[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආර්ය ශ්‍රාවක ප්‍රතිපදා 06: ධර්මය දැකීම හා බුදු හිමි දැකීම

ආර්ය ශ්‍රාවක ප්‍රතිපදා 06:

ධර්මය දැකීම හා බුදු හිමි දැකීම

මෙහි මුල් කොටස ජූලි 12 පත්‍රයේ පළ විය.

"බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටපු වක්කලී කියන හාමුදුරුවෝ බුද්ධ ශරීරයට පැහැදිලි පසාද ශ්‍රද්ධාව ඇති කර ගත්ත හාමුදුුරු නමක්. දැඩි සේ රෝගාතුර වූ වක්කලී හාමුදුරුවෝ බුද්ධ ශරීරය බලන්න යාමට නොහැකිව හරිම දුකෙන් කනගාටුවෙන් සිටියේ."

ආගම හා අධිගම සද්ධා

බුදු පසේ බුදු මහ රහත් යන ත්‍රිවිධ බෝධියපතා පෙරුම් පුරන බෝධිසත්වයන් වහන්සේලා තුළ ඇති වන ශ්‍රද්ධාව ආගම ශ්‍රද්ධාවයි.

බුද්ධ කාරක ධර්මයන් භවයෙන් භවයට සසර පුරා පුරුද්දක් ලෙස බෝධි සත්වයන් වහන්සේලා තුළ ඇති වෙන්නේ ආගම ශ්‍රද්ධාව නිසයි.

රහතන් වහන්සේ තුළ ඇති ශ්‍රද්ධාව අධිගම ශ්‍රද්ධාවයි. ඒ බව අටුවාව “අරිය සාවකානං පටිවෙධෙන ආගතා අධිගම සද්ධා නාම” යනුවෙන් හඳුන්වා තියෙනවා. ආර්ය ශ්‍රාවකයන්ගේ මාර්ගඵල ප්‍රතිවේධයෙන් ඇති වූ ශ්‍රද්ධාව අධිගම ශ්‍රද්ධාවයි. “ඛීණාසවානං සද්ධායෙතං අධිවචනං” රහතන් වහන්සේලා තුළ ඇති වන්නේ අධිගම ශ්‍රද්ධාවයි.

අමූලික හා ආකාරවතී සද්ධා

ඊළඟට අමූලික ශ්‍රද්ධාව හා ආකාරවතී ශ්‍රද්ධාව දක්වා තියෙනවා. ඒ මෙහෙමයි. “සා පනෙසා අමූලිකා ලක්‍ඛණා ච ආකාරවතී ලක්‍ඛණා ච සද්ධා” යනුවෙන්. අමූලික ශ්‍රද්ධාව මුල් නැතිව එනම් හේතු කාරණා නොමැතිව ඇති වන්නක්. ඒ නිසාම අමූලික ශ්‍රද්ධාව ප්‍රඥාවෙන් තොරයි. ප්‍රඥාවෙන් හීනයි. බුදුරජාණන් වහන්සේ මේ අමූලික ශ්‍රද්ධාව උපමා කරල තියෙන්නේ අන්ධවේණූපමාවටයි. පරම්පරා වශයෙන් බැඳුණු අන්ධයින් වැලක, පළමුවන අන්ධයාත් කිසිවක් දකින්නේ නැහැ. මැද හරියේ සිටින අන්ධයාත් කිසිවක් දකින්නේ නැහැ. අන්තිමට සිටින අන්ධයාත් කිසිවක් දකින්නේ නැහැ. ඒ අය යමක් පිළිගන්නව නම් පිළිගන්නේ, විශ්වාස කරනව නම් විශ්වාස කරන්නේ දැක දැන නෙවෙයි. පරම්පරාවෙන් පරම්පරාවට ආ හා එන ශ්‍රැති මාත්‍රයම අනුව විතරයි. එය හරි හෝ වේවා, වැරදි හෝ වේවා තරයේ පිළිගන්නවා. විශ්වාස කරනවා. සොයා බැලීමක් නැහැ. අමූලික ශ්‍රද්ධාව ඇත්තාත් මේ වගේමයි. කිසිවක් නොදැක, නොදැන පිළිගන්නවා. පරීක්‍ෂා නොකර පිළිගන්නවා. බුදුදහම මේ අමූලික ශ්‍රද්ධාව පිළිගන්නේ නැහැ. අනුමත කරන්නේ නැහැ. මොකද? අමූලික ශ්‍රද්ධාව යනු හේතු කාරණා නොමැතිව, කිසිදු පදනමකින් තොරව ඇති වන්නක් නිසා.

ආකාරවතී ශ්‍රද්ධාව යනු හේතු යුක්ති සහගත ව, පදනම් සහගත වපිළිගැනීමයි. යෝනිසෝ මනසිකාරයෙන් යුතුව සොයා බැලීමෙන්, පරීක්‍ෂා කිරීමෙන් පසුව විශ්වාස කිරීමයි. “ආකාර” යන්නෙන් අදහස් කරන්නේ ම හේතු යුක්ති සහගත බවයි. ආකාරවතී ශ්‍රද්ධාව අටුවාව හඳුන්වන්නේ මෙහෙමයි. “යස්ස කස්සචි භික්‍ඛවෙ ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි ව්‍යඤ්ජනෙහි තථාගතෙ සද්ධා නිවිට්ඨා හොති මූල ජාතා පතිට්ඨිතා අයං වුච්චති භික්‍ඛවෙ ආකාරවතී සද්ධා දස්සන මූලිකා දල්හා අසංහාරියා සමණෙන වා බ්‍රාහ්මණෙනවා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං” මහණෙනි. ශාස්තෘන් වහන්සේ විමසන මේ කරුණුවලින්, මේ පදවලින් මේ අකුරුවලින් තථාගතයන් වහන්සේ කෙරෙහි යමෙකු ගේ ශ්‍රද්ධාව නොසැලීමෙන් පිහිටියේ වේ ද, සෝවාන් මාර්ග වශයෙන් හට ගත් මුල් ඇත්තේ ද, ආර්ය මාර්ගයෙහි නිරන්තරව පිහිටියේ ද, මහණෙනි, මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ වසවත් මරු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලොව අන් කිසිවෙකු විසින් හෝ හැර ගන්නට නොහැකි වූ ස්ථීර වූ දර්ශනය මුල් කොට ඇත්තා වූ මේ ශ්‍රද්ධාව කරුණු පිරික්සා ගත්බැවින් ආකාරවතී ශ්‍රද්ධාව යැයි කියනවා.

මේ හැඳීන්වීමෙන් පැහැදිලි වෙනවා කරුණු හරිහැටි දැනගෙන ඇති වන ආකාරවතී ශ්‍රද්ධාව ලෝකයේ කිසිවෙකුට වෙනස් කරන්න නොහැකි බව. හරියට සූරම්බට්ඨ සිටුතුමාගේ ශ්‍රද්ධාව වගෙයි.

සැවැත් නුවර සූරම්බට්ඨ නම් සිටුතුමෙක් වාසය කළා. ඔහු අන්‍ය තීර්ථකයන්ගේ දායකයෙක්. උපස්ථායක වරයෙක්. මේ සූරම්බට්ඨට සෝවාන් වෙන්න හේතු සම්පත් ඇති බව දැකපු බුදුරජාණන් වහන්සේ දිනක් ඔහුගේ නිවසට පිඬු සිඟා වැඩියා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශාස්තෘ වරයෙකු ලෙස ශ්‍රද්ධාව නැතත් ක්‍ෂත්‍රීය මහා කුලයෙහි උපන් රාජ වංශයේ උත්තමයෙකු නිසා ඇති කර ගත් ගෞරවයෙන් සූරම්බට්ඨ බුදුරජාණන් වහන්සේට දන් පූජා කළා. දන් වළඳා අවසානයේ සූරම්බට්ඨ ඉලක්ක කරගෙනම ධර්ම දේශනා කළ නිසා දේශනාව අවසානයේ සූරම්බට්ඨ සෝවාන් වුණා. මෙයින් අසතුටට පත් වසවර්ති මාරයා බුදුරජාණන් වහන්සේ හා සමාන ම රූපයක් මවාගෙන සූරම්බට්ඨගේ නිවසට ගියා. මේ බුදුරජාණන් වහන්සේ යැයි සිතූ සූරම්බට්ඨ ඉදිරියට ගොස් වැද කුමන කරුණක් නිසා නැවත වැඩම කළේ දැයි විමසුවා.

එවිට මාරයා බුදුවෙස් ගෙන කියනවා “සූරම්බට්ඨය, නුඹට ධර්ම දේශනා කරද්දි එක් කරුණක් අපරීක්‍ෂාවෙන් වැරදියට කියවුණා. සියලු පංචස්ඛන්ධයෝ අනිත්‍යයි, දුකයි අනාත්මයි කියලා දේශනා කළාට ඇත්තටම එය එහෙම නෙවෙයි. නිත්‍ය වූ ත් සැප වූ ත් සදාකාලික වූ ත් සමහර ස්ඛන්ධයන් තියෙනවා” යි කිව්වා.

මේ කතාව නම් ඉතාමත් බැරෑරුම් එකක්. බුදුවරු කවදාවත් නොවිමසා අපරීක්‍ෂාවෙන් කිසිවක් කියන්නේ නැහැ. මේ නම් ඒකාන්තයෙන්ම වෙස් මවා ගත් පවිටු මාරයා ම තමයි සිතූ සූරම්බට්ඨ

“නුඹ මාරයා නේද” යි විමසුවා. තමන් මාරයා යැයි පිළිගත් පසු නුඹ වැනි එක මාරයෙක් නොව මාරයන් දහසක් ආවත් මාගේ ශ්‍රද්ධාව සෙලවිය නොහැකියි පැවසුවා. ආකාරවතී ශ්‍රද්ධාවේ ස්ථීර බවට තවත් කුමන කතා ද?

පසාද සද්ධා

ශ්‍රද්ධාවේ ප්‍රභේද දක්වන ආචාර්යවරු පසාද ශ්‍රද්ධා කියලා තවත් ශ්‍රද්ධාවක් දක්වල තියෙනවා. එය හඳුන්වා තියෙන්නේ “පසාදුප්පත්ති පසාද සද්ධා නාම” සිතේ යම් පැහැදීමක් ඇති වෙනව ද ඒ පසාද ශ්‍රද්ධාවයි. පසාද ශ්‍රද්ධාව කරුණු හතරක් මුල් වෙලයි ඇති වෙන්නේ.

රූපය කෙරෙහි පැහැදීමෙන් ඇති වෙනවා ,

ශබ්දය කෙරෙහි පැහැදීමෙන් ඇති වෙනවා,

රූක්ෂ ප්‍රතිපත්ති කෙරෙහි පැහැදීමෙන් ඇතිවෙනවා. ඒ වගේම,

ධර්මය කෙරෙහි පැහැදීමෙන් ඇති වෙනවා

දැන් ඉන්න ගොඩක් බෞද්ධ පින්වතුන් තුළ තියෙන්නේ මේ කරුණු හතරෙන් එකක් මුල්වෙලා ඇති වෙච්ච පසාද ශ්‍රද්ධාවක් විතරයි. හොඳට මතක තියා ගන්න පසාද ශ්‍රද්ධාවෙන් විතරක් ආර්ය මාර්ගයට ප්‍රවේශ වෙන්න බැහැ.

මිනිස්සු බුදුහාමුදුරුවන් ගේ රූපයට ඇලිලා. කොච්චර ඇළිල ද කිව්වොත් අද ලංකාවේ බුද්ධ රූප, බුද්ධ ප්‍රතිමා මදි වෙලා තායිලන්තයෙන්, බුරුමයෙන් පවා ගේනවා. ගෙන්වනවා. රූපය කෙරෙහි ඇලුණු පසාද ශ්‍රද්ධාව ආර්ය මාර්ගයේ දී කිසිදු අර්ථයක් නැති බව කවුරුවත් කියා දෙන්නේ නැහැ. පැහැදිලි කරලා දෙන්නේ නැහැ. අපි කරන්නෙත් (මහා සංඝරත්නය) තව තවත් ඒ වගේ පින්කම්වලට මිනිස්සු යොමු කිරීමයි. ඒ නිසා අද පන්සල්වල, මහ පාරේ හන්දියක්, හන්දියක් ගානේ හැමතැනම පිළිම පිරිලා. පන්සලකට වුණත් බුදුගෙයි පිළිම වහන්සේයි. බෝධිය ළඟ පිළිම වහන්සේයි. චෛත්‍ය ළඟ පිළිම වහන්සේයි තිබුණම හොඳටම ඇති කියලයි මට නම් හිතෙන්නේ. මේ රූපෙට ඇලීම කොයිතරම් තේරුම් නොගත්ත ද කිව්වොත් සමහර අය ස්වාමීන් වහන්සේලා ගේ රූප කෙරෙහිත් පහදින්න පටන් අරන්.

ඒකනේ ධර්ම දේශනයක් ප්‍රසිද්ධ කරන්න දමන බැනර් එකෙත් දේශකයන් වහන්සේගේ රූපේ දමන්නේ. ඊළඟ දේශකයන් වහන්සේගේ රූපේ හරි මදිනම් ධර්මාසනය හදනවා .ලස්සනට දවස් ගණන් මහන්සි වෙලා, දහස් ගණන් මුදල් වියදම් කරලා. මුළු පළාතම ලස්සනට සරසනවා. විදුලි ආලෝකයෙන් වෛවර්ණ කරනවා. ඉතින් මිනිස්සු තොරණක් බැලුව වගේ මේවා දැකලා බලලා සතුටු වෙනව. පහදිනවා. සිතේ පසාද ශ්‍රද්ධාවක් ඇති කර ගන්නවා. එච්චරයි.

බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ හිටපු වක්කලී කියන හාමුදුරුවෝ බුද්ධ ශරීරයට පැහැදිලි පසාද ශ්‍රද්ධාව ඇති කර ගත්ත හාමුදුුරු නමක්. දැඩි සේ රෝගාතුර වූ වක්කලී හාමුදුරුවෝ බුද්ධ ශරීරය බලන්න යාමට නොහැකිව හරිම දුකෙන් කනගාටුවෙන් සිටියේ. මේ බව දැනගත් බුදුරජාණන් වහන්සේ වක්කලී හාමුදුරුවන් ගේ කුටියට වැඩම කරලා ‘අලං වක්කලී කිං තෙ ඉමිනා පූතිකායෙන දිට්ඨෙන, යො ඛො වක්කලී ධම්මං පස්සති සො මං පස්සති. යො මං පස්සති සො ධම්මං පස්සති”

වක්කලී ,මේ කුණු කය දැකීමෙන් නුඹට ඇති ප්‍රයෝජනය කුමක්ද? වක්කලී, යමෙක් ධර්මය දකිනව නම් ඔහු මා දකිනවා. යමෙක් මා දකිනව නම් ඔහු ධර්මය දකිනවා. ධර්මයෙහි පැහැදුණු තැනැත්තා මා දකිනවා යි දේශනා කළා. මොහොතක් හිතන්න, ජීවමාන බුද්ධ ශරීරයට පැහැදීමෙනුත් ප්‍රයෝජනයක් නැත්නම් අනෙක් රූප ගැන කවර කතාද?

බුදුරජාණන් වහන්සේට තිබුණේ බ්‍රහ්මස්වර හා සමාන කටහඬක් . උන්වහන්සේ ලලිත සුලලිත මධුර මනෝහර කුරවීකනාද නිර්විශේෂාදී බ්‍රහ්මස්වර පවත්වමින් ධර්ම දේශනා කළා කියලයි පොත්පත්වල සඳහන් වෙන්නේ.

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk