[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මවට පියාට නොසැලකීම අපායගාමී වන පාපයකි

මවට පියාට නොසැලකීම අපායගාමී වන පාපයකි


දිනක් එක් අම්මා කෙනකු දුරකථනයෙන් අමතා හැඬූ කඳුළින් යුතු ව ඇගේ දුක්බර කතාව මා සමඟ කීවා ය. ඈ පැවසූ පරිදි ඇයට එකම පුතෙක් පමණක් සිටී. මේ පුතා ද විවාහ වී සිය නිවසේ ම බිරිඳ සමඟ ජීවත් වේ. මේ දෙදෙනා උදෑසන රැකියාවට ගොස් නැවත රාත්‍රියේ දී නිවසට පැමිණෙති.

එසේ පැමිණෙන මේ දරු දෙදෙනාට කෑම උයාගෙන අම්මා හා තාත්තා බලා සිටින්නේ එකට කෑම කා නිදා ගැනීමේ බලාපොරොත්තුව ඇතිව යි. සමහර දිනවලට රාත්‍රී පැමිණ “බඩගිනි නෑ කෑම එපා” කියා දෙදෙනා ම නිදා ගනිති. එදාට අම්මාට සහ තාත්තාටත් හරිම දුකයි. “අනේ දරුවන්ට මහන්සි ඇති” කියා ඒ දෙදෙනා ද යන්තම් බත් කටක් දෙකක් කා නිදා ගන්නේ දරුවන් ගැන අනේ පව් කියා කතාබහ කරමිනි. එහෙත් දින දෙක තුනකට පසු කවුරු හෝ නෑදෑ කෙනකු ගෙදරට ඇවිත් පවසන්නේ “පුතයි ලේලියි අහවල් හෝටලේ කෑම කනවා දැක්කා” යනුවෙනි. ඇත්තෙන් ම සිදු වී ඇත්තේ එය යි. අම්මලාට හොරෙන් ඒ දෙදෙනා කඩෙන් කා ගෙදර ඇවිත් බඩගිනි නැහැ කියා නිදා ගනිති. එහෙම නැතිනම් වෙනත් යහළුවකුගේ ගෙදරින් කෑම කා ඇවිත් ‘අද කෑම එපා’ කියා නිදා ගනිති.

පසු දා උදේ අම්මයි තාත්තයි ඊයේ ඉතිරි හීල්බත් ටික ආහාරයට ගනිති. දරුවන් වෙනුවෙන් පිසූ උණු බත් ටික කන්න දී වැඩට යනකොට රැගෙන යෑමට තවත් කෑම එකකුත් ඔතා දෙයි. ඒ අම්මාගේ සිරිත ය. දරුවන්ට ඒ ගැන කිසිම හැඟීමක් නො මැතිකම මහා පුදුමයකි. බොහෝ දිනවල කාපු බීපු පිඟන් කෝප්ප සියල්ලත් ගොඩගසා ගොස් ඇත්තේ ඒවා සෝදන්නේ ද නැතිව ය. අම්මා ගෙදර මෙහෙකාරිය මෙන් ඒවා සියල්ල ද සෝදා පිරිසුදු කළ යුතු ය . ඒ මොන දේ කළත් දරුවන්ට අම්මාගේ අගයක් නො තේරීම නම් පුදුම සහගත ය.

තවත් අම්මා කෙනකු මා සමඟ වෙනත් කතාවක් කීවා ය. ඇය පැවසුවේ ඇගේ පුතා හා දියණිය (ලේලිය) වැඩට ගොස් හවස නැවත එන විට සමහරදාට කඩෙන් කෑම (කොත්තු රොටී, ෆ්‍රයිඩ්රයිස්, සෝටීස්ට් වැනි දෙයක්) රැගෙන එති. එසේ රැගෙන එන ඒවා දෙන්නත් එක්ක දිග හැරගෙන සිනාසෙමින් කතා කරමින් ආහාරයට ගනිති. ගෙදර අම්මා සහ තාත්තා සිටියත් අම්මාට ටිකක් දෙන්න ද? තාත්තාටත් ටිකක් දෙන්න ද? කියා නිකමටවත් අහන්නේ නැහැ. හාමුදුරුවනේ, මම නම් ඔය කඩේ ජරා කෑම කන්න ආසත් නෑ. මම ලෙඩා. ඒත් තාත්තා දැන් කඩේ යන්නෙත් නැහැ. හම්බ කරන්නෙත් නැහැ. ඒ මනුස්සයටත් ඒවා කන්න ආස ඇතිනේ. ඒත් හාමුදුරුවනේ, මං කොහොම ද දරුවන්ට කියන්නේ දරුවනේ, තාත්තාටත් ටිකක් දීල කන්න කියලා. හිත රිදෙයි කියලා කියන්නත් හිතෙන් නෑ. යනුවෙන් ඇගේ දුක් ගැනවිල්ල මා සමඟ කීවා ය.

මෙසේ මව්පියන්ට නො දී කෑම කන දරුවෝ, මව්පියන්ට හොරෙන් කෑම කන දරුවෝ අදත් ඕනෑ තරම් වෙති. මදක් සිතා බලන්න. අපේ අම්මා හෝ තාත්තා කිසිම දවසක දරුවන්ට හොරොන් යමක් ආහාරයට ගනියි ද? අප කුඩා කල අම්මා නො කා හෝ දුන්නේ දරුවන්ට බව මතක නැහැ.

ඉස්සර මඟුල් ගෙවල් හෝ උත්සව ගෙවල්වලට ආරාධනා ලැබුණා ම ඒවාට යන්නේ අපේ අම්මයි තාත්තයි විතරයි. එසේ ගොස් නැවත පැමිණෙන විට කුමක් හෝ රස කැවිල්ලක් රැගෙන එති. එය ගෙනාවේ කෙසේ දැයි අපි නො දනිමු. එදා මගුල් ගෙවල්වල තිබුණේ අද වගේ කෑම මේසය නොව බොහෝ විට තිබුණේ තේ මේසය යි. තේ මේසයේ වාඩිවන අම්මාට රසකැවිලි පිඟන් දකිනකොට මතක් වූයේ දරුවන් ටිකයි. අම්මා අතටගත් තල කැරැල්ල හෝ වෙනත් රසකැවිල්ලක් අතේ තියාගෙන ලේන්සුවෙන් ඔතාගෙන තේ කෝප්පය විතරක් බී රස කැවිල්ල අපට ගෙනත් දුන්නා ය. එය අපි බෙදාගෙන කෑවෙමු. අම්මා ඇති තරම් ආහාරයට ගෙන ඉතුරු ටික අපට ගෙනාවා නොවේ. අම්මා නො කාම අපට ගෙනත් දුන්නා කියා ඔබ මොහොතකටවත් සිතුවා ද? එසේ කළ අම්මාට නො දී කෑමක් කන්න දරුවන්ට පුළුවන් ද ? කිසි දා එසේ නො කරන්න.

සමහර දරුවන් පවසන්නේ අම්මා මොනව ද මට කළේ යන්න යි. මහන්සිවෙලා ඉගෙන ගත්තේත් මම. වාහනේ ගත්තෙත් මම. ණය වෙලා ඉඩම ගත්තෙත් මම. ණය වෙලා ගේ හදා ගත්තෙත් මම. දුක් විඳලා විඳලා කන කර බඩුටික හදාගත්තෙත් මම. ඉගෙන ගන්න වියදම් කරගත්තෙත් මම යනාදී ලෙස අම්මා තාත්තා තමන්ට නො කළ, තමන් විසින් කරගනු ලැබූ බොහෝ දේ ඇත. එනිසා අම්මා තාත්තා මට මොනවද කළේ යන ප්‍රශ්නය සමහර දරුවන් අසයි.

මේ සියල්ල තමන්ට කර ගැනීමට ශක්තිය ලබා දුන්නේ කවුද? ඒවා කර ගත්තේ වයස අවුරුදු කීයේ දී ද? එතෙක් ඔබ බලා ගත්තේ කවු ද? ඔබ ඒ දක්වා සිටියේ කොහි ද? එතෙක් කල් කෑම කෑවේ කොහෙන් ද? ඇඳුම් ඇන්දේ කොහෙන් ද? ඉගෙන ගත්තේ කොහොම ද? යනාදී ප්‍රශ්න රාශියක් ඇසිය හැකි ය. මම මේ සඳහන් කළ ප්‍රශ්නවලට පිළිතුරු ඔබ ම සොයන්න. එවිට අම්මාට සැලකිය යුත්තේ ඇයි ද යන්නට පිළිතුරු ලැබෙනු ඇත.

අම්මාගේ වටිනාකම දැනෙන්න අපි මදක් සත්ත්ව ලෝකය දෙස බලමු. අපට නිතර අප අවට සිටින බල්ලන්,පූසන් වැනි සතුන් දැකිය හැකි ය. එම සත්තු ඉපදී සුළු වේලාවකින් ඇවිද යති. එම සත්තු ඇවිද ගොස් අම්මාගේ තන පුඩුව සොයාගෙන කිරි උරා බොති. ඇස් නො පෙනෙන එම සතුන් ඉව අල්ලාගෙන ගොස් අම්මා සොයාගෙන කිරි පානය කළ යුතු ය. එසේ අම්මා ළගට ගොස් කිරි බීමට නොහැකි වුවහොත් එම පැටියා මිය යයි. අප බිහි කළ අපේ අම්මා අප සොයාගෙන ඇවිත් කිරි ටික පොවයි. අපි ඇවිදින්න පටන් ගත්තේ කොපමණ දිනකට පසුව ද? සති, මාස කීයකට පසුව ද? අඩුම ගණනේ වසර ගණනක් ඇවිදීමට පමණක් ගතවෙයි. සත්ත්ව ලෝකයේ සතුන් ඉපදී මාස කිහිපයකින් තමාගේ කෑම ටික තමන් ම සොයාගත යුතු ය. අප අපේ කෑම ටික සොයා ගත්තේ වසර කීයකට පසුව ද කියා සිතා බලන්න. ඔබ විවාහ වූයේ වසර විස්සේ දී නම් උදේ, දවල්, රාත්‍රී වශයෙන් වසර විස්සක් දුන් කෑම වේල් ප්‍රමාණය කොපමණ ද?

කුඩා කල අඩුම තරමේ මදුරුවෙක් විදින විට තමන්ට එලවා දමන්න පුළුවන් ද? මැස්සෙක් වහනකොට එලවා දමන්න පුළුවන් ද? කූඹියකු කෑවොත් කූඹියෙක් කෑව කියා, කියා ගන්න පුළුවන් ද? අසනීපයක් හැදිලා මට මේ ලෙඩේ තියෙනවා කියා කියා ගන්න පුළුවන් ද? ඒ කිසිවක් කිරීමට නොහැකි ව, අසරණ ව උඩ බලාගෙන අඬන්න විතරක් දන්න ඔබට මැස්සෙක් මදුරුවෙක් කන්න නො දී, නිදිවරාගෙන දුක් විඳගෙන බලාගත්ත අම්මාට සලකන්න. ඕනෑම ද? යන ප්‍රශ්නය ඇසීම පවා සුදුසුදැයි ඔබම තීරණය කරන්න.

අම්මාට සැලකීම පින්කමක් බව ඔබ මොහොතකටවත් සිතුවා ද? බොහෝ දෙනා සිතන්නේ අම්මාට සැලකීම යුතුකමක් හැටියට යි. ඇත්තෙන් ම එය යුතුකමකි. යුතුකමකට වැඩියෙන් අම්මාට සැලකීම පින්කමක් බව ද අමතක නො කරන්න. එසේ නම් අම්මාට නො සැලකීම යුතුකම් ඉටු නො කිරීමකි. ඒ පමණක් නොවේ. එය අකුසලයක් බව ද අමතක නොකරන්න. එය සුළු පාප කර්මයක් නොව අපායගාමී වන පාපයකි.

දේවදූත සූත්‍රය යනුවෙන් බණ පොතේ සූත්‍ර දේශනාවක් ඇත. එම සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ සත්ත්වයන් දෙව්ලොව යන හැටිත්, අපායගාමී වන සැටිත් පෙන්වා දුන් සේක. එහි දී මව්පියන්ට නො සලකන දරුවන් අපායගාමී වන ආකාරය පැහැදිලි කරයි. තවත් සූත්‍ර දේශනා කිහිපයක ම හැකියාව තිබිය දී මව්පියන්ට නො සලකන දරුවන් අපායගාමී වන බව දක්වා ඇත. ඒ අනුව විමසා බැලීමේ දී පෙනී යන්නේ අම්මාට නො සැලකීම අපායගාමී වන අකුසල කර්මයක් බවයි. 

 අධි වප්
පුර අටවක 

 සැප්තැම්බර් 23 බදාදා අපරභාග 07.57 න් පුර අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 07.01 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]