කැමැති දේ අතහරින්න
අතීතයේ අපගේ බෝසතාණන් වහන්සේ එක්තරා දිළිඳු පවුලක උපන්නා. ගොවිතැනින් ජීවත් වුණා.
එදා උන් වහන්සේ කුද්දාල පණ්ඩිත නමින් ප්‍රසිද්ධියට පත්වෙලයි සිටියේ. එළවළු විකිණීම
මේ පවුලේ ආදායම වුණා. එදා උන්වහන්සේ සතුව තිබූ එකම ධනය ගොවිතැන් කරන උදැල්ල යි.
දවසක් මේ කුද්දාල පඬිතුමා හිතනවා “ මේ ගිහි ගෙය හරි දුක් ගොඩක්. කිසිම ප්‍රයෝජනයක්
නැති එකක්. කයේ වෙහෙස පමණයි ඉතිරි. මේ හැමදේ ම අතහැර පැවිදි වෙන්න තිබෙනවා නම් කො
තරම් අගේ ද” කියලා.
ඔහු සතු එකම වස්තුව වූ උදැල්ල ගසක බෙනයක සඟවා තබා තවුස් වෙසින් පැවිදි වුණා. ටික
කාලයක් පැවිදි ජීවිතේ ගත කරද්දී නැවත උදැල්ල මතක් වුණා. ඒ ගැන ලෝභයක් හට ගත්තා. සිත
චංචල වුණා. “මේ පැවිදි ජීවිතේ ඉතා දුෂ්කර යි. කටුක යි. මම ගිහි වෙනවා”යි සිතුවා.
එසේ සිතා ගිහිව නැවත උදැල්ල අරගෙන සුපුරුදු ලෙස ගොවිතැන් කළා.
ටික කලක් ගතවුණා. ගිහි ජීවිතේ නීරස බව වැටහුණා. මේ ජීවිතය දුකයි. වයසට යනවා, ලෙඩ
වෙනවා. මීට වඩා හොඳයි පැවිදි ජීවිතය කියා සිතා නැවත උදැල්ල සඟවා තබා පැවිදි වුණා.
පැවිදි ජීවිතය ගත කරද්දී විටින් විට තමා සඟවා තිබෙන උදැල්ල තිබේද කියා සොයා බලා
පැමිණීම මේ තාපසතුමාගේ පුරුද්දක් වුණා.
ටික කලක් ගතවෙද්දී නැවත පැවිදි ජීවිතය එපා වුණා. මේ ජීවත්වන ටික කාලයට මෙ තරම්
දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ මොකට ද? ටිකක් මහන්සි වුණත් ගිහි ජීවිතේ සුවයක් තිබෙනවා”
සිතා නැවත ගිහි වුණා. උදැල්ල අරගෙන ගොස් නැවත ගොවිතැන් කළා.
මේ ආකාරයට මේ කුද්දාල පඬිතුමා හය වතාවක් පැවිදි වෙලා හය වතාවක් ගිහි වුණා. සත්වෙනි
වතාවේදීත් ගිහි ජීවිතය දුකක් බව සිතා නැවත පැවිදි වෙන්නට සිතුවා. එතුමා සිතනවා
” මම හය වතාවක් ගිහි වුණේ මේ උදැල්ලට තිබෙන ආශාව නිසයි. මම ඒ ආශාව නැති කරලා දාන්න
ඕනේ. මෙය සඟවා පැවිදි වුණොත් නැවත මට උදැල්ල සිහි වී ගිහි වීමට සිතෙයි. ඒ නිසා මම
මේ උදැල්ල ගඟට වීසි කරනවා” යැයි සිතා ගං තෙරට ගියා. උදැල්ල ගඟේ වැටෙන තැන දුටුවොත්
මට නැවත ගන්නට සිතෙයි. ඒ නිසා දෑස් පියාගෙන මෙය විසි කරනවා” යැයි පඬිතුමා සිතුවා.
උදලු මිට හිස වටා තුන් වරක් කරකවා හැකිතාක් වේගයෙන් උදැල්ල ගඟට වීසි කර “මම දිනුවා,
මම දිනුවා” මහා හඬින් කෑ ගැසුවා.
ඒ වෙලාවේ බ්‍රහ්මදත්ත රජතුමා ද අසල්වැසි රාජ්‍යයන් සමඟ යුද වැද එයින් ජයගෙන මේ නදී
තීරයේ විවේක සුවෙයන් සිටියා. රජතුමාට මේ හඬ ඇසී මේ පුරුෂයා මම දිනුවා කියා හඬ
නඟන්නේ ඇයි? කුමක්ද ඔහු දිනා ඇත්තේ? ඒ ගැන විමසිය යුතුයි සිතා එතුමා ගෙන්වා “පුරුෂය
නුඹ දිනුවේ කුමක් ද?” කියා ඇසුවා.
මේ කුද්දාල පඬිතුමා තමාගේ දිනුම විස්තර කරමින් ගඟේ දිය රැළි දෙස බලා එය නිමිත්ත
කරගෙන ධ්‍යාන උපදවා අහසින් නැඟී අහසේ සිට රජුට දහම් දෙසුවා. ඒ දහම් අසා රජතුමාටත්,
මහා පිරිසටත් පැවිදි වීමට සිතුණා. රජතුමා එතුමාගෙන් අසනවා
”ඔබතුමා දැන් කොහිද යන්නේ”
”මම හිමාලයට ගොස් පැවිදි වෙනවා”
”එසේනම් මම ද ඔබ හා පැවිදි වෙමි. “ රජතුමා කිව්වා. රජතුමාගේ පිරිස ද “අපිද පැවිදි
වෙමු” කියා කිව්වා. අතිවිශාල පිරිසක් පැවිදි වුණා. සියලු දෙනාම හිමාලයට පිටත් වුණා.
කුද්දාල පඬිතුමාගේ පැවිදිවීම දුටු සක් දෙවිඳු විස්කම් දෙවිපුතු ලවා විශාල විහාරයක්
ඉදිකර දුන්නා. කුද්දාල පඬිතුමා ඔවුන් සියලු දෙනාට ම ධ්‍යාන උපදවා ගන්නට අනුශාසනා
කළා. ඒ සියලු දෙනා මරණින් පසු බඹලොව ඉපදුණා. ඔවුන්ට උපස්ථාන කළ පිරිස දෙව්ලොව
ඉපදුණා.
- නයනා නිල්මිණී |