද්ධෝදන රජතුමා සහ මහාමායා දේවිය මව්පියන් කොට සිද්ධාර්ථ බෝසතාණෝ ක්‍රි.පූ. 563 වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙක මෙලොව බිහි වූ සේක.

මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ “බුදුන් වදාළ බුද්ධ චරිතය” නම්, ග්‍රන්ථයෙහි බුද්ධ චරිතය ඉතා අපූර්ව ලෙස සඳහන් කර ඇත්තේ මෙසේ ය. “උපතින්ම ලැබූ පරම සුකුමාල කුමාර දිවිය අත හැර ගුරුකුලයෙන් ගුරු කුලයට, වන අරණෙන් වන අරණට, දනව්වෙන් දනව්වට, තපෝ භූමියෙන් තපෝ භූමියට ගමන් කර සා අවුරුදු කාය ජීවිත නිරපේක්ෂව සංග්‍රාමයෙන් පැරද ජීවත්වනවාට වඩා මියයාම මැනවැයි පිළිගනිමින් සම් ඇට නහර පවා ශේෂව මස් ලේ සිඳී යන තුරු සිදු කළ දුෂ්කරවෘත චර්යාවන්ගේත්, මිනිස් සමාජයෙහි මිනිසුන් උදෙසා මිනිසකු පෙන් වූ මහා ව්‍යායාමය බෝසත් සිරිතෙන් දිස් විය.

පරම සුඛෝපභෝගී’ කාමසුඛල්ලිකානු යෝගයත්, තියුණු කටුක දුක් වේදනා සහිත අත්තකිලමතානු යෝගයත්, දෙකම ස්වකීය අභිමතාර්ථ සාධනයට හේතු නොවූ හෙයින්, ප්‍රතික්ෂේප කළ බෝසතාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදානුගත ව උරුවෙල් දනව්වෙහි ගයා හිස නේරංජනා නදී තීරයේ ඇසතු බෝ රුක් මුල් හි දී අජර, අමර, අනුත්තර, යෝගක්ඛෙම, ශාන්තිවර, පදනම් නිර්වාණය සාක්ෂාත් කළහ.’

සිදුහත් බෝසතාණන් වහන්සේ වයස 29ක් වූ සමයෙහි ගිහි ගෙයින් නික්මීම සඳහන් වන්නේ මහා අභිනිෂ්ක්‍රමණය වශයෙනි. උන්වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කොට ශාක්‍ය, කෝලිය, මල්ල යන තුන් රාජ්‍යයන් ඉක්මවා තිස් යොදුන් මඟ ගෙවා අනෝමා නදි තීරයෙහි (එය ගංගා නදිය යැයි ඇතැම් ඉතිහාසඥයන් ප්‍රකාශ කරයි.) දුෂ්කර ක්‍රියා කළ සය අවුරුද්ද පිළිබඳව ත්‍රිපිටකයෙහි මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ අසූවන වියේ දී දේශනා කළ කරුණු ඇතුළත් වේ.

අත්තකිලමතානුයෝගය හෙවත් ශරීරයට දැඩි සේ දුක් දීමෙන් නිර්වාණය සාක්ෂාත් නොවන බැවින් අත්තකිලමතානු යෝගය සහමුලින් ම අත්හළ සේක. අනතුරුව සාමාන්‍ය මිනිසකු පරිදි සාමාන්‍ය ආහාරයක් අනුභව කරමින් උන්වහන්සේ වඩා නිරෝගී ව වැඩ සිටියහ. වයසින් තිස්පස් වන වියේදී වෙසක් පුන් පොහෝ දින සුජාතා නම්, සිටු දියණිය අවසාන වශයෙන් පිළිගැන් වූ කිරි පිඬු වළඳා නේරංජනා ගංතෙර අවසන් සවස් කාලය ගෙවා සොත්තිය නම්, බ්‍රාහ්මණයා විසින් පිළිගැන්වූ කුසතණ පිළිගෙන අස්සත්ථ රුක් මූලයෙහි බිම අතුරා බද්ධ පර්යංකයෙන් වැඩ හිඳ ආනාපාන සතිය වඩා චතුර්තධ්‍යානය උපදවා පුබ්බේ නිවාසානුස්සති ඤාණය, චුතුපපාත ඤාණය, ආසවක්‍ය ඤාණය සමඟ සර්වඥතා ඤාණය නැතහොත් ලොව්තුරා බුද්ධත්වයට පත් වූ සේක.

“තේන සමයේන බුද්ධෝ භගවා උරුවෙලායං විහරති නජ්ජා නේරඤ්ජරාය තීරේ බෝධි රුක්ඛ මූලේ පඨමාවි සම්බුද්ධෝ”

එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජනා ගං ඉවුර සමීපයෙහි බෝ මුල්හි අභිසම්බෝධියට පැමිණ ප්‍රථමයෙන් (බුදුව පළමුවර) වැඩ වාසය කරන සේක. යනුවෙන් මහා වග්ග පාලියේ මහාඛන්ධකයේ සඳහන් වේ. බෝධිය පිළිබඳ ත්‍රිපිටකයෙහි සඳහන් වන පැරැණි මූලාශ්‍රය වශයෙන් මෙය පෙන්වා දිය හැකි ය. එතැන් පටන් මෙම ඇසතු රුක බෝධීන් වහන්සේ නමින් ප්‍රකට විය.

අස්සත්ථ හෙවත් ඇහැටු ගසෙහි ආගමික උරුමයේ යටගියාව මොහෙන්දොජාරෝ හරප්පා සංස්කෘතිය දක්වා දිවයන බව ගුණපාල සේනාධීර මහතාගේ ලිපියක් උපුටා දක්වමින් ‘ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතිය’ ග්‍රන්ථයේ කර්තෘ ආචාර්ය අලුත්වැව සෝරත හිමියෝ පෙන්වා දෙති. එනම් “ඉන් මහඟු සාක්ෂි ලැබුණේ හින්දු නිම්නයට අයත් හරප්පාවෙන් සොයාගනු ලැබූ මුද්‍රා දෙකකිනි. මින් එක මුද්‍රාවක දෙබලයක බෙදුණු ගසක සටහනක් දැක්වේ. ගසේ දෙබලය තවත් කුඩා අතුවලට බෙදී ඇති බව, දැක්වෙතත් ඒ එක අත්තකවත් කොළ නොදැක් වේ. එහෙත් දෙබලයේම මුදුනෙහි ඇත්තේ ඇසතු (බෝ) පත්‍රයකි. ඉන් හැඟවෙනුයේ එහි දැක්වෙන ගස ඇසතු ගසක් බව ය. ගසේ දෙබලය අතර ඇති ඉඩෙහි නැඟී සිටිනා පුරුෂයකුගේ රුවකි. මේ රුව ගසට අරක්ගෙන සිටින නොහොත් ගසට අධිපති දෙවියාගේ විය හැකි ය. වරුණ හා ප්‍රජාපතී (බ්‍රාහ්මණ) පිළිබඳව කරන විශ්ව වෘක්ෂය වූ අස්සත්ථ වෘක්ෂයෙහි හැසිරෙන යක්ෂයකු පිළිබඳව අථර්ව වේදයේ සඳහන් වේ. හරප්පා මුද්‍රාවෙහි දැක්වෙනුයේ වෛදික සෘතියේ ප්‍රකාශ වන යක්ෂයාගේ ප්‍රාථමික අවධිය විය හැකි ය. ඇසතු ගස පූජනීයත්වයට පැරැණීම සාක්ෂිය මෙය වේ.

තවදුරටත් ඇසතු බෝධියේ පූජනීයත්වය පිළිබඳව පැරැණිම සාක්ෂිය වෛදික යුගය දක්වා ගමන් කරන බව මෙයින් පැහැදිලි වේ. සේනාධීර මහතා තවදුරටත් සඳහන් කරන මේ තොරතුරු ආචාර්ය කේ.ඒ. ශාත්‍රිගේ පර්යේෂණ තුළින් වඩාත් තහවුුරු කරයි. ඇසතු ගසෙහි ඉතිහාසය මොහෙන්දොජාරෝ හරප්පා සංස්කෘතිය දක්වාම දිවයන බව මෙම පර්යේෂණයන් විවිධාකාරයෙන් කරුණු පෙන්වා දෙයි.

වේද ග්‍රන්ථයන්හි එම තොරතුරු සඳහන් වන බවත්, බ්‍රාහ්මණ උපනිෂද් යුගය දක්වාම අස්සත්ථ වෘක්ෂය පූජනීයත්වයෙහිලා සැලකූ බවත්, මේ තුළින් පැහැදිලි වේ. අස්සත්ථ වෘක්ෂය පිළිබඳව අථර්ව වේදයෙහි එන පාඨයක් උපුටා දක්වමින් මෙහි පැරැණිකම තවදුරටත් පැහැදිලි කර ඇත. අථර්ව වේදයේ එන තවත් පාඨයකින් දැක්වෙන පරිදි අස්සත්ථ මූලයෙහි ‘තෘතීය ස්වර්ගයට’ අයත් දෙවිවරු වාසය කරති. මේ අදහස ඡාන්දෝග්‍ය උපනිෂදයෙහි ඒ ආකාරයෙන්ම සඳහන් වේ. එපමණක් නොව, අස්සත්ථ වෘක්ෂයෙන් සෝම රසය ද වැගිරෙන බව ඡාන්දෝග්‍ය පාඨයකින් කිය වේ යනුවෙන් එම ග්‍රන්ථයෙහි අලුත්වැව සෝරත නාහිමියෝ කරුණු ගෙනහැර දක්වති. අප මේ කරුණු තුළින් පැහැදිලි කරන්නේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පිටදුන් අස්සත්ථ බෝධියෙහි ඉපැරැණිම පූජාර්හභාවයි. අස්සත්ථ වෘක්ෂය සඳහා අතීතයේ සිටම විවිධ නම් භාවිත කළ බවත්, ග්‍රන්ථ පරිශීලනයේ දී පෙනී යන තවත් කරුණකි.

 අධි වප්
පුර අටවක 

 සැප්තැම්බර් 23 බදාදා අපරභාග 07.57 න් පුර අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 07.01 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]