තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත්
නා හිමියන්ගේ කතාව 11 කොටස :
අකීකරුකමට
පාඩමක්
නාගදීපයේ සිට අධ්‍යාපන කටයුතු උදෙසා ඇල්පිටියට නුදුරු ඉඳීපල්ගොඩ ධර්මාරාමයට වැඩම කළ
පදුමකිත්ති හිමියෝ එහි අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් අනතුරුව නාගදීපයට වැඩම කළහ.
පසුව නාගදීප නායක හිමියන් විසින් පදුමකිත්ති හිමියන් පැවිදි වීමට මව සමඟ පැමිණි
දෙමටගොඩ නාගදීප විහාරයට යොමු කරන ලදී. බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන්ගේ තදබල නීති
රීති නිසා එහි වැඩම කරන්නට අකමැති වුවත් ඒ ගමනින් නවතින්නට පදුමකිත්ති හිමියන්ට
හැකි වූයේ නැත.
සීවලී නා හිමියන් විසින් පදුමකිත්ති හිමියන් කැටුව ගොස් දෙමටගොඩ ධර්මාරාම පාරේ
පිහිටි විද්‍යාලංකාර පිරිවෙනේ (අද විද්‍යාලංකාර විද්‍යාපීඨය) නායක හිමි, යක්කඩුවේ
ප්‍රඥාරාම නා හිමියන්ට උන්වහන්සේ බාර දුන්හ. පිරිවෙනට බාර ගැනීමෙන් පසුව පදුමකිත්ති
හිමියන්ගේ බාරකාරත්වය පැවරුණේ මාරපන විජිත හිමියන්ට ය.
විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යාපන කටයුතු කෙතරම් හොඳීන් කරන්නට හැකි වුවත් සීවලී
හිමියන්ගේ තදබල හා සීමාව ඉක්මවා ගිය නීති රීති නිසා දෙමටගොඩ නාගදීප විහාරයේ වැඩ
වාසය කරන්නට පදුමකිත්ති හිමියෝ අකමැති වූහ. එසේ වුවත් අධ්‍යාපනය හැදෑරිය යුතු නිසා
කළ හැක්කක් ද නොවී ය.
ඒ වන විට දෙමටගොඩ විහාරස්ථානය අවට සිටි තරුණ තරුණියෝ විහාරවාසී හිමිවරුන් සමඟ ඉතා
කුළුපගව කතා කළහ. එසේ පදිංචිව සිටි බොහෝ තරුණියන් තාවකාලිකව නේවාසිකව සිටි අය වූ
අතර රැකියා නිමවී පැමිණි ඔවුහු විහාරස්ථානයට පැමිණ, අනතුරුව සාමණේර හිමිවරුන් සමඟ
කුළුපගව කතා කළහ.
එහෙත් ඒ අවට විසූ ඇතැම් පිරිස් ඒ ගැන එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. විශේෂයෙන්ම ඒ
අතර සිටි මහලු පුද්ගලයෙක් දිනපතාම මෙන් විහාරස්ථානයට පැමිණ බ්‍රාහ්මණවත්තේ සීවලී
හිමියන්ට තරුණ භික්ෂූන් තරුණියන් සමඟ කතා කිරීම අතිශයෝක්ති යොදා බොරු කේළාම්
කියන්නට විය.
සීවලී හිමියන් ඒ සම්බන්ධ ව දැඩි සේ දොස් කියන්නට වූ නමුත් ඒ වන විට තරුණ වයසේ සිටි
මෙන්ම පෙර සීවලී හිමියන්ගෙන් පහර කෑ අයුරු මතක තිබූ හෙයිනුත් පදුමකිත්ති හිමියන් ඒ
අභූත චෝදනා හමුවේ ඉවසුවේ නැත.
සීවලී හිමියන්ගේ දොස් පැවරුම් හමුවේ පදුමකිත්ති හිමියන් පවසා සිටියේ තමන් සාමණේර
භික්ෂුවක් ලෙස ඕනෑම අයෙක් සමඟ කතා බහ කරන බවයි. පිරිවෙනේ අධ්‍යාපනය ලබා දෙන්නේ ද
ගිහියන් හා කුළුපඟව, භික්ෂූත්වයට නිගරු නොවන ලෙස කටයුතු කිරීම බවයි. තමන් වහන්සේ
කිසිදු ආකාරයක භික්ෂූත්වයට නිගරු දෙන කිසිවක් නොකරන හෙයින් ඒ ගැන දිගින් දිගටම
පදුමකිත්ති හිමියෝ සීවලී හිමියන් සමඟ වාදයන්හි පැටලුණහ.
අවසානයේ සිවලී හිමියෝ පදුමකිත්ති හිමියන්ට නාගදීපයට ආපසු යන ලෙස අණ කළහ. එහෙත්
අධ්‍යාපනය පිණිස වැඩම කළ පදුමකිත්ති හිමියෝ ඊට අකමැති වූහ. තව දුරටත් අධ්‍යාපනය
හැදෑරීමට අවශ්‍ය බව උන් වහන්සේ එක හෙළාම පැවසූහ.
එහෙත් සීවලී හිමියන්ගේ නියෝගයට පිටින් කටයුතු කරන්නට පදුමකිත්ති හිමියන්ට හැකි
නොවීය. පදුමකිත්ති හිමියෝ බලෙන්ම නාගදීපයට කැඳවාගෙන යන්නට සීවලී හිමියෝ කටයුතු කළහ.
පදුමකිත්ති හිමියන්ගේ අධ්‍යාපන කටයුතු එයින් කෙටි කලකට ඇණ හිටිණි.
වෙනදා මෙන් නොව පදුමකිත්ති හිමියන් ආගම දහම ගැන වැඩියෙන් සිතන්නට වූහ. ආගමික
දර්ශනය, ආගමික සංකේත ආදිය ගැන වැඩි අවධානයක් යොමු කළේ පිරිවෙන් අධ්‍යාපනයේ ඒ වන විට
දැන උගත් දේ අනුවය.පදුමකිත්ති හිමියන් පැවිදි වීමට පෙර මල් කැඩීමට ගිය දෙමළ ජාතික
තරුණයකු හා තවත් දෙමළ තරුණයින් දෙදෙනකු දිනක් විහාරස්ථානයට පැමිණි අතර ඒ පිරිස සමඟ
කතා කරමින් විහාරස්ථානයේ ඇවිදිමින් සිටියදී බිම වැටී තිබූ බෝ අත්තක් දුටු
පදුමකිත්ති හිමියෝ එය මහත් ගෞරවයෙන් දෝතින් ගෙන උස් ස්ථානයක තබා වැඳ නමස්කාර කළහ.
‘‘ඒ මොකෝ සාදු, බිම වැටිච්ච කොළ අත්තට වැන්දෙ?‘‘ එක් තරුණයෙක් ඇසුවේ ය.
‘‘බෝ ගහ අපිට බුදු හාමුදුරුවො වගේ‘‘ පදුමකිත්ති හිමියෝ පිළිතුරු දුන්හ.
දෙමළ තරුණයෝ ඊට විහිළු කළහ.
(මතු සම්බන්ධයි)
තාරක වික්‍රමසේකර |