[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යහළුවන්ගෙන් පිදුම් ලැබූ වටු පණ්ඩිතයා

යහළුවන්ගෙන් පිදුම් ලැබූ වටු පණ්ඩිතයා

ලාමක ගති පැවතුම් ඇති මිනිසුන් අතින් යුතුකම් ඉටු නොවෙයි.

බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයේ ෂඩ්වර්ගික භික්‍ෂූන් වහන්සේලා පිරිසක් සැරියුත් මහ තෙරුන්ට සෙනසුන් වැළැක්වීම නිසා රාත්‍රිය පුරාම ගසක් මුල වැඩ සිටීමට සිදු වුණ කතා ප්‍රවෘතියක් අසන්ට ලැබුණා.

ඒ වන විට අප තථාගතයන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර. ඔය කාලයේදී ම ශාසනය කෙරෙහි හිත් පහදවා ගත් අනේපිඬු සිටුතුමා සැවැත් නුවර ජේතවන නම් විහාරයක් කරවා සාසනයට පුජා කිරීමේ අදහසින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට දූතයන් යැව්වා. ඒ ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා ද සමඟින් රජගහ නුවරින් පිටත් ව විශාලා මහ නුවරට පැමිණ කැමති පරිද්දෙන් එහි වාසය කොට සැවත් නුවර බලා වැඩම කිරීමට ගමන් ඇරඹුවා. උන් වහන්සේලා අතර සිටි ෂඩ්වර්ගික භික්‍ෂූන් වහන්සේලාගේ අතවැසි භික්‍ෂූන් අන් අයට ප්‍රථමයෙන් විහාරයට ගොස් වැඩිමහලු වූ ස්ථවිරයන් වහන්සේලාට සේනාසන (නවාතැන්) වෙන් කිරීමටත් ප්‍රථමව

“ මේ සේනාසන අපගේ උපාධ්‍යන් වහන්සේටය, මේ සේනාසනය අපගේ ආචාරීන් වහන්සේටය, මේ සෙනසුන් අපට ම”යැයි කියමින් තම තමන්ට අදාළව සේනාසන වෙන් කර ගත්තා. පසුව පැමිණි උතුමන් වහන්සේලාට සෙනසුන් තිබුණේ නැහැ. මේ අතර සැරියුත් මහ තෙරුන් වහන්සේගේ අතවැසි භික්‍ෂූන් වහන්සේලා ද පැමිණ සෙනසුන් සෙවුවා. එහෙත් එකදු සේනාසනයක්වත් තිබුණේ නැහැ. සැරියුත් මහතෙරුන් වහන්සේ රාත්‍රිය නවාතැන් ගැනීමට සේනාසනයක් නොලබා තථාගතයන් වහන්සේගේ ගන්ධ කුටිය සමීපයේ ගසක් මුල වැඩ හිඳීමින් ද විටෙක සක්මන් කරමින් ද කල් යැවුවා. බුදුරජාණන් වහන්සේ අලුයම් වේලේ පිටතට පැමිණ උගුර පෑදුවා. ඒ හඬ ඇසු සැරියුත් මහ තෙරුන් ද උගුර පෑදුවා. අවේලාවේ මෙතැන කවුරුන්දැ යි විපරම් කළ භාග්‍යවතුන් වහන්සේට ඒ සැරියුත් මහ රහතන් වහන්සේ බවත්, උන් වහන්සේ රාත්‍රිය ගෙවු ආකාරයත් දැන ගන්නට ලැබුණා. පසුව උන් වහන්සේගේ බස් අසා ධර්ම සංවේගය උපදවාගෙන. “ දැන් වනාහි මා ඉන්නා විටදීම ෂඩ්වර්ගික භික්‍ෂූන් වහන්සෙලා මෙසේ වැඩිහිටියන් නොසලකා හරින්නේ නම් මා පිරිනිවන් පෑ කල්හී මොනවා නොකරයි ද යනුවෙන් සිතා පසුදා සියලු භික්‍ෂූන් වහන්සේ දම් සභාවට කැඳවා මේ පුවත පිළිබඳව විමසුවා.

“ මහණෙනි, ෂඩ්වර්ගික භික්‍ෂූන් මුලින් විහාරයට පැමිණ

ස්ථවිරයන් වහන්සේලාගේ සෙනසුන් වැළකුවෝ ද ?”

“භාග්‍යවතුන් වහන්ස , එය සැබෑව ...” යනුවෙන් පිළිතුරු දුන්නා. ඉක්බිතිව ෂඩ්වර්ගික භික්‍ෂූන්ට ගර්හා කොට දහම් දේශනාව වදාරා, කවරෙකු හට අග්‍ර පිණ්ඩය (ආහාරය ) අග්‍ර ආසන, අග්‍ර උදක ආදිය ලැබීමට සුදුසු වේද ? කවරෙක් අන් අයගේ ගෞරවයට ලක් විය යුතු ද ? කවරෙක් වැදීම්, පිදීම්, සැලකීම් ලැබීමට සුදුසු වේද ? යනුවෙන් විචාළා. සමහරෙක් ක්‍ෂත්‍රිය කුලයේ, බ්‍රාහ්මණ කුලයේ, ගහපති කුලයෙන් ආදි පැවිදි උතුමන්ට යැයි කීවා. සමහරෙක් විනයධර, ධර්මධර වූ පැවිදි උතුමන් වහන්සේලා යැයි කීවා. තවත් අය ධ්‍යානලාභින් සහ පිළිවෙලින් මාර්ග ඵල ලාභී උතුමන්ට යැයි කීවා. මෙසේ තම තමාගේ අභිප්‍රායන් වශයෙන් එම භික්‍ෂූන් ද විවිධ පිළිතුරු දෙමින් මේ මේ අය සුදුසු බව පෙන්වා දුන්නා. ඒ සියලු දෙනාම ප්‍රතික්‍ෂේප කළ බුදු රජාණන් වහන්සේ “ මහණෙනි , මේ ශාසනයෙහි පටි පාටිය (පිළිවෙල) වු පරිද්දෙන් ම වැඳීම ද, හුනස්නෙන් නැගිටීම් ආදි ලැබීම් සහ ගෞරවයන් ලැබිය යුතු වෙයි. ”“දැන් ද වනාහි මහණෙනි, ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මාගේ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ යි. උන් වහන්සේ මා අනුව ධර්ම චක්‍රය පවත්වනවා. මට පසුව සෙනසුන් ආදි සැලකුම් ලබන්නට සුදුසු වෙනවා. ඒ නමුත් ශාරිපුත්‍ර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මේ රාත්‍රිය පුරාම සේනාසනයක් නොලැබ වෘක්‍ෂ මුලයක වැඩ සිටියා. මහණෙනි, නුබලා දැන්ම ඉදන් මෙසේ ආදර ගෞරව නැතිව වෙසෙත් නම් කල් යත් යත් කුමක් නොකරයි ද ? මහණෙනි, පෙර තිරිසන්ගත සතුන් ද එකට වාසය කරන විට එකිනෙකාට ගරු නොකොට වාසය කිරීම සුදුසු නොවන බව දැන කතිකාවක් කර වැඩි මහලු තැනැත්තා තෝරගෙන ඔහුට වැදීම් ආදි ඇප උපස්ථාන කරමින් දිව්‍ය ලෝක ප්‍රාර්ථනා කළා යැයි දේශනා කරමින් අතීත කතාව ගෙනහැර දක්වා වදළා.

යට ගිය දවස හිමාල වනයේ එක් මහා නුග ගසක් තිබුණා. මේ ගස ඇසුරු කරගෙන තිත්තරය (වටුවා ) , වානරයා සහ හස්තියා කියලා යහළුවෝ තුන් දෙනෙක් වාසය කළා. මොවුන් අතරෙ වැඳීම්, ගෞරව කිරීම් ආදි ගරු කටයුතු සැලකීම් තිබුණේ නැහැ. එහෙත් බොහෝ සමගියෙන් තමයි ජීවත් වුණේ. දිනක් මේ තුන්දෙනා විවේකිව කතා කරමින් ඉන්න අතරේ මෙබඳු සිතක් පහළ වුණා. “ අප අතරෙන් කවුරුන් හෝ කෙනෙක් මහලු නම් ඕ හට වන්දනාමාන කරමින් උපස්ථාන කරමින් අවවාද අනුශාසනා ලබමින් ජීවත්වීම සුදුසුයි” කියලා.

අනතුරුව මේ තුන් දෙනාම වැඩිහිටියා තෝරා ගැනීමට උපායක් සිතන්නේ මේ නුග ගසම මූලික කරගෙන වෘද්ධ කෙනා තෝරමු යැයි කියා නුග ගසේ ඉතිහාසය ගැන විමසුවා.

මුලින්ම වටුවා සහ වානරයා යන දෙදෙනා එකුව හස්තියාගෙන් “යහළුව, මේ නුග ගස කවර කාලයක පටන් ඔබ දන්නව ද ” කියා විමසුවා. “ මම මෙතනින් යන කල්හි මේ නුග ගස ලා පැළ කාලයේ මගේ නාභියේ ගෑවුනා. ඉතින් එතැන් පටන් මම මේ ගස ගැන දන්නවා ” කියලා හස්තියා පිළිතුරු දුන්නා.

නැවතත් වටුවා සහ හස්තියා එකතුව වානරයාගෙන් මෙහෙම ඇසුවා. “ යහළුවේ කවරදා සිට මේ ගස ගැන ඔබ දන්නවද? ” “ යහළුවෙනි, මම වානර පැටවා කාලයේ බිම හිඳගෙන හිස ඔසවන්නේ නැතුව නුග පැළෑටියේ දල්ල කෑවා. එතැන් පටන් මම මේ ගස ගැන දන්නවා ” කියලා වානරයා පිළිතුරු දුන්නා.

අනතුරුව පෙර පරිද්දෙන් ම වානරය යි හස්තිය යි දෙදෙනා තිත්තර පණ්ඩිතයන්ගෙන් ද එම පැනයම ඇසුවා. තිත්තර පණ්ඩිතයෝ පිළිතුරු දෙමින් “යහළුවනේ, පෙර වනයේ ඈත මෙවැනිම මහා නුග ගසක් තිබුණා. මම ඒ ගසෙන් ගෙඩියක් අනුභව කොට මෙතනින් යන අතර වර්චස් පිඩක් හෙලුවා. එයින් මේ නුග වෘක්‍ෂය හටගත්තා. යහළුවෙනි, මේ නුග පැළය හටගත් දා පටන් මම මේ ගස හඳුනනවා. එසේ හෙයින් මම නුඹලාට වඩා වයසින් වෘද්ධ වනවා. ” වටු පණ්ඩිතයන් වහන්සේ කීවා.

එවිට බොහෝම ගරු සරු ඇතුව වානරයාත් හස්තියාත් කියනවා “ තිත්තර පණ්ඩිතයෙනි, නුඹ වහන්සේ අපට වඩා වැඩි මහලුයි. ඒ නිසා අප අද පටන් නුඹ වහන්සේට ඇප උපස්ථාන මෙන් ම ගෞරව සම්මාන දක්වමින් නුඹ වහන්සේගේ අවවාදයෙහි සිට කටයුතු කරනවා. අපට අවවාද අනුශාසනා දෙන්න” යැයි කීවා.

එදවස් පටන් තිත්තර පණ්ඩිතයෝත් ඔවුන්ට අවවාද අනුශාසනා දුන්නා. තමනුත් පංචශීලයෙහි පිහිටා, තම යහළුවනුත් පංච ශිලය සමාදන් කරවා ධාර්මිකව ජීවත් වුණා. ඔවු නොවුන් ගෞරව ඇතිව ජීවත් වී කෙළවර මරණින් පසු දිව්‍ය ලෝකයෙහි උපන්නා. “මහණෙනි, තිරිසන් සතුන් පවා ඔවුනොවුන් ගෞරව ආදර ඇතිව ජීවත් වෙනවා. නුඹලා මෙසේ යහපත් ලෙස දෙසන ලද දහම් ඇති මගේ ශාසනයේ පැවිදිව කුමක් නිසා ඔවුනොවුන් ආදර ගෞරව නැතිව වාසය කරයි ද ?”

“මහණෙනි මෙතැන් පටන් සඟ මහලු පිළිවෙළින් වැදීම්, හුනස්නෙන් නැගිටීම්, පිළිවෙළින් අග්‍ර ආසන , උදක, පිණ්ඩය ආදිය ද ලබා දිය යුතුය. මෙසේ ආදර ගෞරව දක්වමින් වැඩිහිටියන්ට සැලකීමෙන් මෙලොව දී ප්‍රශංසාවටත් මරණින් මතු ස්වර්ගලෝකයන් හි උත්පත්තියත් වන බව වදාරා, දහම් දේශනා කොට පුර්වාපර සන්ධි ගළපා වදාළා. මහණෙනි, එකල හස්තියා නම් දැන් මුගලන් තෙරුන් ය. වඳුරා නම් දැන් ශාරිපුත්‍ර ස්ථවිරයන් ය. තිත්තර පණ්ඩිතව උපන්නේ මම් ම නොවේ දැ යි කියා ජාතක කතාව නිමවා වදාළ සේක.

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk