[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තමාට පිහිට තමා ම ය

තමාට පිහිට තමා ම ය

ත්‍රිපිටක බුද්ධ දේශනා අතර, ධම්පද පාළිය ධර්මෝපදේශ මැනවින් සංගෘහිත ග්‍රන්ථයකි. එහි භික්‍ෂු වර්ගයෙහි ඇතුළත් “තමාට පිහිට තමා ම ය. තමා ම තමාගේ පිළිසරණ ය. එබැවින් අශ්වයෙකු දමනය කරන අශ්ව වෙළෙන්දෙකුමෙන් තමා ම තමා දමනය කරගත යුතු වේ” යන බුදු වදනින් ආත්ම සංයමයේ උත්තමාර්ථය ප්‍රකට වේ. මෙම දේශනාව වර්තමානයේ විවිධ ආකාරයට අර්ථකතනය කරනු ලැබේ. ගැඹුරු ආධ්‍යාත්මික අර්ථයක් ඉදිරිපත් කරන මෙම පාඨය සමාන්‍ය අරුතකින් වටහා ගැනීම සදොස් ය.

ධර්මානුකූල ව එහි ගැඹුරු අර්ථය විමසා බැලීම වැදගත් වේ. “අත්ත” යන පාලි වචනයෙහි අර්ථ කීපයක් දක්නට ලැබේ. ඒ අතුරින් ආත්මය හා තමා යන අරුත් ප්‍රධාන වේ. ධම්මපද ගාථාවේ “අත්ත” යනුවෙන් අදහස් කරන්නේ තමා හෙවත් පුද්ගලයා යන්න ය. ඒ අනුව තමාට පිහිට තමා ම යන්න එයින් ගම්‍ය වේ. තමා තමාම පිහිට කොට ගැනීම යන්නෙන් අදහස් කෙරෙන්නේ පුද්ගලයාම පුද්ගලයාගේ ඉරණම විසඳන, එයට වගකියන, ඒ පිළිබඳ තීරණය කරන තැනැත්තා බවයි. බුදුරජාණන් වහන්සේ දෙවියෙකු හෝ ගැලවුම් කරුවෙකු නොවේ. උන්වහන්සේ මාර්ගය සොයාගත් එහි ගමන් කළ, ගමන නිමා කළ උතුමන් වහන්සේ වෙති. එසේම, උන්වහන්සේ තමන්වහන්සේ ම පිහිට කොටගෙන විමුක්තිය සාක්‍ෂාත් කළහ.

එපමණකින් නොනැවතී සෙසු ලෝකයාට ද එම මාර්ගය හා නිෂ්ඨාව ඉදිරිපත් කළහ. මෙනිසා බුදුරජාණන් වහන්සේ මාර්ගය දත් (මග්ගඤ්ඤූ), මගකියන (මග්ගක්ඛායි) ශාස්තෘවරයෙකු මිස මග කැඳවාගෙන යන්නෙකු නොවේ. බුදු රදුන් විසින් තමන් වහන්සේ හඳුන්වාදෙනු ලැබුවේ මගපෙන්වන මාර්ගෝපදේශකයකු ලෙස මිස, මග කැඳවාගෙන යන්නෙකු ලෙස නොවේ. එසේම උන්වහන්සේ අනුශාසනා ප්‍රාතිහාර්ය යටතේ සමාජයට මගපෙන්වන ශාස්තෘවරයෙකු ලෙස ද හඳුන්වා තිබේ.

බුදු රදුන්ගේ කාර්ය භාරය වූයේ පුද්ගලයාට සසර දුකින් නිදහස් වීමට මඟ පෙන්වීම පමණි. එම මාර්ගයේ ගමන් කිරීම හෝ ප්‍රතිපදාව අනුගමනය කිරීම ශ්‍රාවකයා සතු වගකීම වේ. පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටිමින් ම උන්වහන්සේ ලෝකයට අනුශාසනා කළේ මිනිසා තමා ම පිහිටකොට ගෙන, තමා ම පිළිසරණ කොටගෙන, තමා ම දිවයිනක් කරගෙන වාසය කළ යුතු බවයි. මෙම පසුබිම අනුව තමාට තමාම පිහිටකොට යන්නෙහි මූලික අර්ථය වන්නේ පුද්ගලයා ම එම පුද්ගලයාගේ ආධ්‍යාත්මික විමුක්තිය හා සංසාරික පැවැත්ම කෙසේද යන්න තීරණය කරනු ලබන තීරකයා වන බවයි.

බුදුදහමේ අතිශය දාර්ශනික විවරණයක් වන “අත්තාහි අත්තනො නථෝ” යන්න විමුක්තිය මෙන්ම සංසාරික පැවැත්ම සම්බන්ධයෙන්ද අර්ථවත් වේ. විමුක්තිය සාක්‍ෂාත් කළ යුත්තේ පුද්ගලයා විසින්ම ය. අයෙකුට තවත් අයෙක් ගලවාගත නොහැකි ය. එසේම ආධ්‍යාත්මික වශයෙන් පිරිසිදුකළ නොහැකි ය. එබැවින් බුදුරදුන් වදාළ නිවන හෝ විමුක්තිය ලැබෙන්නේ ඒ කෙරෙහි වන පුද්ගල උත්සහාය හා කැපවීම අනුව ය. පුද්ගලයා විසින් රැස්කරනු ලබන පින් පව් කර්ම අනුව එම තැනැත්තාගේ සසර පැවැත්ම තීරණය වේ. එබැවින් පුණ්‍ය-පාප කර්මවල නිමැවුම්කරුවා වන්නේ පුද්ගලයා ම ය. තමා කරනු ලබන සියලුම හොඳ සහ නරක කර්මවල වගකිව යුත්තා තමා ම ය. තමාම තමාගේ ගතිය හෙවත් සසර පැවැත්ම තීන්දුකරන්නාය (අත්තාහි අත්තනො ගති) යන්නෙහි අර්ථය එය වේ. මෙම අර්ථයෙන් ගත්විට ආධ්‍යාත්මික විමුක්තිය හා සංසාරික පැවැත්ම සම්බන්ධයෙන් පුද්ගලයාට තමා හැර වෙනත් කවර හෝ පිහිටක් නොමැත. එසේ නොමැති ව ව්‍යවහාරික ලෝකයේ සමාජීය වශයෙන් කෙනෙකුට තවත් කෙනෙකුට පිහිටවිය නොහැකිය යන්න මෙයින් අදහස් නොවේ. බුදු වදනට අනුව තමාගේ පිහිට හා පිළිසරණ තමා වන හෙයින් ආත්ම දමනයක් සංයමයක් ඇති කර ගන්නා මෙන් බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරති. නිර්වාණාවබෝධය සංසාර දුකෙහි නිමාවයි. පාප හා අකුසල කර්ම රැස් නොකිරීම සසර සැප පිණිස හේතුවේ. නිවන් දකින තෙක් සුගති සංඛ්‍යාත භවයක ඉපදීමට අවශ්‍ය ශක්තිය මෙන්ම පදනම සැකසෙන්නේ පුණ්‍ය කර්ම රැස් කිරීමෙන් ය. දුගතිය මෙන්ම එහි උපතට ඉවහල්වන පාප කර්ම රැස්කිරීමෙන් සාකල්‍යයෙන් ම වැළකිය යුතු ය යන්න බුදුරදුන්ගේ අනුශාසනයයි(සබ්බ පාපස්ස අකරණං). ආත්මදමනය හෙවත් සදාචාර සම්පන්න ජීවිතය නිර්වාණාවබෝධයට මෙන් ම, සසර සැප පිණිස ද අත්‍යවශ්‍ය වේ.

සීලය විමුක්ති මාර්ගයේ පදනම වශයෙන් පිළිගැනෙන්නේ එම අර්ථයෙන් ය. උක්ත බුදු වදනෙහි දැක්වෙන පරිදි අශ්ව වෙළෙන්දෙකු අසුන් හික්ම වන්නාක් මෙන් පුද්ගලයා විසින් ආත්ම දමනයක් හා සංයමයක් ඇතිකරගත යුතු වේ. ආත්ම සංයමය යනු තිදොර සංවරකර ගැනීමයි. එය මැනවින් සංවර කරගත් තැනැත්තාට විමුක්තිය සාක්ෂාත් කිරීම පහසුවන අතරම දුගතියෙන් තොර සුගතිසංඛ්‍යාත භවයක ඉපිද සසර සැපවත් කරගැනීම ද කළ හැකි වේ.

අශ්ව වෙළෙන්දාගේ අරමුණ වන්නේ තම අසුන්ට වැඩි වටිනාකමක්, මිලක් ලබාගැනීම ය. එබැවින් ඔහු විසින් ඉතා මැනවින් අසුන් පුහුණුකරනු ලැබේ. මැනවින් පුහුණු කළ අසුන්ට ඉහළ ඉල්ලුමක් පවතින අතර, එයින් වෙළෙන්දාට විශාල ලාභයක් ලැබේ. එසේම තිදොර සංවර කරගත් පුද්ගලයාට සමාජමය වශයෙන් ප්‍රතිලාභ රැසක් ලැබිය හැකිවේ.

එපමණක් නොව තිදොරින් සිදුවන අකුසල සහගත ක්‍රියා හේතුවෙන් නිපැයෙන කර්ම ශක්තිය බිඳ දැමූ හෙයින් නිසැකව ම දුගති භවයක උපත සිදු නොවේ. එය එම තැනැත්තාට සංසාරික වශයෙන් ලැබෙන මහත් ප්‍රතිලාභයකි. මේ වනාහි තමාම තමාට පිහිටකොට වාසය කිරීම වේ.

විමුක්තිය හා සසර පැවැත්ම සම්බන්ධයෙන් තමාට තමා පිහිට යැයි දක්වුව ද ව්‍යවහාරික ජීවිතයේ ඇතිකරගන්නා සමාජ සම්බන්ධතා මගින් පිහිටක් නැතැයි යන අදහසක් ඉහත බුදු වදනින් කිසිසේත් ම ගම්‍ය නොවේ. සමාජ ජීවිතය තුළ එකිනෙකාට පිහිටක් වෙමින් වාසය කිරීම යනු අන්‍යයන්ගේ දුක් සැප දෙකෙහි නොවෙනස් ව, එක්ව වාසය කිරීම ය. එය උසස් මිත්‍ර දහමක් වන අතර සත්පුරුෂ ගුණයක් වේ. මෙම පිළිවෙත ගිහි පැවිදි දෙපක්‍ෂයටම පොදුවේ.

පළමුව උපකාර කිරීමත්, කළ උපකාරවලට ප්‍රත්‍යූපකාර කිරීමත්, දුර්ලභ සාධු ගුණයක් ලෙස දහමින් අවධාරණයකර තිබේ (පුබ්බකාරී කතඤ්ඤූ කතවේදි). සිගාලෝවාද සූත්‍රයෙහි සමාජ ආයතන හයක් යටතේ දැක්වෙන්නේ යුතුකම් හා වගකීම් ඉටුකරමින් ඔවුනොවුන් පිහිටකොට වාසය කිරීමේ පිළිවෙතයි. නිවන් දුටු වීතරාගී උතුමෝ ද ඔවුනොවුන් හා පිහිටකොට වාසය කළ බව පිටකාගත තොරතුරු මගින් සනාථ වේ.

දැඩි ලෙස ගිලන් වූ තිස්ස තෙරුන්ට බුදුරජාණන් වහන්සේ සියතින් ම උපස්ථාන කළහ. අග්‍රෝපස්ථායක ආනන්ද තෙරණුවෝ තථාගතයන් වහන්සේට පරිනිර්වාණය තෙක්ම අපරිමිත දායාවෙන් හා කරුණාවෙන් උපස්ථාන කළහ. මේ නිදසුන් මගින් පැහැදිලි වන්නේ ව්‍යවහාරික ජීවිතයේ එකිනෙකාට පිහිට වෙමින් වාසය කිරීමේ උදාර ගුණයයි.

බුද්ධිමත් කෙනෙකුට එම ව්‍යවහාරික සම්බන්ධතා තමාගේ ආධ්‍යාත්මික ජීවිතයට ද පිහිටක් කරගත හැකි ය. උදාර මිනිසුන්ගේ ඇසුර තම අධ්‍යාත්මික කුසලතා වර්ධනය කරගැනීමට අවස්ථාවක් කරගත හැකි ය. මව්පියන්ට, ගුරුවරුන්ට, ගිලනුන්ට හා ආධ්‍යාත්මික ජීවිතයට කැපවූ උතුමන්ට උවටැන් කිරීම පුණ්‍ය කර්මයකි. එය තමාගේ පරලොව ජීවිතයට ද පිහිට කරගත හැකි ය.

එදිනෙදා ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන්ට උපකාර කිරීමට අවස්ථාව උදාවේ. එවැනි අවස්ථාවල තමාට හැකි පමණින් උපකාර කිරීම ආධ්‍යාත්මික සතුට වර්ධනය කරගැනීමට උපකාරී වේ. මේ සියල්ල නිරපේක්‍ෂව පෙරලා කිසිවක් අපේක්‍ෂා නොකොට කළ හැකි නම් එහි අගය තවත් වැඩිවේ. මේ සියල්ල මෙසේ කළ ද විමුක්තිය හා සංසාරික පැවැත්ම සම්බන්ධයෙන් තමාට පිහිට තමා ම ය යන්න වටහාගත යුතුවන අතර, ඒ සඳහා ඉවහල්වන ආත්ම දමනය හා ශික්ක්‍ෂණය ඇතිකර ගැනීම අවශ්‍ය වේ. බුදුරදුන් වාදාළ පරිදි ධර්මය මග පෙන්වන මාර්ගෝපදේශකයා වන අතර මාර්ගයේ ගමන් කිරීම ශ්‍රාවකයාගේ වගකීම හා යුතුකම වේ.

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk