[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහත්ඵල මහානිශංස ලැබෙන ලෙස පින් කරමු

මහත්ඵල මහානිශංස ලැබෙන ලෙස පින් කරමු

මේ ජීවිතයෙන් පසු නැවත භවයක් සත්ත්වයාට උරුමව පවතී. අප කවරදා හෝ දිනක මේ ජීවිතය අත්හැර යා යුතු ය. එයින් පසු තවත් ආත්ම භවයක හට ගැනීම අනිවාර්ය වේ. නමුදු ඊළඟ ආත්ම භාවය කුමන අයුරින් සැකසෙන්නේ ද යන්න නිශ්චිත ව කීමට අපහසු ය.

එදිනෙදා ජීවිතයේ දී විවිධ අයුරින් අපට ආරාධනා ලැබෙනු ඇත. බොහෝ දුරට මනුෂ්‍ය ජීවිත ගත කිරීමේ දී පෙනෙන්නට තිබෙන සාමාන්‍ය ලක්ෂණයක් ලෙස එය හැඳින්වීමට පුළුවන. ඒ අනුව මංගල අවස්ථා, සාද, නිවෙස් විවෘත කිරීම් ආදී විවිධ උත්සව සඳහා ආරාධනා ලැබෙනු ඇත.

පැවිදි පක්ෂය ගත් කල්හි දනට, බණට, පාංසුකූලයට, පිරිතට ආදී වශයෙන් ආරාධනා ලැබෙනු ඇත. එම ආරාධනා එදිනෙදා මනුෂ්‍ය ජීවිත හරහා යාව ජීව ක්‍රියාවලියක් වනු ඇත.

ජීවිතයෙන් සමුගැනීමට මාරයාගෙන් ද ආරාධනා ලැබෙනු ඇත. බුදු හිමිට ද එලෙස මාරයා ආරාධනා කළ අයුරු බුද්ධ චරිතය තුළින් පැහැදිලි වේ. තවද ශ්‍රාවක ශ්‍රාවිකා චරිත තුළින් ද ඒ සම්බන්ධ ව කරුණු තහවුරු වේ.

මේ ජීවිතයෙන් පසු නැවත භවයක් සත්ත්වයාට උරුමව පවතී. අප කවදා හෝ දිනක මේ ජීවිතය අත්හැර යා යුතු ය. එයින් පසු තවත් ආත්ම භවයක හට ගැනීම අනිවාර්ය වේ. නමුදු ඊළඟ ආත්ම භාවය කුමන අයුරින් සැකසෙන්නේ ද යන්න නිශ්චිත ව කීමට අපහසු ය.

එය කුසලාකුසල කර්ම තුළින් ම නිර්ණය වේ. චුති චිත්තයට අනුව ද ඊළඟ භවයේ සුබ අසුබ පැති නිර්මාණය වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇත. කෙසේ නමුදු අප නිරතුරු සිදු කරන්නේ කුසල කර්ම නම් ඊළඟ භවය සුගතිගාමී වීමේ ප්‍රවණතාවය වැඩි ය. එවිට ඊළඟ භවය ගැන බිය වීමට අවශ්‍ය නැත. නිරතුරුව ම පින් දහම් කරන අයට ලැබෙන ආරාධනා ද ඉතා ඉහළ මට්ටමකින් සිදු වේ. බලගතු ය. එවැනි උසස් ආකාරයෙන් ආරාධනාවක් ලැබීමට තරම් භාග්‍යවන්ත වීම ඉතා දුර්ලභ කරුණකි. නමුදු බුදු හිමි කල ධම්මික උපාසකතුමාට දිව්‍ය ලෝක හයෙන් ම ආරාධනා ලැබීම මොන තරම් වාසනාවක් ද? ඒ බව ධම්ම පදය තුළින් විවරණය වේ.

ධම්මික නමින් උපාසක තුමෙක් බුදුන් කල සැවැත් නුවර විසී ය. ඔහුට දියණිවරු හත් දෙනෙක් හා පුතණුවරු හත් දෙනෙක් වශයෙන් වූ හ. ධම්මික උපාසකතුමා ඉතා ශ්‍රද්ධාවන්තයෙක් ය. තුණුරුවන්ට නිරතුරුව ම පුදසත්කාර කරමින් ධාර්මික ජීවිතයක් ගත කළේ ය. ධම්මික උපාසක තුමාගේ ස්වාමි දියණිය ද, දූ දරුවන් ද ඒ ආකාරයෙන් ම පිනට දහමට ලැදි ය. වයෝවෘද්ධව, රෝගාතුර වී මරණ මඤ්චකයෙහි සිටින ධම්මික උපාසකතුමා දූවරුන් ළඟට කැඳවා ඔවුනට ආමන්ත්‍රණය කරන්නේ, තමනට සතිපට්ඨාන සූත්‍රය ඇසීමට අවශ්‍ය බවත්, ඒ සඳහා භික්ෂූන් වහන්සේ දහසය නමක් වඩම්මවා දෙන ලෙසත් ය. ඒ අනුව දූ දරුවෝ ද එම යුතුකම ඉටු කරනු වස් භික්ෂූන් වහන්සේ දහසය නමක් නිවසට වඩමවා තම පියාට සතිපට්ඨාන සූත්‍රය ශ්‍රවණයට සැලැස්වීය. එම දේශනාව ශ්‍රවණය කරන අවස්ථාවේ දී ධම්මික උපාසකතුමා ටිකක් නවතින්න, ටිකක් නවතින්න’ යැයි කිහිප වතාවක් ම ප්‍රකාශ කළේ ය. පසුව භික්ෂූන් වහන්සේලා පිරිත් ඇසීම ප්‍රමාණවත් යැයි සිතා පිරිත නවතා විහාරයට වැඩම කළහ. එම පුවත බුදුරදුන්ට ද දැන්වීය. එවිට බුදුරදුන් එම ප්‍රකාශය දෙවියන්ට කළ එකක් බවත්, එසේ පැවසුවේ සියලුම දිව්‍ය ලෝකවලින් ධම්මික උපාසකතුමාට ‘අපේ දිව්‍ය ලෝකයට එන්න’ ‘අපේ දිව්‍ය ලෝකයට එන්න’ කියමන් ආරාධනා ලැබුණු බවත් යනුවෙන් එම භික්ෂූන් වහන්සේලාට දන්වා සිටිය හ.

එතුළින් පැහැදිලි වන්නේ පින් කිරීම දිට්ඨධම්මවේදනීය වශයෙන් විපාක දීමක් නොවේ ද? ධම්මික උපාසකතුමා ජීවත්ව සිටිය දී නිරතුරුවම පින් දහම් සිදු කළේ ය. පවුල් ජීවිතය ද ද ධාර්මික ව පවත්වාගෙන ගියා සේ ම තමන්ගේ ස්වාමි දියණියට, දූ දරුවන්ට ඉටු විය යුතු යුතුකම් කොටස ද නො පිරිහෙලා නිසියාකාර ව ඉටු කළේ ය. එහි ප්‍රතිඵලය වූයේ මිය යන්නට ආසන්න මොහොතේ දී දිව්‍ය ලෝකවලින් ආරාධනා ලැබීම යි. සෝවාන් වී සිටි ධම්මික උපාසකතුමා මිය පරලොව ගොස් තුසිත දිව්‍ය ලෝකයෙහි පහළ වූ ආකාරය ආදර්ශයට ගැනීම කාටත් වැදගත් වන සංසිද්ධියකි.

ඉහත කතා පුවත පින් නො කරන, පිනෙහි වටිනාකම නො දන්න, පින් කරන අයට ගරහන අයට හොඳ ආදර්ශමත් කතා පුවතකි. බුදු හිමි පින් කරන අයගේ වටිනාකම එම කතා පුවතටම අලලා තවත් විස්තර කර දෙන අයුරු ඉතා මනරම් ය. ඒ අනුව ධම්ම පදයේ යමක වග්ගයේ 16 වැනි ගාථාව ඉතා වැදගත් වේ.

ඉධ මෝදති පෙච්ච මෝදති
කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති
දිස්වා කම්ම විසුද්ධිමත්තනෝ

“පින්කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටු වෙයි.” හෙතෙම තමාගේ පිරිසුදු (කාය, වාග්, මනෝ) පුණ්‍ය කර්මයන් බලා සතුටු වෙයි. බලවත් සේ සතුටු වෙයි. සිද්ධ කළ කර්මය දැක සතුටු වෙයි. වැඩි වැඩියෙන් සතුටු වෙයි.මෙතැන දී පින් යනුවෙන් දක්වා ඇත්තේ දස පුණ්‍ය ක්‍රියා ය. එනම්,

දානං සීලං ච භාවනා
පත්ති පත්තානු මෝදනා
වෙය්‍යා වච්ච පචායන්ති
දේශනා සුති දිටඨුජු

දාන, ශීල, භාවනා, පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, බණ කීම, බණ ඇසීම, සම්‍යග් දෘෂ්ඨිය. මේ ආදී වශයෙන් පින්කම් දහයක් පිළිබඳ සඳහන් වේ. එම පින්කම් බෞද්ධයින් වෙතින් නිරන්තරයෙන් සිදු වන පින්කම් වුව ද නිසියාකාරව සිදු වනවා ද යන්න පිළිබඳ විමසා බැලිය යුත්තකි. එයට හේතුව මනස ඒ සඳහා හරියාකාරව නො යෙදීම යි. මනස සියල්ලට ම සම්බන්ධ වන බැවින් පින්කම් කිරීමේ දී වුව ද මනස ම ප්‍රමුඛ ස්ථානයට ගැනේ. සිතේ පවතින ලෝභ, දෝෂ, මෝහාදී කෙලෙස් ධර්ම යටපත් කොට ඒ වෙනුවට කුසල් සිතුවිලි ගොඩ නංවාගෙන පින්කම් කළ යුතුව ඇත. එවිට එහි ආනිසංස මහත්ඵල මහානිසංස බවට පත්වේ. නමුදු අද අන් අය කරනවාට තමන් ද පින්කම් කරනවා හැර එහි යථාර්ථය පිළිබඳ අවබෝධයක් ඇතිව පින්කම් කරන බවක් නො පෙනේ. එවිට සිදුවන්නේ එම කරන පින්කම්වල ප්‍රතිඵලය නිසියාකාරව නො ලැබී යාමයි.

තුන් සිත පිරිසුදු කොට දුන් දානය
උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය

යනුවෙන් ලෝවැඩ සඟරාවෙහි ද 106 වෙනි කවියෙන් සඳහන් වන්නේ තුන් සිත පිරිසුදු කොටගෙන දෙන දානය නිධානයක් ලැබෙනවා හා සමාන බවයි. ඕනෑම ක්‍රියාවක් කිරීමේ දී , කිරීමට පෙර, කරන අවස්ථාව, හා කළාට පසු ආදී වශයෙන් සිතේ ක්‍රියාවලිය තුන් ආකාරයකින් විකාශනය වේ. එම අවස්තාත්‍රය ම පිරිසුදු නම්, එහි ප්‍රතිඵලය ද ඉහළ මට්ටමකින් පවතී.

ඉහත කරුණු තුළින් තහවුරු වන්නේ උපන් සත්ත්වයා නිතර නිතර පින්කම් කර ගැනීම වැදගත් බවයි. එහි ප්‍රතිඵලය ඒ විගසම නො ලැබුණත් ආත්ම ගණනක දී හෝ ලැබෙනු නියත ය. බුදුරදුන් අවධාරණය කළේ පිනට කම්මැලි නො වන ලෙසයි. ඒ බව ලෝවැඩ සඟරාවේ ‘කුමට ද කුසලට කම්මැලි වන්නේ’ යනුවෙන් සඳහන් කොට ඇත. ධම්ම පදයේ පාප වග්ගයේ 03 වෙනි ගාථාව විමසීමෙන් ද පින් කිරීමෙහි වටිනාකම මනාව පිළිබිඹු වේ.

පින් කැමැත්තා එය නැවත නැවතත් කළ යුතු ය. පින් කිරීමෙහි ආසා කළ යුතු ය. පින් රැස් වීම ලොව්තුරා සැපතට හේතු වන හෙයිනි.බුද්ධ දේශනයට අනුව පින් කිරීම සැපයට හේතු වන අයුරු පැහැදිලි වේ. ඒ අනුව නො පමාව කුසල් දහම් හි නිරත විය යුතු ය. පින් කිරීමට හැකියාව තිබිය දී එය නො කරගෙන පසුවට පසුතැවිලි නො විය යුතු ය. දෙවි දේවතාවුන් ගේ පවා ආරාධනා ලැබිය හැකි පින් දහම්හි නිරන්තරයෙන් ම නිරත වී මෙලොව ජීවිතය පරලොව ජීවිතය සැපවත් කර ගැනීමටත් සසර කතරින් අත්මිදී නිවන් සුවයෙන් සැනසීමටත්, සිතට ගැනීම වැදගත් වේ.

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk