[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංසාර සාගරයේ අතරමං වන්නෝ

සංසාර සාගරයේ අතරමං වන්නෝ

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

අන්ධභූතො අයං ලොකො
තනුකෙත්ථ විපස්සති
සකුන්තො ජාලමුත්තෝව
අප්පො සග්ගාය ගච්ඡති

“සුපින්වත්නි”

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලව්නුවර අග්ගාලව විහාරයෙහි දී පේසකාර දුවක් අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

අලව් නුවර වැස්සන්ගේ ආරාධනය පරිදි අප බුදුරජාණන් වහන්සේ එ නුවර අග්ගාලව විහාරයට වැඩ එහි ජනතාවට මරණය පිළිබඳ ව මෙනෙහි කරමින්, භාවනා කිරීමට ධර්ම දේශනා කළ සේක. එම දහම ඇසූ බොහෝ දෙනා තම තමන්ගේ ගෙවලට ගොස් සුපුරුදු කටයුතුවල යෙදුණාහ . එම ධර්ම දේශනා ශ්‍රවණය කරන පිරිස අතර සිටි පේසකාර දුවක් මෙසේ මෙනෙහි කළා ය.

අහෝ! බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍යතාව අපට ප්‍රත්‍යක්ෂ වන ආකාරය ඒ දහම පිළිපදින්නා මෙලොව, පරලොව, යහපත් ලබන්නේ ය. මමද මරණානුස්මෘති භාවනාවේ යෙදෙන්නෙමි’යි අදිටන් කරගත්තා ය.

අප බුදුරජාණන් වහන්සේ ද එම ධර්මය දේශනා කොට දෙව්රම් වෙහෙරට වැඩි සේක. පේසකාර දුවගේ භාවනාව තුන් වසරක් පුරාවට පැවතුණ අතර, කරුණාවෙන් හා ප්‍රඥාවෙන් වර්ධනය වූ ඇය ආධ්‍යාත්මික ගුණයන්ගෙන් සම්පූර්ණ වූවා ය. මෙසේ කල් යවන අතර, අප බුදුරදුන් එක් දවසක අලුයම් වේලේ ලොව බැලූ කල, මෙම පේසකාර දුවගේ මරණය ද, සෝවාන් වීමට ඇති වාසනා ගුණය ද දැක ඇය කෙරෙහි මහත් අනුකම්පාවෙන් අලව් නුවර අග්ගාලව විහාරයට වැඩි සේක.

අලව් නුවර වැස්සන් බණ ඇසීමට අග්ගාලව විහාරයට යන අතරට පේසකාර දුවණිය ද නො කඩවා මරණ භාවනාවේ යෙදී එහි ප්‍රතිඵල ලබන්නට මෙන් ගොස් බණ අසා සෝවාන් ඵලයට පැමිණියා ය.

එම අවස්ථාවේ පේසකාර දුවණිය වෙනුවෙන් දේශනා කළ මෙම ගාථා ධර්මයේ කෙටි අර්ථය මෙසේ දැක්වෙන්නේ ය.

“මේ ලෝවැසියන් අන්ධභූත ය. මෙහි ටික දෙනෙක් යථාර්ථය දකින්නෝ ය. දැලෙන් මිදුණු වටුවෙකු මෙන් ස්වල්ප දෙනෙක් සුගතියට යන්නෝ ය.

මෙම ගාථා ධර්මයෙන් ප්‍රධාන වශයෙන් කාරණා කීපයක් විවරණය වන්නේ ය.

ලෝකය අන්ධභාවය, ටික දෙනෙක් විශේෂයෙන් දකින බව හා එම ස්වල්ප දෙනා සුගතිගාමීවීම ය.

සත්ත්ව ලෝකය පවතින්නේ අවිජ්ජා, තණ්හා යන හේතු දෙක නිසාම ය. අවිද්‍යාවෙන් නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය නො දැනීමත්, තණ්හාවෙන් නාමරූපයන් අල්ලා ගැනීමත් සිදුවන්නේ ය.

සත්ත්වයා මෙලොව උපදින්නේ ද අතීත භවයන් හි දී පැවැති අවිද්‍යාදී හේතූන් නිසා ය. එම හේතුව නිසා තණ්හාවත්, දුකත් ඇති වන්නේ ය. කෙ තරම් දුක්වේදනා ඇති වුව ද, යළිත් සත්ත්වයා රැස් කරන්නේ ද, දුක්වේදනාවන්ට මූලාධාරවන අවිද්‍යාවම ය.

ප්‍රාණය නිසා “ප්‍රාණීන්” යයි ව්‍යවහාර වන අතර ඉපිද පැවැත්ම නිසා “සත්ව“ යන නාමය අන්වර්ථ වන්නේ ය. සත්ත්වයන් අතර මනුසත්වයාට එය පැහැදිලිව අවබෝධ කරගන්නට හැකියාව තියෙන නමුත් බොහෝ දෙනෙක් එයට උනන්දු වන්නේ නැත.

සත්ව සන්තානයේ උපරිමයෙන් ක්‍රියාත්මක වන්නේ තණ්හා චෛතසිකයයි. එයට ප්‍රධාන හේතුව වශයෙන් දක්වා ඇත්තේ අවිද්‍යාව යි. “අවිජ්ඡා පච්චයා සංඛාරා” යනුවෙන් පටිච්ච සමුප්පාද ධර්මයේ දැක්වෙන අතර, සංසාර පැවැත්මට හේතුවන කාම, භව, විභව, තණ්හා ජාලයේ පැටලෙන්නේ ද අවිද්‍යාව හේතුවෙනි.

මේ ලෝකයේ අශ්‍රැතවත් පෘථග්ජනයා රූප,වේදනා, සංඥා සංඛාර , විඤ්ඤාණ යන පංචස්කන්ධයේ ඉපදීම, විනාශය, ආශ්වාදය ආදීනවය. නිශ්සරණය නො දන්නේ නම්, එය අවිද්‍යාව වන අතර එයින් අන්ධවන සත්ත්වයා ලෝක සත්ත්වයන් පිළිබඳ ව යථාර්ථය නො දන්නා බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. අවිද්‍යාව නීවරණයක් වශයෙන් ද , ආශ්‍රවයන් වශයෙන් ද සත්ත්වයාගේ පැවැත්මට හේතුභූත වන්නේ ය.

සතරමහා සාගර සිඳී වියළී යන කාලයක් පැමිණෙන්නේ ය. එහෙත් සත්ත්වයෙකුගේ උපතේ පැවැත්ම අසවල් කාලේ යැයි කියන්නට නොහැකි බව අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

අවිද්‍යාන්ධකාරයෙන් මුළා වන සත්ත්වයා තණ්හා ජාලය තුළ වෙලී පැටලී සිටිනවා පමණක් නොව ජාති, ජරා, ව්‍යාධි, මරණාදී අනේක විධ දුක්වේදනා විඳින්නේ ය. සත්වයා සේම සංසාරේ සැරිසරනවිට සැප වේදනා අවශ්‍ය නම්, අවිද්‍යාව දුරින් ම දුරු කළ යුතු ම වන්නේ ය.

නවීන විද්‍යා මෙවලම් උපයෝගී කරගෙන පංචස්ඛන්ධය පිළිබඳ ව යථාර්ථය අමතක කොට, නිර්මාණවාදය, ආත්මවාදය, යන හැඟීම්වලින් තමනුත් මුළා වී , සමාජයත් මුළා කරන වර්තමාන මානව සමාජයට කිසිම සහනයක් නො මැත.

මිනිසා දියුණුව කරා ගමන් කරනවා යයි කියමින් දැන හෝ නොදැන යන්නේ පරිහානියට බව දැන් ප්‍රත්‍යක්ෂ වන්නේ ය. හැඟීම්, සංකල්පය, පරිකල්පනය, විශ්වාසය. අන්ධානුකරණය යන හැඟීම්වලින් තෙරපෙන මානව සමාජයට අත්‍යවශ්‍ය වන්නේ යථාර්ථවාදී දර්ශනය යි.

මෑත කාලය තුළ මිනිසා ලබාගත් අවිද්‍යාව මූලික කරගත් අත්දැකීම් අනුව මෙයට වඩා සියදහස් ගුණයෙන් යථාර්ථවාදී ව ආගමික දර්ශනයෙන් පෙරටම යායුතු වන්නේ ය. අත්දැකීමෙන් ම අවිද්‍යාව ක්‍රමයෙන් තුරන් කරන්නට හැකි වන්නේ මිනිසාට අවංක චේතනාවත්, ආත්ම ශක්තියත් ඇත්නම් පමණි.

ලෝකයේ ඉතා භයානක න්‍යෂ්ටික පරමාණු විෂවායු මුදාහැරීමෙන් දසලක්ෂ සංඛ්‍යාත ජීවිත විනාශවනවිට, අති භයානක අවි ආයුධ භාවිත කරමින් මහා සංග්‍රාම කරනවිට මානුෂික හැඟීම් අල්ප මාත්‍රයෙන් හෝ නො සලකා පහත් වින්දනයක් ලබාගත් මිනිසුන් අවිද්‍යා අන්ධකාරයෙන් ජීවන ගමන් මෙන්ම සංසාර ගමනේ අතරමං වී ජාති, ජරා, ව්‍යාධි, මරණාදී මහා දුක්වේදනාවෙන් තෙරපෙන වග දැන් ප්‍රත්‍යක්ෂ වන්නේ ය.

ආගම දහම මිනිසාගේ එකම ශාන්ති කර්මයක් කරගෙන මිනිසා මිනිසාගෙන් දුරස්ථ කරනවාට වඩා තව තවත් සමීපකොට මානුෂික ගුණාංගවලින් පෝෂණය වන්නේ නම්, ලෝක ජනතාවට නීරෝගී භාවයෙන් හා කාර්ය ශූරත්වයෙන් පෙරට ම පියවර තබන්නට වාසනාව උදාවන්නේ ය.

අවිද්‍යාව සෑම අකුසල කර්මයකට ම මූලික වන බව අප බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. එබැවින් අවිද්‍යාව නැති කිරීමට උපාය මාර්ග වශයෙන් දාන, සීල, භාවනා වශයෙන් දැක්වෙන කුසල කර්මයන්හි යෙදෙමින් මෙලොව, පරලොව යහපත සලසා ගතයුතු වන්නේ ය. එවිට සංසාර සැප සම්පත් කෙළවර පරමශාන්ත නිවන් සම්පත් ලබාගන්නට භාග්‍ය ලබන්නේ ය.

ඔබ සැමට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා!

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk