සතුරු බලවේගවල ගොදුරක් නොකොට දරුවන් රැක ගනිමු
ජාතික පිරිවෙන් උපදේශක
ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
මව්පියන්ගේ වටිනා ම සම්පත දරුවා ය. යහපත් පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වීමට තම
දරුවාගේ අනාගතය ගොඩනැඟීම මව්පියන්ගේ වගකීම ය.
වර්තමානයේ අපේ දරුවන් විවිධ සමාජ ප්‍රශ්නයන්ට ගොදුරු වෙමින් සිටී. විශේෂයෙන් වයස
අවුරුදු 12-20 ත් අතර වයසේ පසුවන දරුවන් මත්ද්‍රව්‍යයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවක්
දක්නට ලැබේ.
මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පිළිබඳ ව ඒ පිරිස් පුනරුත්ථාපනය කරන ආයතන සහ ශ්‍රී
ලංකා පොලීසිය මගින් ලබාගෙන ඇති දත්ත අනුව ඒ බව පැහැදිලි කර ගත හැකි ය.
මේ මොහොතේ අපට විශාල වගකීමක් පැවරේ. ඒ වගකීම රටක ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුව,
පොලීසිය, උසාවිය, පාසල් ගුරුවරු ආදී විවිධ නායකත්වයන්, කණ්ඩායම් අතර බෙදී යන බව
නොරහසකි. එහෙත් මව්පියන්ට තම දරුවන්ගේ වගකීම තවත් කෙනෙකුට පවරා නිදහස් විය හැකි ද?
දරුවන් ආරක්ෂා කර ගන්නට තමන්ට ඇති වගකීම පැහැර හැරිය හැකි ද? වර්තමානයේ දරුවන් නොමඟ
යාම ගැන සමාජය තුළ විශේෂයෙන් කතා බහට ලක්වේ. එහි ප්‍රධාන වගකිව යුත්තන් වන්නේ ද
මව්පියන් ම ය. ඇතැම් මව්පියවරු අතර, පවුල් අතර තිබෙන විරසකකම් දරුවන්ට බරපතළ
හානියක් සිදු කරයි. යම් ලෙසකින් මව විසින් පියාට ගරහනු ලැබීම, පියා විසින් මවට
ගරහනු ලැබීම, දෙදෙනා අතර සිදුවන නිරන්තර අඬදබර තුළ අසරණ වන්නේ දරුවන් ය. එවිට ඔවුන්
සරණක් සොයන්නේ පිටස්තරයන්ගෙනි.
අනෙක් අතට ඇතැම් මව්පියන්ට දරුවන් ගැන සොයා බැලීමට උවමනාවක් නැත. කාලයක් නැත. ඒ
නොසලකා හැරීම්වලින් විශාල ප්‍රයෝජනයක් ගන්නා පිරිසක් සිටී. ඒ දරුවන්ට සතුරු බලවේග
ය. දරුවා මව්පියන්ගේ දෑස් මානයෙන්, දුරස් වන්නේ යම් මොහොතක ද, නොසැලකීමට ලක්වන්නේ,
සොයා බැලීමකට නතු නොවන්නේ යම් මොහොතක ද, ඒ සතුරු බලවේග ඉතා වේගයෙන් දරුවන් තමන් වෙත
නතු කරගනී. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, විවිධ දූෂිත අරමුණු ඇත්තන් ඒ සතුරු බලවේග
අතර ප්‍රධාන ය.
කුරුල්ලෙක් තම කුරුලු දරුවන් සඳහා ඉතා ආරක්ෂිත ව තනා ගන්නා කැදැල්ලකට වුව ද රිංගා ඒ
කුරුලු බිජු ගිල ගන්නා සතුරු කුරුල්ලන්, සර්පාදීන් සිටී. බොහෝ ආරක්ෂිත කුරුලු
කූඩුවට ද යම් ආකාරයක සතුරු බලවේග පැමිණේ. අම්මා, අප්පච්චි මේ තත්ත්වය හොඳින් තේරුම්
ගත යුතු ය. අපගේ දරුවන් හදා වඩා ගන්නට සිදු වන්නේ, රැක ගන්නට සිදු වන්නේ දසන්
දෙතිසක් මැද තිබෙන දිව ලෙස ය. සෑම මොහොතක ම එක්තරා භයානක රකුසෙක් දරුවන් ගිලගන්නට
බලා සිටින බව අමතක නොකළ යුතු ය. විශේෂයෙන් තමන්ගේ රැකවරණයෙන් බැහැර වූ දරුවා තවත්
කෙනෙකුට ගොදුර කර ගැනීමට ඉතාමත් පහසු ය.
මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුත්තක් වේ. එක්තරා කාලයක් මව්පියන් විසින් තම දරුවන්
ඇදගෙන යනු ලබයි. දරුවා ගැන සොයා බලන්නට අම්මා, තාත්තා, පාසල් පන්ති කාමරයට පවා
පිවිසේ. ගුරුවරු ගුරුවරියන් සමඟ ඉතාමත් සුහද වේ. ඇතැම් විට දරුවාට ඒ තුළ පන්ති
නායකකම් ,ශිෂ්‍ය නායකකම්. එසේත් නැතිනම් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වය ආදි දේ
බලාපොරොත්තු වේ. මේ යන ගමන තුළ දරුවා 10-11 ශ්‍රේණිවලට පිවිසීමත් සමඟ මව්පියන්ට
ඔවුන් වෙනුවෙන් වැඩිපුර වියදම් කරන්නට සිදු වේ. එතැන් සිට දරුවන් ඇදගෙන යාමේ කාර්ය
භාරය ඔවුන් තුළින් ටිකෙන් ටික මඟ හැරේ.
එවිට ගුරු භවතුන් මුණ ගැසී ලැබූ වරප්‍රසාද ලබා දීමට නොහැකි වේ. සමහර විට මෙතෙක් ඒ
දරුවා නායකත්වයන්, විශේෂත්වයන් ලබා තිබුණේ සිය දක්ෂතා නිසා නොවීමට පුළුවන. එවැනි
දරුවන් මේ පසුබිම් තුළ නිතැතින් ම කඩා වැටේ. ඒ කඩා වැටීම දරුවාට විශාල මානසික
ප්‍රශ්නයක් බවට පත්වනු ඇත. විවිධ නායකත්වයන්, පිළිගැනීම්, වරප්‍රසාදයන් ටිකෙන් ටික
බිඳ වැටෙන විට දරුවා තවත් පැත්තකට යොමු වේ. විශේෂයෙන් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම
ප්‍රධාන වේ. මේ නිසා මව්පියන් ඉතා ප්‍රවේශම් විය යුතු වේ. ඒ වගේම අම්මා , අප්පච්චි
ලෙස දරුවන්ට බැරි බර පැටවීමෙන් වැළකිය යුතු ම ය.
උදේ පාසල් යන්නට සූදානම් වන මොහොතක දී වුව ඉහළින් ම විභාග සමත්වන ලෙස, ඒ සාමාර්ථ
නවයක් ම ගන්නා ලෙස දරුවාගෙන් ඉල්ලා සිටිනවාට වඩා තමන්ගේ ආගම ධර්මය අනුව සෙත්
ප්‍රාර්ථනා කිරීම ඉතා වටී. තමන්ගේ ඉලක්ක වලටම දරුවා නතු කිරීම තුළ දරුවාගේ සිතට
දැනෙන්නේ මහා පීඩනයකි. මව්පියන්ගේ මුවින් ‘ජය සිරි මහා බෝධි හාමුදුරවන්ගේ පිහිට
ලැබේවා’ ආදී ලෙසින් ප්‍රාර්ථනාවක් දරුවාට ඇසෙන විට එය මොන තරම් මානසික ශක්තියක්
වනවාද? එහෙත් පෙර කී ලෙස බැරි බර පැටවීම තුළ සිතට දැනෙන පීඩනය තුළ දරුවන් බොහෝවිට
මත්ද්‍රව්‍යයන්ට, විෂම වැඩවලට යොමුවීමට ඇති අවස්ථා බොහෝ ය. මේ බව ද හොඳින් සිහියට
ගෙන අපේ මව්පියන් තම හැසිරීම් හසුරුවා ගත යුතු ව තිබේ. එහිදී මව්පියන් විසින්
දරුවන් මෙහෙයවීම අත්‍යවශ්‍ය වේ. එහෙත් බලහත්කාරයෙන් දරුවා ඉලක්ක වෙත තල්ලු කරමින්
පීඩනයක් නොදිය යුතු වේ.
ඇතැම් මව්පියන් තමන් තුළ තිබෙන සිහින ඉටු කර ගන්නට උත්සාහ කරන්නේ දරුවන් වෙතිනි.
වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් ආදි විවිධ චරිත දරුවන් තුළින් ගොඩනඟන්නට ඇතැම්
මව්පියවරු වෙහෙසෙති.
දරාගන්නට නොහැකි පීඩනය දරුවා නිතැතින් ම වැරැදි මගට යොමු කරයි. මානසික ව කඩා
වැටුණු, නොසැලකිල්ලට ලක් වූ දරුවන්ට ආදරය සෙනෙහස දක්වන බවට රංගනයක යෙදී ඔවුන් තමන්
වෙත නතු කරගෙන, තමන්ගේ ව්‍යාපාරික අරමුණු, දූෂත ක්‍රියාකාකරම්වලට යොමු කරවීමට බාලා
සිටින මිනිස් වෙසින් එන යක්ෂයින්ගෙන් දරුවා මුදාගත හැකි අම්මා, අප්පච්චි ඔබට ම ය.
තම මව්පියන්ගේ නිසි රැකවරණය, ආදරය, කරුණාව, දරුවාට අත්‍යවශ්‍ය ය. ඒ වගේම දරුවන්ට
පීඩනයකින් තොරව ජීවත් වීමට නිවෙසේ පරිසරය ද සාමකාමි විය යුතු ය. ඒ තුළ දරුවන් බාහිර
බලවේගවලට සමීප නොවනු ඇත. මත්ද්‍රව්‍ය රකුසාගේ ගොදුරක් බවට පත් නොවනු ඇත.
- රමණී සුබසිංහ |