බිනර පුර පසළොස්වක 2020.09.01
සුගන්ධවත් සමාජයක්
දුර්ගන්ධවත් පරිසරය පිළිකුල් ය. කිසිවෙක් පි‍්‍රය නොකරන්නේ ය. එහෙත් පරිසරය
අපවිත්‍ර කරන්නේ ද, දුර්ගන්ධවත් කරන්නේ ද ඒ පිළිකුල් කරන මිනිසුන්ම වීම ය,
සුවිශේෂත්වය වනුයේ. එක් පැත්තකින් ඔවුහු පරිසරයට අපද්‍රව්‍ය මුදා හැර පරිසරය
අපවිත්‍ර කරති. අනෙක් පසින් තමන්ගේ දුශිල්වත් චරිතය නිසා සමාජයක් ම දුර්ගන්ධවත්
කරති. එහෙත් එහි වරද නොදකිති. කිසි විටෙක නොවිමසති.
තමන් කරන්නේ කුමක්ද? කියන්නේ කුමක් ද? යනු විමසා බලා කටයුතු කරන්නට හැකි ද මිනිසාට
ම ය. එහෙත් බොහෝ දෙනකුට ඒ විමසුම් නුවණ නැත. වරද නොදැනෙන්නේ එහෙයින් ය.
විමසීම තුළ බොහෝ වැරැදි නිවැරැදි කරගත හැකි ය. නැවත වැරැදි නොවෙන්නට වැඩ සිදු කරගත
හැකි ය. උදා වී තිබෙන්නේ ඊට කාලය ම ය. එසේ කියන්නට හේතුවක් තිබේ.
තෙරුවන් ගරු කරන සමාජය සීල සුගන්ධයෙන් යුතු වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ
තෙරුවන් සරණ ගිය පුද්ගලයා පවට ලජ්ජා වන නිසා ය. පවට බිය වන නිසා ය. ඒ දෙකම ඇති කෙනා
කුඩා වූ ද පවක් කරන්නට පසුබට ය. අර්ථ සම්පන්න එවැනි සමාජයක් අතීතයේ අප රටේ පැවතුණි.
මිහිඳු මාහිමියන් අප රටේ උදා කළේ එවැනි සංස්කෘතියකි.
කිරි කළයකට ගොම බිඳක් වුව මුසු වූයේ නම් ඒ කිරි කළයෙන් ම පලක් නැත. මිනිස් සමාජය ද
එවැනි ය. සිල්වතුන් දහසක් අතර එක දුසිල්වතකුගේ අනාචාරයක් වේ නම් ඉස්මතු වන්නේ ඒ
දුරාචාරය ම ය. කතා බහ වන්නේ ඒ ගැනම ය. මෑත අතීතයේ සිට අපේ සමාජයේ ද එවන් අවිචාරවත්
ක්‍රියාවන් තැනින් තැන මතු වන සෙයක් දැක ගන්නට ලැබුණි. සමාජය දුර්ගන්ධ වී ඇති සෙයක්
හැඟුණි.
පංච සීලය ගිහියාගේ නිත්‍ය සීලයයි. ඒ සීලය සුගන්ධවත් ය. උඩු සුළඟේ ද ගසා නොයයි. යටි
සුළඟේ ද ගසා නොයයි. එහෙත් එය නොතකන ඇතැම් පුද්ගලයන් සමාජයට මුදා හරින නොපනත්කම් මතු
කරන දුර්ගන්ධය රටක් සිසාර හමා යයි.
අද සමාජයේ මතට ඇබ්බැහි වූවෝ හතු පිපෙන්නා සේ මතු වෙති. මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්,
අපරාධකරුවන්, මනුෂ්‍ය ඝාතකයන් මොන තරම් වෙත් ද? ඔවුන් මෙතෙක් ගත් උත්සාහය අනුන්ට
ගින්දර දී තමන් සැප සම්පත් විඳීම ය. එහෙත් ඒ තාවකාලික සැපත පසුපස ම දුක හඹා එන බව,
එය ලෝ දහම බව ඔවුන්ට අමතක ය. පවට, අකුසලයට නොබිය පුද්ගලයා නීතියෙන් හෝ දමනය කළ යුතු
ය. සමාජ සාමය සේ ම අභිවෘද්ධිය ද සැලසෙන්නේ එවිට ය.
අපරාධකරුවන් හඹා යමින්. මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඹා යමින් වත්මන් රජය ගෙන යන
වැඩපිළිවෙළට අපගේ සහයෝගය දිය යුතු ම ය. ඒ උත්සාහය දුර්ගන්ධවත් කාරක සමාජයේ බැහැර
ලනු සඳහා ම වන නිසා ය.
ආධ්‍යාත්මික සංවර්ධනයෙන් යුතු සමාජයක මෙවන් නොපනත්කම් සිදු නොවන්නේ ය. ආධ්‍යාත්මික
සංවර්ධනය කුඩා කල සිට ම දරුවා තුළ වර්ධනය කළ යුතු වූවකි. ගොහොරු සමාජයේ සාමාජිකයකු
වන්නට පළමුව දරුවා බේරාගත යුතු ය. එහි දී මව්පියන්ට සේ ම සමාජයේ වැඩිහිටියන්ට, ගුරු
පරපුරට පැවරෙන වගකීම අති මහත් ය. දහම් පාසල දරුවාට ආගන්තුක තැනක් නොකිරීම
මව්පියන්ගේ වගකීම ය. අපට අවැසි නැණ ගුණ සපිරි සමාජයකි. සුවඳවත් වනුයේ ද එවැනි
සමාජයකි. |